වයසට යන අම්මලා තාත්තලාව හරියට රැක බලාගන්නේ මෙහෙමයි!

 අපි හැමෝම හැමදාමත් තරුණව ඉන්නෙ නෑ, වයසට යනවා. හැබැයි එහෙම වයසට යනකොට අපිට තරුණ කාලේ වගේ තනියෙන් හැමදේම කරගෙන, ෆිට් එකේ ඉන්න අමාරුයි. වයස්ගත වෙනකොට අපිට ශාරීරිකව වගේම මානසිකවත් තවත් කෙනෙක්ගේ උදවු ඕන වෙනවා.

හැබැයි මේ අපි කතා කරන්නේ අපි වයසට යන එක ගැන නෙවෙයි. අපේ දෙමාපියන් වයසට යන එක ගැන. ශ්‍රී ලංකාවේ අපේ සංස්කෘතියේ හැටියට අපි දෙමාපියෝ වයසට යනකොට මහළු නිවාසයකට ගෙනිහින් දාන උදවිය නෙවෙයි. ඒත් අද කාලේ තියෙන අතිශය කාර්‍යබහුල ජීවිතෙත් එක්ක අපිට අපේ වයස්ගත අම්මලා තාත්තලා වෙනුවෙන් හැකි උපරිමය කරන්න අමාරු වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි හිතුවේ, වයස්ගත දෙමාපියන්ව හරියට රැක බලා ගන්නේ කොහොමද කියන එක ගැන උපදෙස් කීපයක් බෙදාගන්න.

 

1. නිරන්තර සම්බන්ධතාවය

වර්තමානයේදී අපිට සමහර වෙලාවට දවල්ට කෑම කන්නවත් වෙලාව නැතිවෙන්න පුළුවන්. ඒත් කිසිම වෙලාවක වයස්ගත අම්මා තාත්තා එක්ක සම්බන්ධතාවය නැති කර නොගන්න වග බලා ගන්න ඕන. මේ කියන්නේ අම්මා තාත්තා ඉන්නේ අපි ගාව නෙවෙයි නම්, හැමදාම බලන්න යන්න කියලා නෙවෙයි. ඒත් දවසට එක පාරක් වත් කතා කරලා බලන එක වටිනවා. ඇත්තටම අපි ඉන්නේ තොරතුරු තාක්ෂණ යුගයේ නිසා, වෙන රටක හිටියත් සම්බන්ධතාවය පවත්වා ගන්න එක අමාරු කාරණයක් නෙවෙයි. ඒ නිසා අඩු තරමින් දවසකින් පැය කාලක්, බාගයක් වත් අම්මා තාත්තා වෙනුවෙන් වැය කරන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්.

අම්මා තාත්තා ඉන්නේ තමන් එක්ක නම්, දවසින් ඒ වෙලාව හෝ ඊට වැඩි වෙලාවක් වැය කරලා ඒ අයත් එක්ක එදිනෙදා තොරතුරු කතාබහ කරන එක හොඳ දෙයක්. 

 

2. ලඟ නැතිනම් බලන්න යන්න

අපි කිවුවනේ දැන් කාලේ තාක්ෂණයත් එක්ක අම්මලා තාත්තලා එක්ක ඈත ඉඳන් වුනත් සම්බන්ධතාවය තියාගන්න එක අසීරු නැහැයි කියලා. හැබැයි තාක්ෂණයට හැමදේම කරන්න පුළුවන් කමක් නෑ. උදාහරණයක් විදියට දක්වනවා නම්, අම්මව තාත්තව බලන්න ගියහම, ඒ අය අපිව අතගාලා, අපේ ලඟට වෙලා කතා කරන ෆීල් එක කිසිම තාක්ෂණික ක්‍රමයකින් ලබාගන්න බැහැ. ආන්න ඒ නිසා, පුළුවන් හැම වෙලාවකම අම්මව තාත්තව බලන්න යන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. විශේෂයෙන්ම දැන් කාලේ ගොඩක් අම්මා තාත්තාගෙන් වෙන් වෙලා ජීවත් වෙන සමහරු දෙමාපියන්ව දකින්නේ සිංහල අවුරුද්දට හරි නත්තලට හරි විතරයි. ඒක හොඳ දෙයක් නෙවෙයි. අඩු තරමින් මාසෙකට වතාවක් වත් දෙමාපියෝ දකින්න යන්න ක්‍රමයක් හදාගන්න පුළුවන් නම් ඉතාම හොඳයි.

මෙතනදී තමන් විතරක් තනියම යනවට වඩා, තමන්ගේ බිරිඳ හෝ සැමියා සහ දුවාදරුවනුත් එක්කම යන එක තමයි වඩාත් හොඳ.

 

3. ආත්ම ගෞරවය ආරක්ෂා කරන්න

වයසට යනකොට අම්මලා තාත්තලාට අමතක වීම් සිද්ධ වෙනවා. සමහර වෙලාවට ශාරීරික හෝ මානසික දුර්වලතාවයන් නිසා ඒ අයට ලැජ්ජා හිතෙන දේවල් පවා සිද්ධ වෙනවා. හැබැයි මතක තියාගන්න ඕන මේක. දැන් වයස්ගත වීම නිසා කොයි විදියේ තත්ත්වයක හිටියත්, ඒ අය ආත්ම ගෞරවයක් තියෙන පුරවැසියෝ. අපිව හදාවඩා ගත් අය. ආන්න ඒ නිසා ඒ ආත්ම ගෞරවයට හානි වෙන්න ඉඩ තියන්න එපා. උදාහරණයක් විදියට ගත්තොත්, ඒ අයට ලැජ්ජා හිතෙන මොකක් හරි දෙයක් සිද්ධ වුනොත්, ඒක නොදුටුවා වගේ ඉන්න. ඒක සාමාන්‍ය දෙයක් විදියට සලකන්න.

ඒ වගේම තමයි සමහර අය ඉන්නවා, තමන්ගේ වයස්ගත දෙමාපියන්ව පාලනය කරන්න යනවා. එතකොට තවත් සමහරු ඉන්නවා, ආදරේ වැඩි හින්දයි කියලා තමන්ගේ වයස්ගත දෙමාපියන්ට බබාලට වගේ සලකනවා. මේ කාරණා දෙකම සුදුසු නැහැ කියන එක මතක තියාගන්න. 

 

4. පොඩි පාලනයකුත් තියෙන්න වුවමනායි

හැබැයි උඩ කියන කාරණයෙන් අදහස් වෙන්නේ, අපේ වයස්ගත අම්මලා තාත්තලාට හිතෙන හිතෙන දේවල් කරන්න ඉඩ අරිනවා කියන එකත් නෙවෙයි. ඒකට හේතුව, වයස්ගත වීමත් එක්ක ඇතිවෙන මානසික හෝ ශාරීරික තත්ත්වයන් මත, මේ අය අවදානම්කාරී දේවල් වුනත් කරන්න පෙළඹෙන්න පුළුවන් වීමයි. අන්න ඒ නිසා ඒ අය කරන කියන දේවල්, ඒ අයටම හානිකර මට්ටමකට එනවා නම් යම් කිසි පාලනයක් කරන්න සිද්ධ වෙනවා. හැබැයි මතක තියාගන්න, මේ පාලනය කරන්න පුළුවන් වෙන්නේ බැණලා, තර්ජනය කරලා, බය කරලා නෙවෙයි. බොහොම මෘදුව, ඒත් නොවෙනස් ග්‍රහණයකින් යුක්තව තමයි මේ පාලනය සිදුකරන්න අවශ්‍ය වෙන්නේ.

 

5. වෛද්‍ය අවධානය

මෙන්න මේක ඉතාම වැදගත් කාරණාවක්. දැන් ඔය සමහර වයස්ගත දෙමාපියෝ ඉන්නවා ෆුල් ෆිට් එකේ ඉන්න. ඒ අයට ඉහෙන් බහින රෝගයක් නෑ. හැබැයි එහෙමයි කියලා දොස්තර කෙනෙක් මුණගැහෙන්න යන්න, බොඩි චෙක්-අප් එකක් කරන්න ලෙඩක් දුකක් හැදෙනකල් ඉන්න එක හරියන වැඩක් නෙවෙයි. කරන්න වුවමනා දේ තමයි ලෙඩක් දුකක් තිබුණා හෝ නැතා හෝ කාලෙකට සැරයක්, ඒ කියන්නේ හය මාසෙකට සැරයක් හරි සම්පූර්ණ ශරීර පරීක්ෂාවක් කරවන එක. ඒ වගේම එක හොඳ දොස්තර කෙනෙක් පවුලේ වෛද්‍යවරයා විදියට තියාගන්න එක.

ඒ ඇරෙන්න, දෙමාපියන්ට මොනවා හරි දෛනිකව ලැබෙන්න ඕන බේත් හේත් තියෙනවා නම්, ඒවා බොනවද නැද්ද, අමතක වෙලාද කියලාත් පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. මොකද ඔය වගේ දේවල් වයස්ගත දෙමාපියන්ට ලේසියෙන්ම අමතක වෙන්න පුළුවන් නිසා.

 

6. එළියේ පහළියේ ක්‍රියාකාරකම්

ගොඩක් වෙලාවට ගොඩක් දෙමාපියෝ වයස්ගත වෙනකොට ඒ අය ගෙදරටම වෙලා ඉන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි අපි ඒක වෙනස් කරන්න ඕන. එකක් තමයි ඔය වයසේ අයට සෙට් වෙලා ව්‍යායාම කරන්න පුළුවන් වැඩසටහන් දැන් ගොඩක් ගම් වල තියෙනවා. ආන්න එහෙම දේකට වයස්ගත අම්මව තාත්තව යොමු කරවන එක බොහොම සාර්ථක, ශරීර සෞඛ්‍යය අතිනුත් ගුණදායක දෙයක්. ඒ වගේම ඔය සමාජ සත්කාර, සමාජ සේවා වැඩ කටයුතු, ඉස්කෝලේ පරණ යාලුවන්ගේ මුණගැසීම් වගේ දේවලටත් ඒ අයට එකතු වෙන්න අපි ධෛර්‍යය ලබාදෙන්න ඕන. ඊට අමතරව ඉඳලා හිටලා එයාලව එළියට එක්කරගෙන ගිහින් කාලා එන්න, ෆිල්ම් එකක් බලලා එන්න වගේ දේවල් සංවිධානය කිරීමත් බොහොම හොඳ දෙයක්. 

 

7. අලුත් ලෝකේ ගැන ඒ අයට උගන්වන්න

මේක ගොඩක් දෙනෙක් නොහිතන, ඒත් දැන් කාලේ අනිවාර්යයෙන්ම හිතන්න ඕන කාරණාවක්. මේ වෙනකොට අවුරුදු විස්සකට කලින්, දහයකට කලින් තිබුණු තාක්ෂණය හිතා ගන්නත් බැරි තරමට දියුණු වෙලා තියෙනවා. ඉස්සරහටත් එහෙම තමයි. සාමාන්‍යයෙන් නවීන තාක්ෂණය තිබුණු යුගයක ඉපදුණු අයට මේ තාක්ෂණය යාවත්කාලීන වීමත් එක්ක ඉස්සරහට යන එක අමාරු දෙයක් නෙවෙයි. ඒත් ඊටත් කලින් පරම්පරාවල ඉපදුණු අපේ අම්මලා තාත්තලාට මේ අලුත් ටෙක්නොලොජි ලෝකේ එක්ක හැඩගැහෙන එක අමාරු දෙයක්. හැබැයි ඒ අයට මේ අලුත් තාක්ෂණයන්ගෙන් මිදිලා ජීවත් වෙන්නත් බැහැනේ. විශේෂයෙන්ම අපිත් එක්ක සම්බන්ධතාවය තියාගන්න පවා ඒ අය අලුත් තාක්ෂණය එක්ක ගනුදෙනු කරන්න වුවමනායි. ආන්න ඒ නිසා අපි වයස්ගත දෙමාපියන්ට ඔය අලුත් තාක්ෂණ ප්‍රවණතා, තාක්ෂණ උපයෝගිතාවයන් ගැන කියලා දෙන්න වුවමනායි. විශේෂයෙන්ම ඔය වට්‍ස්ඇප්, ෆේස්බුක් වගේ එව්වාත් එක්ක වැඩ කරන විදිය කියලා දෙන එක ප්‍රයෝජනවත් දෙයක්. ඒ වගේම විශේෂයෙන්ම තව දෙයක් සිහි තබා ගත යුතුයි. අපේ වයස්ගත අම්මලා තාත්තලාගේ තාක්ෂණික නොදැනුමට හිනා වෙන එක, ඒ දිහා අවඥාවෙන් බලන එක කිසිම කෙනෙක් නොකළ යුතු දෙයක්!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *