මූල්‍ය පහසුකමක් හරහා වාහනයක් ගන්නකොට හිතන්න ඕන දේවල්

ලංකාවේ මේ දවස් වල තියෙන තත්ත්වයත් එක්ක වාහනයක් ගන්නවා කියන්නෙ ලේසි පහසු වැඩක් නෙමෙයි කියල ඔයාලට ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඒ තරමට වාහන වලට ගහල තියෙන බදු ඉහළයි. වාහන නිෂ්පාදකයා වාහනේකින් ලබන ලාබයට වඩා වැඩි ලාබයක් ශ්‍රී ලංකාණ්ඩුව උපයා ගන්නවා බදු හරහා. පහු ගිය කාලෙ නම් මාර්ග තදබදයටත් විසඳුමක් විදිහට වාහන ආනයනය කිරීම සීමා කරන්න අදාළ පාර්ශවයන් තීරණය කරල තිබුනා කියන එකත් රහසක් නෙමෙයිනෙ. ඔය දේවල් කොයිහැටි උනත් හුදී සිරි ලාංකික සාතිශය බහුතරයකගෙ හීනයක් තමයි මොකක් හරි කමක් නෑ වාහනයක් ගන්න එක. ඉතින් මොන වාහනයක් උනත් කෑශ් දීල ගන්න පුළුවන් කමක් බොහෝ දෙනෙක්ට නෑ. එතකොට ඒ හැමෝටම තියෙන විසඳුම තමයි මොකක්හරි මූල්‍ය ආයතනයකින් ණය පහසුකමක් හරහා තමන්ගෙ වාහන හීනය හැබෑ කරගන්න එක. ඔන්න ඔයා ඕක හිතන පරක්කුවට ඔයාට වාහනේ අරන් දෙන්න ඕන තරම් ආයතන ඉදිරිපත් වෙයි. හැබැයි ඉතිං ගත්ත වගේ නෙමෙයි, ගෙවන්නත් ඕනෙ පුතේ. අන්න ඒ නිසා අමාරුවේ වැටෙන්නෙ නැතුව ඔන්න ඔය වෙලාවට මෙන්න මේ කාරණා ගැන ටිකක් හිතල බලලම ඉතුරු හරිය තීරණය කරන්න

 

 

 1. ලෝන් එකක් ද? ලීස් එකක් ද?

මෙන්න මේ කාරණාව ගැන තමයි ඔයා ඉස්සෙල්ල හිතන්න ඕනෙ. මෙතනින් තමයි ඔයාගෙ වැඩේ වැඩි හරියක් ගොඩ හෝ මඩ වෙන්නෙ. සරලවම ඔය දෙකේ වෙනස තමයි ලීස් එකක අන්තිම වාරිකය ගෙවනකන් අයිතිය ලීසිං කොම්පැනියට. ඒත් ලෝන් එකක එහෙම නෑ. බොහෝ දුරට දැන් ලෝන් කියන ක්‍රමයට පහසුකම් දෙනවා ගොඩක් අඩුයි. හැබයි. ඔය හොඳ කොම්පැනි වල වැඩ කරන ටිකක් ඉහළ නිලතල තියෙන අයට මේ ක්‍රමයට පහසුකමක් ගන්න පුළුවන්. ඒ වගේම සමහර ආයතන වල සේවකයින්ටත් පහසු පොලී අනුපාත වලට අභ්‍යන්තර ණය පහසුකම් ලබා දෙනවා. ඉතින් මේ දෙකෙන් වඩා හොඳ එක තමයි ලෝන් කියන්නෙ. ඒවයෙ කොන්දේසි සාපේක්ෂව ලිහිල්. ඒ නිසා වඩා හොඳ ලෝන් එකක් විදිහට පහසුකමක් ගන්න එක. ඒක බැරි නම් ඉතිං අකමැත්තෙන් උනත් ලීස් එකකට යන්න වෙනවා. 

 

 

2. රේට් එක කොහොමද? 

මේක තමයි ගොඩ දෙනෙක් ඇනගන්න තැන. කලින් කිව්ව වගේ ලෝන් එකක් නම් ඔයා ගන්න යන්නෙ, ඒවයෙ රේට් එක නම් කිසි ගැටලුවක් නෑ කලින්ම කියනව බොහෝ දුරට හංගන්නෙ නැතුව. ඒත් ලීස් එකකට යද්දි ලීසිං ආයතන රේට් එක හරියට කියන්නෙ නෑ. හංගලා තමයි ගහන්න බලන්නෙ. අන්න ඒ නිසා ඒ අය​ට ඇනයක් වෙලා හරි කමක් නෑ අදාළ පොලී අනුපාතය මොකක්ද, ඒක හැදෙන්නෙ කොහොමද කියන එක සැක හැර දැනගන්න. ඒ ගා​ණ ඔයත් හදල බලල තහවුරු කරගන්න. මොකද ගොඩක් වෙලාවට ලීසිං වල රේට් එක ඇහුවම උන්දැලා කියන්නෙ ලක්​ෂෙට අච්චරයි මෙච්චරයි කියල මිසක් සියයට කීයක්ද කියල නෙමෙයි. 

 

 

3. අදාළ ආයතනයේ විශ්වසනීය බව

ගොඩක් වෙලාවට අපි හිතන විදිහ තමයි සල්ලි දානවනම් හොඳට හොයල බලල දාන්න ඕනෙ. ඒත් සල්ලි ගන්නවනම් කොහෙන්හරි කමක් නෑ කියන එක. හැබයි ඒක එච්චර නිවැරදි අදහසක් නෙමෙයි. සල්ලි දානවා වගේම ණය පහසුකමක් ගනිද්දිත් අදාළ ආයතනයේ විශ්වසනීය බව හොයල බලන්න ඕනෙ. දන්න කියන අයට වෙලා තියෙන සංතෑසි, අකටයුතුකම් එහෙම පොඩ්ඩක් අහල බලන්න ඕනෙ. ඒවයින් හොඳ හොඳ පාඩම් ඉගෙන ගන්න පුළුවන්. ඊටත් වඩා තමන් එලඹෙන්නේ අවුරුදු ගා​ණක් ඉස්සරහට බලපවත්වන ගිවිසුමකට. ඉතින් ඒකෙදි ගිවිසුමේ අනික් පාර්ශ්වයේ තරම ඔයා හොඳින් තහවුරු කරගෙන ඉන්න එක වැදගත්. හේතුව, මුලදි කියපු ඒවා වැඩේ යද්දි කරනවද කියන එක රඳා පවතින්නෙ අදාළ ආයතනයේ විශ්වාසනීයත්වය උඩ. 

 

 

4. D/ O එක දෙන්න යන කාලය

වාහනය විකුණන පුද්ගලයා හෝ ආයතනය බලාපොරොත්තු වෙන දේ තමයි පුළුවන් ඉක්මනට ගනුදෙනු ඉවරයක් කරන එක. ඉතින් ඔයා තෝරගත්ත ලීසිං කොම්පැනිය  Delivery Order එක දෙන්න දවස් ගා​ණක් ගන්නවනම් ඔයාගෙ වාහනයේ හිමිකරුට ඒක එච්චර හොඳ ආරංචියක් නොවේවි. අන්න ඒ නිසා අඩුම ගා​ණෙ එක දවසකින් වත් ඩී ඕ එක දෙන්න පුළුවන් ආයතනයක් තෝරගන්න වෙනවා ඔයාට. නැත්‍නම් වාහනේ අයිතිකාරයා වෙන කාටහරි වාහනේ දීලා තියෙයි. 

 

 

5. ගෙවාගෙන යද්දි වෙන අතපසුවීම්

මෙහෙමයි. තමන්ට හරි වෙලාවට අදාළ වාරික මුදල් ගෙවන්න බැරි නම් ණය ගන්න එපා. ඒත් නොවැළැක්විය හැකි කාරණා නිසා සමහර වෙලාවට වාරික ගෙවන්න ටිකක් පමා වෙන වෙලාවල් තියෙන්න පුළුවන් ඕන කෙනෙක්ට. අන්න ඒ වගේ වෙලාවට එක දවසක් එහා මෙහා වෙච්ච ගමන් ෆෝන් එකට කෝල් 100ක් විතර ගන්න, ගැරැන්ටර්ස්ලට වද දෙන කචල් ආයතන එක්ක පැටලෙන්න යන්න එපා. ඒ ගැන පොඩ්ඩක් දන්න කියන අයගෙන් අහල දැනගෙන හොඳ ආයතනයකින් ණය පහසුකම ලබාගන්න එක හොඳයි. 

 

 

6. ක්ලේම් එකකදි තියෙන සපෝර්ට් එක

ලීස් එකක් හරි ලෝන් එකක් හරි ගනිද්දි අනිවාර්යයෙන් ෆුල් ඉන්ශුවරන්ස් දාන්න වෙනවා. ඉතිං දාල විතරක් බෑනෙ. ඇක්සිඩන්ට් එකක් උනොත් ක්ලේම් එකකුත් ගන්න බලාගෙනනෙ ෆුල් ඉන්ශුවරන්ස් දාන්නෙ. අන්න ඒ වෙලාවට මූල්‍ය ආයතනයෙන් උදව් කරන්න ඕනෙ ක්ලේම් එක ගන්න. හේතුව බොහෝ ලීසිං ආයතන ඉන්ශුවරන්ස් කොම්පැණි වලින් ඒජන්ට් කෝඩ් අරන් ඉන්නවා. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් A කියන ලීසිං ආයතනය X කියන ඉන්ශුවරන්ස් කොම්පැනියෙත් Y ඉන්ශුවරන්ස් කොම්පැනියෙත් Z ඉන්ශුවරන්ස් කොම්පැනියෙත් කෝඩ් අරන් තියෙනවා. එතකොට ඒ අදාළ ඉන්ශුවරන්ස් කොම්පැනි වලින් එගොල්ලො හරහා දාන ඉන්ශුවරන්ස් වලට කොමිශන් එකකුත් ගෙවනවා. අන්න ඒ නිසා නිරායාසයෙන් ම ඒ ලීසිං ආයතනය ඔයාගෙ ඉන්ශුවරන්ස් ඒජන්ට් වෙලා ඉවරයි. අන්න ඒ නිසා ක්ලේම් එකක් වෙලාවට ඒක ඉක්මන් කරවන එක ලීසිං කොම්පැණියෙත් වගකීමක්. අන්න ඒ කාරණාව ගැනත් පොඩ්ඩක් හෝදිසි කරල බලන්න.  

 

 

7. කලින් සෙට්ල් කරද්දි

වාහනේක ලීස් එකක් හෝ ලෝන් එකක් දාද්දි අපි ඒක කලින් ගෙවල ඉවර කිරිල්ලක් ගැන බොහෝ විට නොහිතුවට සමහර චාන්ස් එනවා අපිට ගෙවාගෙන යද්දි මගදි පහසුකම සම්පුර්ණයෙන් ගෙවල ඉවර කරන්න අවස්ථාවක් ලැබෙන. අන්න ඒ වෙලාවට ඔයා අදාළ මූල්‍ය සමාගමෙන් අහුවම මට මේක සෙට්ල් කරන්න ඕනෙ. ඒකට ගෙවන්න ඕන මුළු ගා​ණ කීයද කියල. උන් කිව්වොත් තියෙන ගා​ණටත් වඩා වැඩි ගා​ණක් එතකොට තරු විසි වෙනවනෙ. ඒව ඉතිං ඒ වෙලාවට වෙනස් කරන්න කියලද. බෑනෙ. අන්න ඒ නිසා පහසුකම ගන්න කලින් ඒ දේවල් සාකච්ඡා කරල තියාගන්න. සමහර ආයතන තියෙනව කලින් සෙට්ල් කරද්දි පොලියෙන් කොටසක් කපල දාන. අන්න ඒ වගේ වාසියක් තියෙන ආයතනයක් තෝරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *