අපෙන් සමුගෙන ගිය සොඳුරු ගී පද රචකයෝ

ගීතයක මුල් හැඩය මැවෙන්නේ ගී පද රචකයාගේ හිතේ. ඊට පස්සේ තනු නිර්මාණ ශිල්පියා ඒ ගී පද වලට සංගීතය මුසු කරනවා. ගායකයෙක්ගේ වගකීම වෙන්නේ තනුවට සහ ගී පද මාලාවට සාධාරණ ඉටු කරමින් රසිකයන් පිනවීම. (ඇතැම් අවස්ථාවල මුලින්ම තනුව නිර්මාණය වුණු ගීතත් තියෙනවා). මේ නිසා අපි අහන, ප්‍රිය කරන බොහෝ ගීත වල මුල් අයිතිකරුවෝ විදිහට මේ ගී පද රචකයන් හඳුන්වන්න පුළුවන්. අද Lifie අපේ සටහන මියුරු ගීත රාශියක් අපිට ඉතිරි කරලා අපෙන් සදහටම සමුගෙන ගිය ගීත රචකයන් කීප දෙනෙක් ගැන. ඒ සෑම ගීත රචකයෙක්ම රචනා කරපු ගීත දෙකක් පමණක් අපි මේ සටහනට එකතු කරලා තියනවා. ඔබට පුළුවන් ඔබ ඔවුන්ගේ ප්‍රිය කරන ගීත ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ කතා කරමින් ඔවුන් ගැන සංවාදයේ යෙදෙන්න.

 

1. කේ. ඩී. කේ ධර්මවර්ධන 

මහනුවර ප්‍රදේශය තමන්ගේ නිජ භූමිය කරගත්ත කළුආරච්චිගේ දොන් කුමාරසිරි ධර්මවර්ධන ගීත රසිකයන් අතර ප්‍රසිද්ධියට පත් වුණේ කේ. ඩී. කේ ධර්මවර්ධන නමින්. ලංකාවේ ගීත ක්ෂේත්‍රය තුළ කේ. ඩී. කේ තමන්ටම ආවේණික මුද්‍රාවක් තැබීමට සමත් වුණා. මේකට එක හේතුවක් විදියට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ කේ. ඩී. කේ සිංහල වගේ ම පාලි සංස්කෘත භාෂාවලත් විශාරදයෙක් වීම. ගුවන් විදුලියේ රැකියාවට යොමුවීම කේ. ඩී. කේට තටු ලැබුණ බඳු වාසනාවක් බවට පත් වුණා. මේ නිසා බොහෝ ප්‍රවීණ සහ ජනප්‍රිය ගායික ගායිකාවන්ට ගීත රචනා කිරීමට ඔහුට අවස්ථාව ලැබුණා. මේ ඔහුගේ නිර්මාණ කෞශල්‍යයට උදාහරණ දෙකක්.

 

 

 

2. ධර්මසිරි ගමගේ 

ධර්මසිරි ගමගේ මහත්මයා තමන්ගේ ජීවිත කාලය පුරාවටම විවිධ භූමිකා නිරූපණය කරලා තියෙනවා. ‘ආදරවන්තයෝ’, ‘සිරිපාල සහ රන්මැණිකා’, ‘සරුංගලය’ වගේ චිත්‍රපටිවලදී එතුමා තිරනාටක රචකයෙක්. ‘යස ඉසුරු’ වගේ චිත්‍රපටියක එතුමා අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේම ලංකාදීප, සිංහල බෞද්ධයා වැනි පුවත්පත් වල කතුවරයෙක්. ඒ වගේම ගහ කොළට, සතා සීපාවට ආදරය කළ විශිෂ්ට ගණයේ පරිසරවේදියෙක්. නමුත් මේ හැම භූමිකාවකටම වඩා එතුමා අපිට සමීප වෙන්නේ ගී පද රචකයෙක් විදිහට. විශේෂයෙන්ම කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා මහතාගේ චිත්‍රපටිවලට ගීත ලිවීමෙන් එතුමා ජනප්‍රියත්වයෙන් ජනප්‍රියත්වයට පත් වුණා. මේ එතුමාගේ ජනප්‍රිය ගීත යුග්මයක්.

 

 

 

 

3. උපාලි ධනවලවිතාන 

කෙටි ජීවිත කාලයක් තුළ මනරම් ගීත රැසක් සිංහල ගීත ක්ෂේත්‍රයට එකතු කරන්න සමත්වුණු විශිෂ්ටයෙක් විදිහට උපාලි ධනවලවිතාන මහතාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔහු ගීත ලියද්දි ප්‍රබුද්ධ පීචං භේදයකින් තොරව ගීත ලියන්න සූදානම් වෙලා හිටපු කෙනෙක්. ඒ නිසා ඔහුගේ ගීත ගැයූ ගායකයන් අතර පණ්ඩිත් අමරදේවයන්ගේ ඉඳන් නිහාල් නෙල්සන් දක්වා ගායක ගායිකාවන් පිරිසක් ඉන්නවා. ගීත රචනා කිරීමට ප්‍රමුඛත්වය ලබාදීපු උපාලි ඇතැම් අවස්ථාවල චිත්‍රපටිවල දෙබස් සහ තිර රචනයටත් සම්බන්ධ වෙලා තියෙනවා. ධනවලවිතාන මහතා රචනා කළ ගීත දෙකකට දැන් අපි සවන් දෙමු.

 

 

 

 

4. හේමසිරි හල්පිට 

ලංකාවේ ගීත රචනා කලාවට නව වෙනසක් හඳුන්වා දුන් පුද්ගලයෙක් විදිහට හේමසිරි හල්පිට මහත්තයව හඳුන්වලා දෙන්න පුළුවන්. හේමසිරි හල්පිට යන නමත් එක්ක නිහාල් නෙල්සන් කියන්න නම වෙන් කරන්න බැරි තරම් එකිනෙකට බැඳිලා තියෙනවා. “ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ” නිසා නිහාල් නෙල්සන් වගේම හේමසිරි හල්පිට ලංකාවේ රසික ජනතාව අතරට ආවා. ඊට පස්සේ හේමසිරි හල්පිට ගීත නිර්මාණ පන්දාහකට අධික ප්‍රමාණයක් රචනා කළා කියලා සැලකෙනවා. ඒ වගේ ම හේමසිරි හල්පිට කියන නම ජිප්සීස් කණ්ඩායමක් සමගත් නිත​ර කියැවුණා. ඔහු විසින් කළ නිර්මාණ අතරින් ජනප්‍රියම ගීත දෙකක් මේ සමග අපි මේ විදිහට එකතු කරනවා.

 

 

 

 

5. සුනිල් විමලවීර 

සුනිල් විමලවීර කියන්නේ ජීවතුන් අතර සිටි කාලයේදී නිසි පරිදි ඇගයීමක් නොලද ගී පද රචකයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. එක් අතකින් ඒකට එක හේතුවක් විදිහට සලකන්න පුළුවන් වෙන්නේ සිංහල සිනමාවේ පරිහානියෙන් පසු නැවතත් පුනරුදය ලබන යුගයේ ගී පද රචකයෙක් වීමට සුනිල් විමලවීරට සිදුවීම. උදයකාන්ත වර්ණසූරිය වගේ ජනකාන්ත අධ්‍යක්ෂකවරුන්ගේ චිත්‍රපටි ගණනාවකට සුනිල් විමලවීර මහත්තයා ගී පද රචනා කළා. මේ එතුමා ගේ ජනප්‍රිය ගීත දෙකක්.

 

 

 

 

6. ඇලෝයි ගුණවර්ධන 

ඇලෝයි ගුණවර්ධන මහතාට සීමිත ගායක ගායිකාවන් පිරිසකට කොටුවීමට සිද්ධ වුණා. ඒ සඳහා සිනමාව තුළ පැවැති අධිපතිවාදයත් එක විදිහකට හේතුවක් වුණා කියලා සඳහන් කරන්න පුළුවන්. එතුමාගේ ගී පද රචනා වලින් විශිෂ්ටතම ප්‍රයෝජනය ලබා ගත්තේ ජෝතිපාල සහ මිල්ටන් පෙරේරා. ඔහුගේ ගීත රචනාවල සරල භාෂාවක් භාවිතා කර තිබුණා. සමහරවිට  ඔහුට නිසි ඇගයීමක් නොලැබෙන්න ඒකත් එක හේතුවක් වෙන්න ඇති. මේ එතුමාගේ පන්හිඳෙන් ලියැවුණු ගීත දෙකක්.

 

 

 

 

7. අජන්තා රණසිංහ 

ලංකාවේ පුවත්පත් කලාවට සහ ගුවන් විදුලිය ගැන කතා කරද්දි කොතැනකදි හෝ අජන්තා රණසිංහ කියන නම කියවෙනවා. ඒ වගේ ම එතුමා නව කතා, කෙටි කතා ආදියෙන් අපේ සාහිත්‍යය පෝෂණය කරපු සාහිත්‍යයවේදියෙක්. හැබැයි මේ සියල්ලටම වඩා එතුමා අපේ රටේ බිහිවෙච්ච විශිෂ්ටතම ගී පද රචකයෙක්. තමන්ගේ ගී නිර්මාණවල තත්ත්වය පිළිබඳව දැඩි සැලකිලිමත් ​බවක් දැක්වූ පුද්ගලයෙක්. රටේ අවාසනාවකට වගේ එතුමා නියමිත කාලයට කලින් අපි අතරින් සමුගෙන ගියා. මේ එතුමා අපිව රසවත් කරපු ගීත දෙකක්.

 

 

 

 

8. ප්‍රේමකීර්ති ද අල්විස්

වෙඩි පහරකින් අකාලයේ නිහඬ කර දැමුවත් ප්‍රේමකීර්තිගේ සොඳුරු පද රචනාවන් අදටත් නිහඬ වෙලා නැහැ. කුඩා කාළයේදීම ශ්‍රී ලංකා ගුවන් විදුලියට සම්බන්ධ වන ප්‍රේමකීර්ති දක්ෂ වැඩසටහන් මෙහෙයවන්නෙක් වුණා. නමුත් ඊටත් වඩා ඔහු ප්‍රතිභාව පෑවේ සුන්දර පද රචනාවලට කිවුවොත් අපි වැරදි නැති වෙයි. ප්‍රේමකීර්ති – වික්ටර් සුසංයෝගයෙන් බිහිවුණු ගීත අදටත් වික්ටර් රත්නායකයන්ගේ ජනප්‍රියම ගීත අතර ඉහළම තිබෙනවා. සමාජ උපහාසය කැටිවුණු ෆ්‍රෙඩී සිල්වාගේ ගීත සඳහාත් බොහොමයක් පද රචනා කළේ ප්‍රේම කීර්ති වීම ඔහුගේ නිර්මාණාත්මක කුසලතාවයේ ඇති විවිධත්වයට හොඳ උදාහරණයක්.

 

 

ආටිකල් එක ආරම්භයේදී කිව්වා වගේම මේ ගී පද රචකයෝ රචනා කරපු ඔබ ප්‍රිය කරන ගීත තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ ගැන සඳහන් කරන්න කියන ඉල්ලීම ඔබෙන් ​කරන්න කැමතියි. වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *