ටීවී සීරීස් සහ ෆිල්ම් සාමාන්‍යයෙන් යන්නේ ටීවී එකේනේ. එතකොට ඔය Dialog TV, PEO TV වගේ සේවාවක් තිබුණහම ටීවී සීරීස්, ෆිල්ම් එහෙම බලන්න පුළුවන්. හැබැයි ඉතින් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඕන ටීවී සීරීස් එක හරි ෆිල්ම් එක හරි තෝරගෙන බලන්න බෑ ඔය සැටලයිට් ටීවී, කේබල් ටීවී සීන් වලදී. හැබැයි ඉතින් ඇත්තම කතාව මේකයි. දැන් කාලේ කම්පියුටර් එකක් පාවිච්චි කරන ගොඩක් දෙනෙක් අලුත් ෆිල්ම්ස් හරි ටීවී සීරීස් හරි බලන්නේ හොරෙන් ඩවුන්ලෝඩ් කරලා. ඒක හරිද වැරදිද කියන එක අපි වෙනම කතා කරමු. හැබැයි එහෙම ඩවුන්ලෝඩ් කරලා ටීවී සීරීස්, ෆිල්ම් බලන එක ලේසි වැඩක් නෙවෙයි. ඒත් අපිට මුදල් වැය වෙන, ඒත් ගෙවන මුදලට වටින තව විකල්ප තියෙනවා. ඒ තමයි ස්ට්‍රීමින්ග් සේවාවන්. ඒ කියන්නේ කෙලින්ම ඔන්ලයින් ටීවී සීරීස්, ෆිල්ම්ස් සහ වෙනත් වැඩසටහන් බලන්න පුළුවන් විදියේ සේවාවන්. ඒවලින් එකක් තමයි ලංකාවෙත් දැන් සෑහෙන්න ජනප්‍රිය Netflix කියන්නේ. හැබැයි සමහරු Netflix එකවුන්ට් එකක් හදාගන්න ආසයි, බයයි සීන් එකේ ඉන්නකොට, තවත් සෑහෙන කොටසක් ඉන්නවා ගෙවන ගාණට මේක වටිනවද, ඔන්නොහේ හොරාට ඩවුන්ලෝඩ් කරලම බලමු නේද කියන මතයේ. ආන්න ඒ නිසා අපි හිතුවා, Netflix සේවාව පාවිච්චි කරන එකේ තියෙන වාසි ගැන පොඩි කරුණු ටිකක් අරගෙන එන්න!
1. ලේසියි, පහසුයි!
ඔව්. Netflix පාවිච්චි කරන එක කොයි තරම් පහසුද කියලා තේරෙන්නේ ඇත්තටම එක දවසක් හරි පාවිච්චි කරලා තියෙන කෙනෙකුට. එක්කෝ කෙලින්ම බ්‍රවුසර් එකෙන් Netflix සයිට් එකට ගිහින්, බලන්න ඕන ටීවී සීරීස් එකක් හරි ෆිල්ම් එකක් හරි තෝරගෙන බලන්න පුළුවන්. එහෙමත් නැතිනම් Windows 10 වගේ මෙහෙයුම් පද්ධතියක ලයිසන් තියෙන කොපියක් පාවිච්චි කරනවා නම්, සරලවම Netflix ඇප් එක ඩවුන්ලෝඩ් කරලා, ඒක ඔස්සේ ගිහින් තමන්ට ඕන ටීවී සීරීස් එක හරි ෆිල්ම් එක හරි තෝරගෙන බලන්න පුළුවන්. ඕන නම් එක ක්ලික් එකෙන්ම ඕන කරන වීඩියෝ සෙටින්ග්ස් තෝරගත්තා, සබ්ටයිට්ල්ස් තෝරගත්තා, බැලුවා! අති සරලයි!!
2. හැම පැත්තෙන්ම ඇඩ්ස්!
සාමාන්‍යයෙන් හොරාට ෆිල්ම්ස්, ටීවී සීරීස් බලන්න තියෙන සයිට් වල ආයෙ හැම පැත්තෙන්ම ඇඩ්ස් තමයි මුලින් බලන්න වෙන්නේ. හොරාට ඩවුන්ලෝඩ් කරන්න ගියත් එච්චරයි. එක ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න කලින් ඇඩ්ස් දහයක් වත් බලන්න වෙනවා. හැබැයි කියන්න සතුටුයි මිත්‍රවරුනි, Netflix වල කිසිමාකාරයක ඇඩ් එකක්, කිසිම මොහොතක දකින්න ලැබෙන්නෙ නෑ! ඇඩ්ස් නිසා විඳින කරදරයෙන් බේරිලා තමන් ආස කරන ටීවී සීරීස් එකක්, ෆිල්ම් එකක් බලන්න අපි Netflix නිර්දේශ කරන්නේ ඒකයි!
3. ඔරිජිනල්ස් නං ඔරිජිනල්ස්!
ඇත්තටම ගොඩක් අය දන්නෙ නැති පිස්සු කොර ටීවී සීරීස් සහ ෆිල්ම්ස් තියෙනවා, Netflix වෙනුවෙන් විතරක් හඳුන්වලා දීපු. විශේෂයෙන්ම මේ ටී වී සීරීස් වල අන්තර්ගතයේ කොලිටිය ගොඩක් වෙලාවට ඉතාමත්ම ඉහළයි. ඒත් මේ කියන Netflix ඔරිජිනල්ස් හොරාට ඩවුන්ලෝඩ් කරලා බලන එක ටිකක් අමාරුයි. ඊට වඩා හොඳම ක්‍රමය තමයි කෙලින්ම Netflix හරහාම මේ Netflix ඔරිජිනල් ටීවී සීරීස් බලන එක. ඇත්තටම ඔය Messiah, Dracula, BoJack Horseman, Stranger Things, Orange is the New Black, Mindhunter, Sex Education, House of Cards වගේ ටීවී සීරීස් වල කොලිටිය ගැන බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්!
4. සබ්ටයිටල්ස් හොයන්න මොකට වද විඳිනවද!
සාමාන්‍යයෙන් අපි හැමෝම ඉංග්‍රීසි භාෂාවේ කෙළ පැමිණි උදවිය නෙවෙයිනේ. අනික සමහර වෙලාවට ඔය වෙන රටවල ඇක්සන්ට් එකෙන් කතා කරන ඉංග්‍රීසි එක පාරට තෝරගන්නත් බෑ. ආන්න ඒ නිසා අපි ගොඩක් දෙනෙක් කරන වැඩක් තමයි මොනවා හරි විදේශීය ෆිල්ම් එකක් හරි ටීවී සීරීස් එකක් හරි බලනකොට ඉංග්‍රීසි සබ්ටයිට්ල්ස් පාවිච්චි කරන එක. හැබැයි හොරාට ඩවුන්ලෝඩ් කරන ඒවලට සබ්ටයිට්ල්ස් හොයන එක වෙනම ගේමක්. සමහර අලුත් ටීවී සීරීස් වල සබ්ටයිට්ල්ස් එනකල් බලාගෙන ඉන්න ඕන. කොහොම හරි හොයාගෙන සබ්ටයිට්ල්ස් ඩවුන්ලෝඩ් කරගත්තත්, සමහර වෙලාවට හරි ෆ්‍රේම් එකට සබ් එක ගැලපෙන්නෙ නෑ! ඉතින් වද විඳගෙන, ප්ලේයර් එකේ සබ් එඩිටර් එක ඕපන් කරගෙන විනාඩි දහයෙන් දහයට සබ් ගලපන්න ඕන!
හැබැයි Netflix එක්ක ඔය කරදරේ නෑ. සබ් ඕනද? එක ක්ලික් එකකින් සබ් සිලෙක්ට් කරලා සාමයෙන් ටීවී සීරීස් එක හරි ෆිල්ම් එක හරි බලන්නයි තියෙන්නේ!
5. තෝරගන්න දේවල් ගොඩායි!
ඇත්තටම Netflix සයිට් එකට ගියාට පස්සේ ගොඩක් අයට එන පළමුවෙනි ප්‍රශ්නේ තමයි, බලන්න තෝරගන්නේ මොකද්ද කියන එක. ඇත්තටම ඒ තරමටම Netflix එකේ ෆිල්ම්ස් සහ ටීවී සීරීස් තෝරගන්න තියෙනවා. මේවා අපේ කැමැත්ත අනුව, මේ දවස් වල ට්‍රෙන්ඩ් එක අනුව වගේම විවිධ ෂානර අනුවත් වෙන් කරලා තියෙනවා. අලුතින්ම ආපු සහ ඉස්සර ආපු ටීවී සීරීස් 154 ක් විතර මේ වෙනකොට Netflix එකේ තියෙනවා. එතකොට ෆිල්ම්ස් ගත්තොත් දාස් ගාණක් තියෙනවා. ඒ කියන්නේ 6000කට කිට්ටු ගාණක්!
6. ඩවුන්ලෝඩ් කරලා පස්සේ බලමු!
අපි කලිනුත් කිව්වා වගේ ඔය Windows 10 හරි වෙනත් ඒ වගේ මෙහෙයුම් පද්ධතියක් හරි ලයිසන්ස් එක්ක එන කොපියක් නම් පාවිච්චි කරන්නේ, කෙලින්ම Netflix ඇප් එකෙන්ම Netflix යන්න පුළුවන්. මේ ඇප් එකේ තියෙන තව වාසියක් තමයි, පස්සේ ඕෆ්ලයින් බලන්න අපිට Netflix එකේ තියෙන එව්වා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වීම. ඕන නම් ඔය ඕෆ් පීක් ඩේටා ඉතුරු වෙලා තියෙන අයට පුළුවන් තමන්ට ඕන එව්වා ටික ඩවුන්ලෝඩ් වෙන්න දාලා, ඊට පස්සේ ඩේටා කපාගන්නෙ නැතුව බලන්න.
7. කොලිටි හොඳා!
සමහර වෙලාවට හොරට ඩවුන්ලෝඩ් කරන ටීවී සීරීස් වල, ෆිල්ම් වල තියෙන එපා වෙන අවුලක් තමයි කොලිටි කැලේ වීම. විශේෂයෙන්ම ඔය 480p කියලා ගහලා තියෙන වීඩියෝ වල වුනත් ඩවුන්ලෝඩ් කරලා බලනකොට රිසොල්යුෂන් අන්තිම අජූත වෙන්න පුළුවන්. එහෙම වෙලාවකට ඒවා බලන එකත් ඔලුවට වදයක්. හැබැයි Netflix එක්ක එහෙම අවුල් නෑ. දෙන්නේ 480p කියලා කිවුවොත්, ඒක වෙනස් වෙන්නෙ නෑ. HD දෙනවා කියලා කිවුවොත් ඒකත් වෙනස් වෙන්නෙ නෑ!
8. හිතටත් හොඳා!
මේකත් එක්තරා විදියකට වාසියක්. දැන් අපි ඔය ඔක්කොම දුක් විඳගෙන හොරාට ඩවුන්ලෝඩ් කරලා මොකක් හරි බලනවනේ. ඕක අපි මොන විදියකට සාධාරනීකරණය කළත් අපි කරන්නේ හොරකමක්නේ. හා නැද්ද? ඉතින් හෘදසාක්ෂියක් තියෙන මනුස්සයෙක්ට නම් ඒක හොරකමක් කියන එක දැනෙනවා. ඒත් අපි Netflix වගේ සේවාවක් පාවිච්චි කරනවා කියන්නේ, මේ හොරකම් මානසිකත්වයෙනුත් මිදෙන්න පුළුවන් කියන එක. ආන්න ඒකයි අපි ඒක වාසියක් කියලා කියන්නේ!
9. ගෙවන්නත් ලේසියි, ගෙවන මුදලටත් වටියි!
ඇත්තටම Netflix එකේ තියෙන අඩුම ගාණක් වියදම් වෙන ප්ලෑන් එකට ඩොලර් 8 ක් වත් යන්නෙ නෑ. ඒ කියන්නේ මේ දවස් වල විදියට නම් රුපියල් 1500 කටත් අඩුයි. මේ කියන්නේ මාසෙකට යන ගාණ. හැබැයි Netflix කට්ටිය පළවෙනි මාසේ ෆ්‍රී දෙනවා, ට්‍රයල් එකක් ගිහින් බලන්න කියලා. අනිත් කාරණාව, අපිට Netflix එකට ගෙවන්න ක්‍රෙඩිට් කාඩ් තියෙන්නම ඕන නෑ. දැන් ඩයලොග් එකත් එක්ක එකතුවෙලා Netflix කට්ටිය අපිට විකල්පයක් දෙනවා, ඩයලොග් බිලටම Netflix එකේ මාසේ වාරිකය එකතු වෙන විදියටත්.
ඉතින් Netflix කියන්නේ ගෙවන මුදලට වටින ස්ට්‍රීමින්ග් සේවයක් කියලා හිතෙන්නේ නැද්ද?
Leave a Reply