ඩිජිටල් වොලට් එකක් පාවිච්චි කරන එක පර්ස් එකේ සල්ලි පුරවගෙන යනවට වඩා වාසියි! ඒ වාසි මේවා තමයි!!

දවසින් දවස වැඩිදියුණු වෙන ලෝකේ සල්ලි විතරක් හැමදාම එකම තැන තියෙන්නේ නැහැනේ. ඉස්සර අපි පර්ස් එකේ සල්ලි පුරවගෙන ගියත්, ඉන් පස්සේ හෙමිහෙමිහිට ලෝකේ හුරුවුණා ප්ලාස්ටික් සල්ලි වලට. ඔව්, ඒ කිව්වේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් තමයි. සල්ලි බැංකුවේ තියලා කාඩ් එකෙන් බඩු ගන්න, වියදම් කරන්න පුළුවන්. ඉන් පස්සේ ඔන්න ආවා E-wallet හෙවත් ඩිජිටල් සල්ලි. කාඩ් අරගෙන යන්න ඕනත් නෑ. කෙලින්ම ස්මාට්ෆෝන් එක තියෙනවා නම් එච්චරයි. ඇත්තටම අද කාලේ ගොඩක් දෙනෙක් තාමත් කාඩ්පත් පාවිච්චි කරන ගමන්ම ඊ-වොලට් වලටත් හුරු වෙමින් ඉන්නේ. ලංකාවේ Frimi, EzCash, Upay, Payhere වගේ ඊ-වොලට් පහසුකම් කීපයක්ම තියෙනවා. ඇත්තටම මොනවද මේ ඩිජිටල් වොලට් එකක තියෙන වාසි?

 

1. හැමදේම එකම ඇප් එකකින්

මේක තමයි ඊ-වොලට් එකක තියෙන පහසුම දේ. තමන්ගේ සියලුම බැංකු කටයුතු එකම ඇප් එකකින් කරගන්න පුළුවන්. නිකමට හිතන්න. තමන්ගේ පුටුවේ වාඩිවෙලා ඉඳගෙන, තමන්ගේ සියලුම ටෙලිෆෝන් බිල්, ලයිට් බිල්, වතුර බිල්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලීසින් ගෙවීම් සහ තවත් තියෙන මෙකී නොකී හැම ගෙවීමක්ම එකම ඇප් එකක් පාවිච්චි කරලා කරන්න පුළුවන් වීම කොයි තරම් ලේසිද? ඇත්තටම දැන් තියෙන ඊ-වොලට් වල මේ හැම දේකටම පහසුකම් ලබාදීලා තියෙනවා. තමන්ගේ ඊ-වොලට් එකේ සල්ලි තියෙන්න විතරයි ඕන. ඒකත් පහසුවෙන් කරගන්න පුළුවන්, ඊ-වොලට් එකට සම්බන්ධ බැංකු ගිණුමට තමන්ගේ ආදායම් එන විදියට හරිගස්සලා තියෙනවා නම්.

 

 

2. ඔක්කොම සේව් කරලා තියාගන්නත් පුළුවන්

 

මේක ඔය උඩින් කියපු පහසුකමේ තවත් දිගුවක්. මේ සමහර ඇප් වල තියෙනවා අපිට නිතර කරන්න සිද්ධ වෙන ගෙවීම් සේව් කරලා තියන්න පුළුවන් පහසුකම. ඒ කියන්නේ, හැම මාසෙකම ගෙවන ක්‍රෙඩිට් කාඩ් විස්තර මේකේ සේව් කරන්න පුළුවන්. වතුර බිල් නැතිනම් ලයිට් බිල් නැතිනම් ටෙලිෆෝන් බිල් ගිණුම් උනත් සේව් කරන්න පුළුවන්. එතකොට පළවෙනි පාර ඔක්කොම සේව් කරලා තිබ්බට පස්සේ, ඊලඟට විනාඩියක් යනකොට මාසේ ඔක්කොම ගෙවීම් ඉවර කරන්න පුළුවන්!

 

3. ගෙනියන්න ඕන ස්මාට්ෆෝන් එක විතරයි

සල්ලි ගොඩක් පර්ස් එකේ ගෙනියනවට වඩා, ප්ලාස්ටික් කාඩ් එකක් ගෙනියන එක ලේසියි තමයි. හැබැයි ඇත්තටම ගත්තොත් සාමාන්‍ය මනුස්සයෙක් ගාව ඔය වගේ ප්ලාස්ටික් කාඩ් කීපයක්ම තියෙනවා. ඇයි, දැන් එන හැම බැංකු ගිණුමකටම ඩෙබිට් කාඩ් එකක් අනිවාර්යයෙන්ම ලැබෙනවනේ. ඒ අතරට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙකක් එහෙමත් එකතු වුණහම පර්ස් එක පිරිලා. හැබැයි ඊ-වොලට් එකක් පාවිච්චි කරනවා නම් ඔය කරදරේ නෑ. හදිසියකට සල්ලි තියෙන එකවුන්ට් එකේ කාඩ් එක විතරක් පර්ස් එකේ තිබ්බා නම් ඇති. අනික් හැමදේටම ස්මාට්ෆෝන් එක විතරයි ලඟ තියෙන්න ඕන.

 

 

4. පිස්සුවෙන් වියදම් කරන්නෙ නෑ

ක්‍රෙඩිට් කාඩ් එකක තියෙන එක ප්‍රශ්නයක් තමයි, ඒකේ ක්‍රෙඩිට් ලිමිට් තියෙන කල් ඕන දේයි එපා දේයි මිලදී ගන්න මිනිස්සු පෙළඹෙනවා කියන එක. හැබැයි ඊ වොලට් එකක් පාවිච්චි කරනකොට සාපේක්ෂව ඒ ප්‍රශ්නේ අඩුයි කියලා කියන්න පුළුවන්. මොකද, ඊ වොලට් එකක් කියන්නෙත් අතේ සල්ලි තියෙනවා වගේ තමයි. ඒ කියන්නේ ඒක ණයක් නෙවෙයි. අතේ තියන සල්ලි වලින් තමයි ඔක්කොම කරන්න ඕන. එතකොට හිතෙන හිතෙන දේ ගන්න තියෙන පෙළඹවීම අඩුයි.

 

5. වාසිත් තියෙනවා

සමහර විට ලංකාවේ තාම ඊ වොලට් ප්‍රචලිත වෙමින් යන නිසා වෙන්න පුළුවන්, ඊ- වොලට් පහසුකම් දෙන බැංකු කොම්පැණි වලින් ඔය එක එක විදියේ ප්‍රමෝෂන් කරනවා. හරියට ක්‍රෙඩිට් කාඩ් වල වගේ තමයි. තාමත් ක්‍රෙඩිට් කාඩ් තරම් එක එක වෙළෙඳ සැල්වලින්, එක එක සේවාවන් වලින් ඩිස්කවුන්ට් ප්‍රමාණයක් දෙන්න ඊ-වොලට් බැංකු කොම්පැණි වලට බැරි වුණත්, ආකර්ෂණීය විශේෂ වාසි තියෙනවා. සරල උදාහරණයක් කිවුවොත්, ඊ වොලට් එක පාවිච්චි කරලා රුපියල් දෙදාහක පෙට්‍රල් ගැහුවොත්, ඒකෙන් රුපියල් සීයක් අපිට ආපිට ලැබෙනවා කියලා ප්‍රොමෝෂන් එකක් යනවා. කීල්ස් එකෙන් බඩු අරගෙන ඊ වොලට් එකෙන් ගෙවුවොත් ඔන්න සම්පූර්ණ බිල දෙදාහට වැඩියි නම් ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා කියලා ප්‍රොමෝෂන් එකක් යනවා. ඉතින් මේ ප්‍රමෝෂන් ගැන පොඩ්ඩක් උනන්දුවෙන් ඉන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ එස්.එම්.එස් එකක් ඊ වොලට් කොම්පැණියෙන් ආවහම ඒක බලලා, ඇප් එකේ පෙන්නන ප්‍රමෝෂන් බලලා වාසි හොයාගන්න පුළුවන්! 

 

6. ආරක්ෂාවත් සුපිරියි

මෙන්න මේකත් ඉතාම වැදගත් කාරණාවක්. පර්ස් එකේ තියෙන සල්ලි නැතිවෙන පුළුවන්, වැටෙන්න පුළුවන්, පර්ස් එක හොරු ගන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් වුනත් පර්ස් එක පිටින් හොරකම් ක​ළොත් හරි නැතිවුනොත් හරි වෙන කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි පර්ස් එක නැහැයි කියලා දැනගෙන බැංකුවට කතා කරලා කාඩ් ස්ටොප් කරන අතරතුරේදී වුනත් කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි, තමන්ගේ ස්මාට්ෆෝන් එකට හොඳ සෙකියුරිටි එකක් තියෙනවා නම් මළාට වෙන කෙනෙක්ට අපේ ඊ වොලට් එකේ තියෙන සල්ලි පාවිච්චි කරන්න බෑ. විශේෂයෙන්ම බයෝමෙට්‍රික් සෙකියුරිටි තියෙනවා නම් වඩාත් හොඳයි. එතකොට පාස්වර්ඩ් ගහලා හරි, ෆින්ගර් ප්‍රින්ට් එක දීලා හරි, ඇහේ අයිරිස් එක පෙන්නලා හරි මිසක් ෆෝන් එක අන්ලොක් කරන්න බෑ. ඒ වගේම ආයෙමත් පාස්වර්ඩ් ගහලා හරි, ෆින්ගර් ප්‍රින්ට් එක දීලා හරි මිසක් ඇප් එක ඇතුළට යන්නත් බෑ.

එකම දේ ඉතින් තමන් ඥාණවන්ත වෙන්න ඕන මේ ආරක්ෂා සංවිධාන සෙටින්ග්ස් වලින් හදාගන්න. ඒ වගේම ලේසියෙන් හොයාගන්න පුළුවන් පාස්වර්ඩ් නොදෙන්න.

 

7. ඔන්ලයින් බඩු ගන්නත් පහසුයි

ඔව්. අපිට ඊ වොලට් එකක් පාවිච්චි කරලා බොහොම ලේසියෙන් ඔන්ලයින් බඩු ගන්න පුළුවන්. ඒකට ලංකාව ඇතුළේ විතරක් නෙවෙයි, ලංකාවෙන් එලියේ වුනත් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් එකක් තියෙනවා. ඔය කාඩ් විස්තර දකින දකින හැම ඉන්ටර්නැෂනල් ඔන්ලයින් මර්චන්ට් කෙනෙක්ටම දෙන්න කලින්, පොඩ්ඩක් බලන්න ඕන ඒක ආරක්ෂාකාරී සල්ලි ගෙවන ගේට්ටුවක්ද කියලා. ඒක අපි ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධයෙනුත් කරන දෙයක්නේ. ඕන නම් ඉතින් වැඩි ආරක්ෂාවට පේ පැල් එකවුන්ට් එකකට වගේ අපේ ඊ වොලට් එක සම්බන්ධ කරන්න පුළුවන්ද කියලා බලලා, ඒ ඔස්සේ ඔන්ලයින් සල්ලි ගෙවන්නත් පුළුවන්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *