ඇඟේ ෆිට්නස් තියෙන ස්පෝට්ස් මීට් කොල්ලෙක්/කෙල්ලෙක් වීමේ වාසි!

සාමාන්‍යයෙන් දැන් කාලේ අපේ ලයිෆ්ස්ටයිල් වල හැටියට ෆිට් එකේ ඉන්නවා තියා, කලාතුරකින්වත් එක්සයිස් එකක් කියලා දෙයක් ඇඟට ලැබෙන්නේ නැහැනේ. හැබැයි අනික් අතට දැන් කාලේ ෆිට්නස් තියෙන එක ලොකුවට එදිනෙදා ජීවිතේට වුවමනා වෙන දෙයක් විදියට ගොඩක් අය දකින්නෙත් නෑ. මොකද තාක්ෂණය නිසා අපිට ලොකුවට එදිනෙදා ජීවිතේ මහන්සි වෙන්න අවශ්‍යතාවයන් මතුවෙන්නේ නැති නිසා. හැබැයි එහෙම වුනාට, ෆිට් එකේ නොසිටීම නිසා අපිට අහිමි වෙන, අමාරුවෙන් කරන්න වෙන දේවල් තියෙනවා. ආන්න ඒ නිසා අපි පොඩ්ඩක් කතා කරමු ෆිට් එකේ ඉන්න ෆිට් කොල්ලෙක්, ෆිට් කෙල්ලෙක් වීමේ වාසි ටිකක්!

 

1. ඔව්, හදිසියකට දුවගන්න පුළුවන්!

ඇත්තටම හදිසියකට අපිට දුවාගන්න අවශ්‍යතාවයක් පැන නගින්න ඕනම වෙලාවක හැකියාවක් තියෙනවා. ඒක අන්තිම බස් එක අල්ලගන්න දුවන එක විතරක් නෙවෙයි, බල්ලෙක් පස්සෙන් පන්නගෙන එනකොට විතරකුත් නෙවෙයි, වෙන මොකක් හරි හදිසි අවශ්‍යතාවයකදී වුනත් අපිට දුවන්න පනින්න සිද්ධ වෙන්න පුළුවන්. ආන්න ඒ වගේ වෙලාවකට සෝමාරි ඇඟක් තියෙන මනුස්සයෙක්ට පුළුවන් වෙන්නේ බඩගාන්න විතරයි. ඒත් පොඩ්ඩක් එක්සයිස් කරලා ෆිට් ඇඟක් තියාගෙන ඉන්න මනුස්සයෙක්ට නම් ඒ ප්‍රශ්නේ පැන නගින්නේ නෑ!

 

2. ලෙඩ රෝග අඩුයි!

ඇත්තටම ෆිට් එකේ ඉන්න ඕන කියලා වෛද්‍යවරු කියන ප්‍රධානතම කාරණයක් තමයි මේක. ඒ කියන්නේ ලෙඩ රෝග වලින් හොඳ සෞඛ්‍ය සම්පන්න, සුවතාවයෙන් යුක්‍ත ශරීරයකට තියෙන ආරක්ෂාව. සාමාන්‍යයෙන් දැන් කාලේ ඔය එක තැනකටම වෙලා දවසේ වැඩි වෙලාවක් වාඩි වෙලා ඉඳීම, සෞඛ්‍ය සම්පන්න නොවෙන ආහාර පාන පුරුදු සහ ශරීර ව්‍යායාම නැති කම නිසා හැදෙන ලෙඩ රෝග ලැයිස්තුවක්ම තියෙනවා. කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, හාට් සීන්, ඩයබිටික්ස් ඕවෑයින් කීපයක් විතරයි. හැබැයි නිරන්තරයෙන්ම ව්‍යායාම කරලා ශරීරය හොඳ තත්ත්වයෙන් පවත්වා ගන්නවා කියන්නේ, මේ විදියේ අද කාලේ සුලභ ලෙඩ රෝග වලින් ගැලවෙන්න හොඳ ඉඩක් තියෙනවා කියන එක තමයි!

 

3. ෆැෂන් නං ෆැෂන්!

මෙන්න මේක ගැන නම් ආයෙ අමුතුවෙන් අපිට කියන්න දෙයක් නෑ. එක තැන ඉඳලා, එක්සයිස් නැතුව ඇඟ පත ආරලා තියෙන ඕනම කෙනෙක්ට මේකේ දුක හොඳ හැටි තේරෙනවා. ලස්සන ලස්සන ෆැෂන් දිහා බලලා, ගොඩක් වෙලාවට වෙන්නේ ඒ ඇඳුම් අල්ලලා, අත ගාලා බලලා දුකෙන් ගෙදර එන්න. මොකද ෆිට්නස් කියන එකත් එක්ක බෝනස් එකක් විදියට නොමිලේම ලැබෙන දෙයක් තමයි ශරීරය මනා හැඩයකින් සහ සුන්දරත්වයකින් යුක්ත වෙන එක. අනවශ්‍ය එල්ලෙන මේද තට්ටු, නෙරලා ආපු බඩවල් නැති, හිතේ හැටියට ලස්සන ෆැෂන් තෝරගන්න පුළුවන් ඇඟක් ලබාගන්න කවුද අකමැති?

 

4. වත්තේ පිටියේ වැඩක්!

ඇත්තටම මේ කාරණාව දෙයාකාරයි. දැන් කාලේ ගොඩක් අය වත්තේ පිටියේ වැඩ තමන්ම කරන්නෙ නෑ. කාලයක් ගිහිල්ලා ගෙවත්ත වල් බිහිවීගෙන එනකොට කුලීකාරයෝ දම්මලා වත්ත සුද්ද බුද්ද කරලා ගන්නවා. හැබැයි සතියකට සැරයක් වත් වත්තට පොඩ්ඩක් බැහැලා සුද්ද පවිත්‍ර කරලා, මල් ගහක් එහෙම හිටවලා, වල් ගලවලා තියාගන්න පුළුවන් නම් කොයි තරම් ලස්සනද? ඒ වගේම අවුරුදු ගාණක් ඉස්සරහට හිතලා බැලුවොත්, තමන්ගේ ගෙවත්ත තමන්ම පවත්වා ගන්න එකෙන් කොයි තරම් මුදලක් ඉතුරු වෙනවද? හැබැයි ඉතින් වත්තේ පිටියේ වැඩ කරන්න ඇඟ හොරුන්ට බැහැ. ඒකට හොඳ ෆිට්නස් තියෙන මනුස්සයෙක් වෙන්න ඕන. හැබැයි මේකේ දෙවෙනි කාරණාව තමයි, ඇත්තටම දිනපතා වත්තේ පිටියේ වැඩ පළ කරන මනුස්සයෙක්ට අමුතුවෙන් ෆිට්නස් හදාගන්න ජිම් එකකට හරි ජොගින් හරි යන්න ඕන නැහැයි කියන එක!

 

5. කාර්යක්ෂමතාවයත් වැඩියි!

කාර්යක්ෂමතාවය කියලා කියන්නේ අපේ ශාරීරික සුවතාවය එක්ක අනිවාර්යයෙන්ම බැඳිලා තියෙන දෙයක් කියලා අමුතුවෙන් කියන්න වුවමනාවක් නැහැනේ. ශරීරයට එක්සයිස් නැතිවෙනකොට, ශරීරය කම්මැලි වෙනකොට, ශරීරය ස්ථුල වෙන කොට අපි වැඩ පළ කරන කාර්යක්ෂමතාවය වුනත් සැලකිය යුතු විදියට පහළට බහිනවා. මේකෙන් කියන්නේ ශාරීරිකව දක්වන කාර්යක්ෂමතාවය ගැන විතරක් නෙවෙයි. අපිට වැඩ කරන්න මොළයෙන් ලබාදෙන කාර්යක්ෂමතාවයත් මේකෙන් අසීමිත විදියට පහළට බහිනවා. ආන්න ඒ නිසා තමයි ෆිට්නස් නැති ශරීරයක් තියාගෙන ඉන්න කෙනෙක් දවසකදී කරන වැඩ ප්‍රමාණය, ෆිට්නස් තියෙන ඒ මට්ටමේම කෙනෙක් කරන වැඩ ප්‍රමාණයත් එක්ක සංසන්දනය කළොත්, පහළ මට්ටමක තියෙනවා කියලා බය නැතුව කියන්න පුළුවන් වෙන්නේ!

 

6. මොළේටත් හොඳයි!

ඔව්. ෆිට්නස් තියෙන එක බලපාන්නේ ශරීරයට විතරක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපේ ශරීරය ඈලි මෑලි සෝමාරි ගතියෙන් යුක්ත වෙනකොට, එක්සයිස් නැතුව අපේ ඇඟ ආරන කොට, අපේ මානසික ක්‍රියාකාරකම්, මොළයේ ක්‍රියාකාරිත්වය වුනත් ඈලි මෑලි වෙන්න ගන්නවා. හැබැයි දිනපතා ව්‍යායාම කරලා, ඇඟේ ෆිට්නස් හොඳින් තියාගෙන ඉන්නකොට මොළේ වුනත් හොඳ ජවයකින් දුවන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි, මොකක් හරි වැඩකට අවධානය දීර්ඝ වෙලාවක් යොමු කරන්න පුළුවන් වීම, ක්ෂණික ප්‍රතිචාර දක්වන්න පුළුවන් වීම වගේ ක්‍රියාකාරීත්වයනුත් ඉහළ මට්ටමකට එනවා.

 

7. සෙක්ස් ලයිෆ් එකත් ෆුල් මාවලස්! 

ඔව්, මේ කාරණාවත් විහිළුවක් නෙවෙයි. ලංකාවේ ගොඩක් අයගේ සෙක්ස් ලයිෆ් එකේ තියෙන අඩුපාඩුවලට එක මූලික හේතුවක් තමයි ෆිට්නස් නැති කම. ඇයි එහෙම කියන්නේ? එකක් තමයි, ලිංගික ජීවිතය හොඳින් රසවිඳින්න නම්, පිටි මුට්ටි ඇඳ උඩ තිබ්බා වගේ ඉඳලා හරියන්නෙ නෑ. සෙක්ස් කරනවා කියන්නේ රස විඳින්න පුළුවන් දෙයක් වගේම ශක්තිය වැය වෙන, මහන්සි දැනෙන වැඩක්. හැබැයි ඉතින් සෙක්ස් කරන එකේ උපරිම තෘප්තිය දෙන්නාටම නොඅඩුව ලබාගන්න නම් පොඩ්ඩක් මහන්සි වෙන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඒ වගේම ඔය ඇඟේ පතේ නම්‍යශීලී භාවයත් තියෙන්න ඕන. එහෙම නැතිනම් කරන්න වෙන්නේ, හැමදාමත් පුරුදු පොසිෂන් එකේ ඉඳන් පොඩ්ඩක් එහාට මෙහාට හෙල්ලිලා නිදාගන්න තමයි!

 

දැන් මේ කියපු වාසි ලබාගන්න නම් ෆුල් ෆිට් එකේ ඉන්න ඕනනේ. ඒකට ජිම් එකකට යන්නම ඕනද? නෑ. ජිම් එකකට ගියත් හොඳයි. ඒ නැතත් දිනපතා ශාරීරික ව්‍යායාම කරලා, පොඩ්ඩක් දුර ඇවිදලා, එහෙම නැතිනම් දිනපතා දුවන ව්‍යායාමයක් කරලා ඉන්නවා නම් ඒත් හරි. හැබැයි ඒ විතරක් මදි. සෞඛ්‍ය සම්පන්න ආහාර පාන පුරුදු ගැනත් හිතන්න ඕන!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *