අද අපි කතා කතා කරන්න යන්නේ ලංකාවේ ජනප්‍රිය වුණු ළමා නළු නිළියන් කිහිපදෙනෙක් ගැන හැබැයි මේ වෙද්දි මේ අය වැඩිහිටියෝ. බලන්න මේ අතරින් ඔබට මතක අය කවුද කියලා…
1. අජිත් ජිනදාස
අජිත් තමන්ගේ රංගන ජීවිතය ආරම්භ කරන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා අධ්‍යක්ෂණය කරපු ‘මඩොල් දූව’ චිත්‍රපටියේ උපාලි ගිනිවැල්ලගේ චරිතය රඟපාමින්. ඒ වෙනකොට ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියා. ඔහුගේ රංගනයේ සාර්ථක බව හේතු කොටගෙන සුමිත්‍රා පීරිස් මහත්මියගේ “ගැහැණු ළමයි” චිත්‍රපටයේ රඟපෑමේ අවස්ථාවක්ද අජිත්ට ලැබෙනවා. ඒ වගේම “මලට නොඑන බඹරු” චිත්‍රපටයේ ඔහු කළ රඟපෑම ඒ දවස්වල ආන්දෝලනයකට ලක් වෙනවා. කඩවසම් නළුවෙකු වූ අජිත් පසු කාලයකදී යසපාලිත නානායක්කාරගේ සිනමා නිර්මාණ හරහා ජනප්‍රිය ධාරාවෙත් තමන්ගෙ අණසක පතුරවනවා. විජය කුමාරතුංග සමඟ දේශපාලනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සබරගමු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන අජිත්ට වෙඩි ප්‍රහාර එල්ල වනවා. මේ අමිහිරි මතකවල ප්‍රතිඵලයක් විදිහට අජිත් මේ වෙනකොට ලංකාව අතහැරලා දාලා කැනඩාවේ ස්ථීර පදිංචිය සඳහා ගොස් සිටිනවා.
2. පද්මසේන අතුකෝරාළ
“මඩොල් දූව” චිත්‍රපටියේ ජින්නාගේ චරිතය රඟපෑවේ පද්මසේන අතුකෝරළ විසින්. පද්මසේනට මේ අවස්ථාව ලැබෙන්නේ සරසවිය පුවත්පතේ පළ කරන ලද දැන්වීමක් හේතුවෙන්. එම දැන්වීමේ ප්‍රතිඵලයක් විදිහට සම්මුඛ පරීක්ෂණ හතරකට මුහුණ දීමෙන් පසුවයි පද්මසේනව මේ චරිතය සඳහා තෝරා ගනු ලබන්නේ. හය මාසයක පමණ කාලයක් රූගත කිරීම් පැවතුණු අතර මෙම කාලය අජිත් සහ පද්මසේනට ඉතාමත් ආශ්වාදනීය කාලයක් බවට පත්වුණා. එසේම එවකට ජනප්‍රිය නිළියක් වූ ශ්‍යාමා ආනන්දගේ පියා විසින් මඩොල්දූව කැමරාව මෙහෙයවීම නිසා ඇය නිතර නිතර රූගතකිරීම් නැරඹීමට පැමිණියා. ඇයව දැක ගැනීම මේ ළමා නළුවන් දෙදෙනා ට තවත් සොඳුරු අත්දැකීමක් වුනා. පද්මසේන ඉන් පසුව “ගැහැණු ළමයි” වැනි චිත්‍රපටයක රඟපෑවත් අජිත් තරම් සිනමාවෙන් ඉදිරියට ගියේ නැහැ. මේ වෙන කොට ඔහු වෘත්තියෙන් බැංකු නිලධාරියෙක් විදිහට කටයුතු කරනවා.
3. අශේන් මංජුල
ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වුණු ජනප්‍රියතම ළමා ටෙලි නාට්‍ය විදිහට අවිවාදයෙන්ම පිළිගැනෙන්නේ “අඹ යහළුවෝ” ටෙලි නාට්‍යයයි. මේ ටෙලි නාට්‍යයේ අහිංසක නිමල්ගේ චරිතය රඟපෑවේ අශේන් මංජුල විසින්. ඉන්පසුව “මඩොල් දූව” ටෙලිනාට්‍යයෙත්, පසුව වැඩිවියට පැමිණි පසු “සුදෝසුදු” වැනි ටෙලි නාට්‍ය කීපයකත් ඔහු රඟපෑවා. ඒ වගේම රේඩියෝ නාලිකාවක විකාශය වූ “ගොළු හදවත” ගුවන්විදුලි නාට්‍යයේ සුගත්ගේ චරිතය සඳහා හඬ මුසු කළේ අශේන් විසින්. මෙගා රැල්ලේ ටෙලිනාට්‍යවල රඟපෑම ප්‍රතිපත්තියක් ලෙස ප්‍රතික්ෂේප කරන නිසා අශේන්ව අපිට පුංචි තිරය තුළ දකින්නට ලැබෙන්නේ අල්ප වශයෙන්.
4. රසික පෙරේරා
සුනිල්ගේ චරිතය රඟපාපු රසික පෙරේරා අපිට දකින්නට ලැබුණේ “අඹ යහළුවෝ” ටෙලි නාට්‍යයෙන්ම පමණයි. ඉන් පසු ඔහු තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මූලිකත්වය ලබා දී කටයුතු කරපු නිසා කිසිදු කලා නිර්මාණයකට සහභාගි වුණේ නැහැ. මේ වෙන කොට ඔහු විදේශගතව ජීවත් වෙනවා. නමුත් අශේන් මංජුල නම් ඔහු සහභාගි වන සෑම සම්මුඛ සාකච්ඡාවකදීම පවසන්නේ රසික දිගටම කලා ක්ෂේත්රයට සම්බන්ධ වූවා නම් ඔහුට විශිෂ්ට ගණයේ නළුවෙක් වීමට හැකියාව තිබුණු බවයි. ඒ වගේම අඹ යහළුවෝ ටෙලි නාට්‍ය නිසා ඔවුන් දෙදෙනා අඹ යහළුවන් බවට පත් වුණු බවත්, තවමත් කතා බහ කරන බවත් ඔහු පවසනවා.
5. අසන්ති නාලිකා
ආචාර්ය සාලමන් ෆොන්සේකා මහත්තයාගේ ගෝලයෙක් විදිහට රංගනය හදාරපු අසන්ති, වයස අවුරුදු එකොළහේදී රටම දන්න දුෂ්ට චරිතයක් බවට පත්වෙනවා. ඒ අඹ යහළුවෝ ටෙලි නාට්‍යයේ සුනිල්ගේ අක්කගෙ චරිතය වන නපුරු මෛත්‍රී ගේ චරිතය රඟපෑම නිසා. ඇය දිගටම කලා ක්ෂේත්රය තුළ රැඳී සිටිය අතර නර්තන ශිල්පිනියක් විදිහටත් ජනප්‍රියත්වයක් ලබා ගත්තා. නමුත් මේ වෙන කොට ඇය ඒ සියලු කටයුතු අත්හැරලා ආගමික ජීවිතයක් ගත කරනවා. ඇය තමන්ට දේව වරමක් ඇති බවටත්, එම නිසා තමන් ගුප්ත කටයුතුවල නිරත වන බවටත් ප්‍රකාශ කරලා තියෙනවා.
6. ප්‍රමුදි කරුණාරත්න
සෝමලතා සුබසිංහ මහත්මිය යටතේ රංගනය හදාරන ප්‍රමුදි එක රැයින්ම ලංකාවේ ජනප්‍රිය නිළියක් බවට පත්වෙන්නේ “සරෝජා” චිත්‍රපටියේ සිදුකරන ලද රඟපෑම හේතුවෙන්. ඉන්පසුව ඇය චිත්‍රපට හා ටෙලි නාට්‍ය සීමිත ප්‍රමාණයක රංගනයට එක් වුණා. ඒ අතරින් “ගොළු හදවත” ටෙලි නාට්‍යයේ සෝමේ ලෙස ඇය සිදු කළ රංගනය විශේෂයෙන්ම කැපී පෙනෙනවා. මේ වෙනකොට ප්‍රමුදි මවු පදවිය ලබා කලා ක්ෂේත්රයෙන් තාවකාලිකව සමු අරගෙන සිටිනවා.
7. නිත්‍යවානි කන්දසාමි
නිත්‍යවානි කන්දසාමි සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය යුවළගේ චිත්‍රපටි දෙකකම ප්‍රධාන චරිතය රඟපෑවා. ඒ “සරෝජා” චිත්‍රපටියේ සහ “පුංචි සුරංගනාවි” චිත්‍රපටයේ. මෙම චිත්‍රපටි දෙක සඳහාම අන්තර්ජාතික සම්මාන මෙන්ම පුංචි සුරංගනාවී සඳහා මෙරට දී හොඳම නිළියට හිමි සම්මානය ද ඇය දිනා ගත්තා. කොහොම වුණත් ඇයව ඉන් පසුව අපිට ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටි හරහා දැක ගැනීමට අවස්ථාව ලැබුණේ නැහැ. අද වෙන කොට ඇය වෛද්‍ය ශිෂ්‍යාවක ලෙස ඉගෙනුම ලබමින් සිටිනවා.
එහෙමනම් ඉතිං මේ ළමා නළු නිළියන්ගේ රසබර මතක ගැන කමෙන්ට් එකකින් අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්න කියන ඉල්ලීමත් අපි කරන්න කැමතියි. ඔබෙන් ලැබෙන ප්‍රතිචාර මත මේ ආටිකල් එකේ දෙවනි කොටසකුත් අපි ලියන්න බලාපොරොත්තු වෙනවා.
Leave a Reply