මීට අවුරුදු ගාණකට ඉස්සෙල්ලා අපේ රටට රියැලිටි ෂෝ කියන කොන්සෙප්ට් එක එද්දි නම් ඔක්කොම ගිනි ගින්දර තාලෙට තිබ්බා. ඒක හැමෝටම අලුත් අත්දැකීමක් වුණා. ඇත්තම දක්ෂයන්ට තැනක් තිබ්බා. නමුත් දැන් මොකක් හරි විකෘතියක් වෙලා තියනවා. බෝංචි කඩනවා වගේ ජයග්‍රාහකයෝ ඇති වෙනවා. නැති වෙනවා. මේ රියැලිටි ෂෝවල දැන් වෙන වැඩ කිඩ කීපයක් ගැන කතා කරමු.
1. කඳුළ මාකට් කිරීම
රියැලිටි ෂෝ කියලා දැන් බලන්න වෙලා තියෙන්නේ තනිකරම මාකටින් වැඩක්. එතන දී දක්ෂකමට වඩා අනුකම්පාව හිමි වන පුද්ගලයා නිතරඟයෙන් දිනන මට්ටමක් ඇති වෙලා. ඉදිරිපත් කිරීම් කෙසේ වෙතත් නැති බැරි අගහිඟකම් ගැන නම් හොඳටම ඉදිරිපත් කිරීම කරනවා. මේක මේ මිනිස්සු විසින්ම හිතලා කරන දෙයක් වෙන්න බෑ. මේ වැඩසටහන් නිෂ්පාදකවරුන්ගේ විදියට තමයි ඔක්කොම වෙන්නේ. ඇත්තම කිව්වොත් අපි රියැලිටි ෂෝ කියලා බලන්නේ කාගේ හරි ස්ක්‍රිප්ට් එකක්. පණ දාගෙන සල්ලි කපන් මනාප පළ කරාට අන්තිමේ දිනන්නේ ස්ක්‍රිප්ට් එකේ හාදයා.
2. සර් මැඩම් නමස්කාරය
මේ තරඟවලට ගොඩක්ම එන්නේ අවුරුදු 20ත් 30ත් අතර පිරිසනේ. තමන්ගේ ටැලන්ට් එකෙන් ගොඩ යනවට වඩා පොඩි මතයක් හැදිලා තියනවා එතන ඉන්න මිනිස්සු ටික අල්ලගත්තොත් වැඩේ ගොඩ කියලා. ඒක බොරුමයි කියන්නත් බෑ. ඉතින් නිවේදක මහත්තයගේ ඉඳන් සෑම සියලු දෙනාටම සර් මැඩම් කියලා කතා කරනවා. එතැනින් නොනැවතී දණ ගහලා වඳිනවා. මේවා අපේ සංස්කෘතියේ තියන හරි ආදරණීය වැඩ. හැබැයි රියැලිටි ෂෝ එකක වෙන වැඳිලි ඒ ආදරණීය බව පෙරදැරි කරන් වෙන ඒවා නම් නෙවෙයි.
3. තීන්දුව දීමට ඇති තරම් වේලා ගැනීම
මේක මේ රටේ පළවෙනි රියැලිටි අත්දැකීමෙන් ම අපට ලැබුණු දෙයක්. සිරස සුපර් ස්ටාර් පළවෙනි සීසන් එකේ අවසානෙ දී කමල් අද්දරආරච්චි ‘කිරුළ හිමි කරගන්නේ අජිත් ද මලිත් ද’ කියලා බලන් ඉන්න එව්වොන්ගේ නහරවැල් වේලෙනෙකන් ඇහුවා. ඉතින් ඒක අනුගමනය කරමින් අවසන් මොහොතේ සස්පෙන්ස් එක ඇති කරවන විදියට අදටත් නිවේදකයෝ මේ වැඩේ කරනවා.
4. විනිසුරු මඩුල්ලේ කැම්පේන්
මේක විනිශ්චය මණ්ඩලයේ ඉන්න හැමෝටම අදාළ දෙයක් නෙවේ. නමුත් තුන් දෙනෙක් හිටියොත් එතන ඉන්න එක් කෙනෙක්ට හරි සෑහෙන අදාළ වෙනවා. කාලයක් තිස්සේ ක්ෂේත්රයේ උඩින් ම ඉඳලා දැන් පොඩ්ඩක් ලකේ අඩු වෙච්ච, මියුසිකල් ෂෝ එකකටවත් එන්න කියන්නැති, යූටියුබ් දැම්මට වීව්ස් නැති ගායකයෙකු හෝ ගායිකාවක් මේ ජජ් බෝඩ් කියන එකේ ඉන්නවාමයි. එයා එතන වෙන ම කැම්පේන් එකක් තමන් වෙනුවෙන් කරනවා වගේ ම වැඩසටහන් නිෂ්පාදකවරු පවා ඒ ගැන දැනුවත්.
5. ජයග්‍රාහී රිය පෙරහැර
තරඟයෙන් ජය අරගෙන අන්තිමෙත් පොඩි කැටයම් පාරක් තියනවා. ඒ තමයි උපන්ගම පුරා රිය පෙරහැරකින් තරඟකරුවා එක්කන් යන එක. මේක වෙලාවකට ගමේ මිනිස්සුන් ම එකතු වෙලා උන්ගේ ආදරය පෙන්වන්න කරන දෙයක් වෙනවා. නමුත් ගොඩක් දුරට අදාළ නාලිකා ම මැදිහත් වෙලා මේ දේ කරන්නේ මාකටින් පැත්ත තරඟය ඉවර වෙලත් බැලන්ස් කරන ගමන්මයි.
6. දරුණු ඉච්ඡාභංගත්වය
මේක රියැලිටි ෂෝවල කාටත් වැඩිය නොපෙනෙන දෙයක්. ජය පරාජය සමව විඳගන්න එක හොඳයි තමයි. පොඩි කාලේ ඉඳන් අපිට උගන්වන්නේ ඒක. නමුත් පරාජිතයාට දැනෙන්න අවශ්‍යයි තමන් පරාජිතයෙක් නොවන බව. ඒත් මේ ඊනියා රියැලිටි කතාව කරන්නේ එහෙම කෙනෙකුගේ සමුගැන්ම හරිම දුක හිතෙන දෙයක් විදියට ඉස්මතු කිරීම. සමහර අයට ස්ටේජ් එක උඩදිම ඇඬෙන්නේ එහෙම හදන වටපිටාව නිසා. ඒ විදියට ඇති කරවන කලකිරීමෙන් ඔවුන්ට අදාළ කලා ක්ෂේත්රය ගැනම කලකිරීමක් ඇති වෙන්න පුළුවන්.
7. තරඟයෙන් පසු
රියැලිටිය ඉවර වුණාට පස්සේ තමයි හැබෑ රියැලිටිය. දිනපු පැරදුණු ඔක්කොම ඊට පස්සේ එක ගොඩේ. මොනවද කරන්නේ කියලා ඉදිරි අනාගතය ගැන ප්‍රශ්නයක් තියනවා. ගොඩක් අය බලනවා අදාළ නාලිකාවේම එල්ලෙන්න සුළු සේවකයෙකු විදියට හරි. එහෙම චාන්ස් එකක් ලැබෙන්නේ එහෙමත් කෙනෙක්ට තමයි ඉතින්.
Leave a Reply