සූස් සූස් ගාලා දයියා දැල්ලො ටිකක් කන්න කවුද ආස නැත්තෙ නෙහ්… ටිකක් ඌෂ්ණ කෑමක් උනත් ඉඳල හිටලා කෑවට මොකුත් වෙන්නෙ නෑ.. අද අපි ඔයාලට ගෙනාවේ රසට දැල්ලො හදාගන්න රෙසිපි ටිකක්. මේ ටික ට්‍රයි කරලාම බලන්නකො.
1. දැල්ලො පිරවුම
අවශ්‍ය ද්‍රව්‍ය
- සාමාන්‍ය තරමෙ දැල්ලො 5ක්
පිරවුම සඳහා
- ලියාගත් ළූණු ගෙඩි 2
- බිත්තර 2
- තම්බාගත් අල ගෙඩි 1
- උම්බලකඩ කෑලි ස්වල්පයක්
- කෑලිමිරිස් තේ හැඳි 1
- චොප්කරගත් සුදුළූණු ටිකක්
- කහකුඩු තේ හැඳි 1/2
- අමුමිරිස් කරල් 2
- කරපිංචා
- අබ ස්වල්පයක්
- මුලින්ම දැල්ලො ටික හෝදගන්න. එහෙම හෝදනකොට අර ඔළුව අයින් කලාම දැලි කොටසෙ කටුවක් තියනවා. කළුපාට දැලි කොටස කැඩෙන්නෙ නැති වෙන්න ඒ කටුව ගලවලා අයින් කරලා හෝදගන්න.
- දැන් මිරිස්කුඩු හා ගම්මිරිස්කුඩු හා ලුණු එකතු කරලා දැල්ලො ටික සීසන් වෙන්න තියන්න.
- දැන් පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. ළූණු, සුදුළූණු දාලා ෆ්‍රයි කරලා කරපිංචා, කෑලිමිරිස්, කහකුඩු, ලුණු, උම්බලකඩ කෑලිත් දාගෙන කලවම් කරන් අන්තිමට අල ටික පොඩි කරලා එකතු කරන්න. රස අනුව ලුණු දාගන්න. දැන් ෆිලින් එක ඉවරයි.
- දැල්ලො එකින් එක අරන් මේකෙන් ටික ටික පුරවලා අරන් කට පැත්තට ටූත් පීක් එකක් ගහලා පෑන් එකේ දෙපැත්ත ෆ්‍රයි කරගන්න.
2. හොට් බටර් කට්ල්ෆිශ්
අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් දැල්ලො ග්රෑම් 200
- ලුණු තේ හැඳි 1/2
- බිත්තර සුදුමද 1
බැටර් එක සඳහා
- කෝන්ෆ්ලා ග්‍රෑම් 200
- කහ මේස හැඳි 1/2
- ලුණු පින්චක්
සෝස් එකට
- ගාලික් පේස්ට් මේස හැඳි 2
- බටර් මේස හැඳි 2
- සීනි තේ හැඳි 1/2
- චිලී පේස්ට් මේස හැඳි 1ක් තෙල් තේ හැඳි එකකට කලවම් කරලා
- කපාගත් මාලුමිරිස් කරල් 2ක්
- රවුම් කපාගත් ළූණු ගෙඩි 2
- කපාගත් ළූණු කොළ ටිකක්
- වියලි මිරිස් කරල් 2ක්
- බැදගැනීමට තෙල්
- දැල්ලො වලට ලුණු හා බිත්තර සුදු මදය දාලා කලවම් කරගන්න.
- කෝන්ෆ්ලා වලට කහකුඩු හා ලුණු කුඩු දාලා වෙනම කලවම් කරගන්න.
- දැන් පෑන් එකක් ලිප තියලා තෙල් දාලා රත්වෙනකොට කෝන්ෆ්ලා වල දවටගත් දැල්ලො ටික දාලා බැදගන්න.
- දැන් වෙනම පෑන් එකකට බටර් දාලා දිය උනාම ගාලික් පේස්ට් එක දාගන්න. ඒකට චිලී පේස්ට් ටිකත් එකතු කරන්න. හොඳට කලවම් කරලා බැදගත් දැල්ලො ටික මේකට එකතු කරගෙන කපාගත් මාළුමිරිස්, ළූණු කොළ, ළූණු හා වියලි මිරිස් කෑලි කඩලා එකතු කරන්න.
- ලස්සන පාටට ෆ්‍රයි උනාම ලිප ඕෆ් කරගන්න.
3. ෆ්‍රයිඩ් කට්ල්ෆිශ් රින්ග්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- රවුමට කපාගත් දැල්ලො ග්‍රෑම් 200
- බිස්කට් කුඩු ග්‍රෑම් 100
- පාන්පිටි ග්‍රෑම් 100
- කෝන්ෆ්ලා මේස හැඳි 2
- ගම්මිරිස්කුඩු ටිකක්
- මිරිස්කුඩු තේ හැඳි 2
- ලුණු රස අනුව
- ගාලික් පව්ඩර් තේ හැඳි 1
- බිත්තර 1
- දැල්ලන්, බිත්තරය සහ බිස්කට් කුඩු හැර අනික් සියල්ල පිටි එක්ක මිශ්‍ර කරගන්න.
- දැල්ලන් ටික පිටි මිශ්‍රණයේ දවටා, බිත්තර සාරු වල තවරා, පාන්කුඩු දවටා ගැඹුරු තෙලේ රන්වන් පාටට බැදගන්න.
4. දැල්ලො ස්ටේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- දැල්ලො ග්‍රෑම් 200
- අමුමිරිස් කරල් 3
- චොප්කරගත් ඉඟුරු හා සුදුළූණු
- මාළු මිරිස් කරල් 2
- බී ළූණු ගෙඩි 2
- ළූණු කොළ
- සෝයා සෝස් ටිකක්
- ගම්මිරිස්කුඩු තේ හැඳි 2
- කෑලිමිරිස් තේ හැඳි 2
- කහකුඩු තේ හැඳි 1
- මිරිස්කුඩු තේ හැඳි 1
- රම්පා/කරපිංචා
- කපාගත් බෙල්පෙපර් ගෙඩි 2 (පාට දෙකකින්)
- දැල්ලො ටික පොඩි කෑලි වලට කපාගන්න. පෑන් එකක් ලිපේ තියලා තෙල් රත්වෙනකොට ඉඟුරු හා සුදුළූණු ටික දාගන්න.
- ඊලඟට ළූණු, රම්පේ, කරපිංචා, අමුමිරිස් කපලා දාගන්න. හොඳට ෆ්‍රයි උනාම දැල්ලො, සෝයාසෝස්, කහ, මිරිස්කුඩු හා ගම්මිරිස්කුඩු එකතුකරගන්න.
- දැන් විනාඩි 5ක් විතර වහලා තියලා මාළු මිරිස්, ළූණු කොළ හා බෙල්පෙපර් එකතු කරන්න. ගොඩක් ෆ්‍රයි වෙන්න නොදී ලිප ඕෆ් කරගන්න.
5. දැල්ලො ස්පැගටි සුප්
අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් දැල්ලො ග්‍රෑම් 300
- දෙකට කපාගත් බේබි තක්කාලි (Baby Tomatoes) ගෙඩි 4
- කොටුවට කපාගත් බෙල්පෙපර් ගෙඩි 1
- ලියාගත් කොත්තමල්ලි කොළ කෝප්ප 1
- තක්කාලි සෝස් කප් 1/2
- ඔලිව් ඔයිල්
- තම්බා ගත් ස්පැගටි ග්‍රෑම් 100
- කපාගත් සුදුළූණු බික් 2
- ලුණු ස්වල්පයක්
- භාජනයකට ඔලිව් ඔයිල් ටිකක් දාලා ලිපේ තියන්න. මේකට සුදුළූණු එකතු කරගන්න. යාන්තමට බැදෙනකොට කොත්තමල්ලි කොළ ටික දාගන්න. ඊළඟට දැල්ලො ටික දාගන්න.
- දැල්ලො ටික කුක් වෙන්න ටික වෙලාවක් වහලා තියලා තක්කාලි ටික දාගන්න. දැන් වතුර උනලා වගේ පෙනෙයි. එතකොට කපාගත් බෙල්පෙපර් ගෙඩිය එකතු කරන්න.
- කලවම් කරලා විනාඩි 10ක් වහලා තියන්න. ඊට පස්සෙ තක්කාලි සෝස් එකතු කරලා කලවම් කරන්න.
- මේකට වතුර කෝප්ප 1/2ක් වගේ එකතු කරගන්න. හොඳට උතුරනකල් වහලා තියන්න ඊළඟට ලුණු දාලා අන්තිමට ස්පැගටි ටික එකතු කරගන්න. තවත් විනාඩි 10ක් වගේ වහලා තියලා අරන් කෑමට ගන්න.
6. ක්‍රිස්පි කට්ල්ෆිශ් විත් හොට් සෝස්
අවශ්‍ය ද්‍රව්‍ය
- සෝදා රවුමට කපාගත් දැල්ලො ග්‍රෑම් 300
- පාන්පිටි ග්‍රෑම් 100
- කෝන්ෆ්ලා මේස හැඳි 2
- මිරිස්කුඩු තේ හැඳි 2
- ගම්මිරිස් කුඩු තේ හැඳි ½
සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- ලුණු පින්ච් එකක්
- චොප්කරගත් ළූණු ගෙඩි 2
- චොප්කරගත් සුදුළූණු මේස හැඳි 1
- සෝයා සෝස් මේස හැඳි 2
- ඔයිස්ටර් සෝස් මේස හැඳි 1
- තක්කලි සෝස් කප් 1/2
- කෑලිමිරිස් තේ හැඳි 2
- සීනි තේ හැඳි 2
- දෙහි යුෂ මේස හැන්දක්
- කපාගත් අමුමිරිස් කරලක්
- පාන්පිටි වලට කෝන්ෆ්ලා, මිරිස්කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු එකතු කරලා දැල්ලො ටික මේ පිටි මිශ්‍රණයේ දවටලා බැදගන්න.
- දැන් වෙනම පෑන් එකට තෙල් ටිකක් දාලා, එය රත්වෙනකොට හොඳින් චොප්කරගත් ළූණු හා සුදුළූණු දාලා රන්වන් පාට වෙනකල් බැදගන්න.
- මේකට කෑලිමිරිස්, ඔයිස්ටර් සෝස්, සෝයාසෝස්, තක්කලි සෝස් එකතු කරන්න. අන්තිමට සීනි ටික එක්ක අමුමිරිස් සහ දෙහි යුෂ දාගෙන උතුරවගන්න.
- ක්‍රිස්පි දැල්ලො එක්ක උණුවෙන්ම සෝස් එකත් පිළිගන්වන්න.
7. දැල්ලො කළුපොල් මාළු
අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් දැල්ලො ග්‍රෑම් 200
- තුනපහකුඩු තේ හැඳි 2
- මිරිස්කුඩු තේ හැඳි 2
- ගම්මිරිස්කුඩු තේ හැඳි 1
- හාල්පොල් මිශ්‍රණය මේස හැඳි 1
- මිටිකිරි කෝප්ප 3/4
- ඉඟුරු/ සුදුළූණු පේස්ට් එක
- රම්පා/කරපිංචා හා සේර කෑල්ලක්
- කරදමුංගු /කරාබුනැටි 2-3
- චොප්කරගත් තක්කාලි ගෙඩි
- කුරුඳු පොතු කෑල්ලක්
- ලුණු
- හාල්පොල් මිශ්‍රණය සාදාගන්නේ මෙහෙමයි – හාල් සහ ගාගත් පොල් සම ප්‍රමාණයෙන් ගෙන තාච්චියක තද රන්වන් පැහැයට බැදගෙන කුඩු කරගන්න.
- භාජනයකට තෙල් රත්වෙන්න තියලා ඒකට මිරිස්කුඩු, ලුණු දාලා බැදගන්න. ඒකට ඉඟුරු, සුදුළූණු පේස්ට් එක, තුනපහකුඩු, ගම්මිරිස්කුඩු, රම්පේ, කරපිංචා, සේර, කුරුඳු පොතු, කරදමුංගු, කරාබුනැටි දාලා බැදෙන්න අරින්න. ටිකකින් තක්කාලි ටික දාගන්න.
- හොඳට තෙම්පරාදු උනාම හාල්පොල් මිශ්‍රණය එකතු කරලා කලවම් කරගන්න. ටිකකින් දැල්ලො ටික එකතු කරන්න. විනාඩි 6ක් වගේ වහලා තියන්න. අවසානයට මේකට මිටිකිරි දාලා හිඳෙන්න අරින්න.
Leave a Reply