ආසියාවේ නොබෙල් තෑග්ග විදිහට සැලකෙන්නේ රාමෝන් මැග්සයිසේ සම්මානයයි. මෙම සම්මානය පිරිනැමෙන්නේ 1953 සිට 1957 දක්වා පිලිපීනයේ ජනාධිපතිවරයාව සිටියදී ගුවන් අනතුරකින් මිය ගිය රාමෝන් මැග්සයිසේ අනුස්මරණය කරමින්. සෑම වසරකම අගෝස්තු තිස් එක් වැනිදා මැග්සයිසේ ජනාධිපතිවරයාගේ ජන්ම අනුස්මරණ දිනයට සමගාමීව මෙම සම්මානය ආසියාතිකයන්ගේ සහ ආසියාවේ ප්‍රගමනයට සුවිශාල සේවයක් කළ විශිෂ්ටයන් සඳහා පිරිනමනු ලබනවා. මේ සටහන මැග්සයිසේ සම්මානය දිනාගත් ශ්‍රී ලංකාවට සම්බන්ධ පිරිස් පිළිබඳවයි.
1. මේරි රත්නම් (1958)
රාමෝන් මැග්සයිසේ සම්මානය දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා විදිහට මේරි රත්නම් මැතිනියව හඳුන්වා දෙන්න පුළුවන්. නමුත් උපතින්ම ඇය ශ්‍රී ලාංකිකයෙක් නම් නෙමෙයි. ඇය ලංකාවට එන්නේ විවාහයත් එක්ක. ලංකා මහිලා සමිති ව්‍යාපාරය ආරම්භ කරමින් ලංකාවේ ග්‍රාමීය කාන්තාවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට ඇය කටයුතු කළා. කාලයක් ලංකා ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කිරීමටත් ඇයට හැකියාව ලැබුණා.
2. ටාසි විට්ටච්චි (1959)
ආසියාවේ පැරණිතම පුවත්පතක් වුණු The Ceylon observer පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධුරයට ටාසි විට්ටච්චි පත් වන විට ඔහුට වයස අවුරුදු තිස් දෙකක් පමණයි. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමත් සමඟ ඇති වුණු වාර්ගික ගැටුම් පිළිබඳව අධ්‍යයනයකින් පසුව ඔහු විසින් “Emergency 58″ නමින් කෘතියක් රචනා කළා. එසේම ඔහු දෙමළ ජනතාවට සමාන අයිතිවාසිකම් මෙරට තිබිය යුතුයි යන ස්ථාවරයේ දැඩිව සිටියා. මෙරට සහ ආසියාවේ පුවත්පත් කලාවට ඔහු දැක්වූ දායකත්වය රාමෝන් මැග්සයිසේ සම්මානය පිරිනැමීමෙන් අගය කරනු ලැබුවා.
3. ඒ. ටී ආරියරත්න (1969)
ඒ. ටී ආරියරත්න කියන නම අපිට ඇහෙනවත් එක්කම අපිට මතක් වෙන්නේ සර්වෝදය ව්‍යාපාරය. සර්වෝදය නිසාම තමයි ඒ. ටී ආරියරත්නට රාමෝන් මැග්සයිසේ සම්මානය හිමි වෙන්නේ. නාලන්දා විද්‍යාලයේ සිසුන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඇරඹුණු සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය පසුව දීප ව්‍යාප්ත වුණා. එය මෙරට බලවත් වූ රාජ්‍ය නොවන සංවිධානයක් බවට පසු කාලයේ පත්වුණා. සමහර අවස්ථාවලදී එම සංවිධානයට විවිධ චෝදනා එල්ල වූ බවත් නොකියාම බැහැ.
4. ජේ. එච් ෆර්නැන්ඩස් (1976)
උපතින් ප්‍රංශ ජාතික කතෝලිකයකු වූ ෆර්නැන්ඩස් හට රාමෝන් මැග්සයිසේ සම්මානය හිමි වන්නේ ලංකාවේ ළමයින් වෙනුවෙන් කළ සුවිශේෂී සේවය නිසායි. ළමා ගම්මාන සංකල්පය පළමුවරට ලංකාවට හඳුන්වාදෙනු ලබන්නේ එතුමාණන් විසින්. ඒ දිය ගල ළමා ගම්මානය හරහා. 1962 රාගම ආශ්‍රිතව දියගල ප්‍රදේශයේ ඇති කරනු ලැබූ මෙම ළමා ගම්මානය කෙටි කලක් තුළ දේශීයව මෙන්ම විදේශීයවත් අවධානය දිනා ගැනීමටත් සමත් වුණා.
5. එල්. ටී. පී මංජු ශ්‍රී (1979)
කලක් පැවිදි ජීවිතයක් ගත කළ මංජු ශ්‍රී, ධර්මය හැදෑරීමට වඩා සිතුවම්කරණයට වැඩි ප්‍රියතාවයක් දැක්වූවා. ඔහුගේ සිත්තමින් හැඩ වුණු විහාරාරාම කීපයක් ලංකාවේ ඇතත් ඔහු අතින් සිදු වුණු විශිෂ්ටතම සේවය වන්නේ දිවයින පුරා විහාරස්ථානවල සිතුවම් පිටපත් කිරීමයි. බොහෝ විහාරාරාමවල සිතුවම් කාලයත් සමගම දුර්වර්ණ වී මැකී යාම වැනි ස්වභාවික තත්ත්වයන්වලට මෙන්ම විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමත් සමග නව චිත්‍රවලට යටවීමත් සිදු වුණා. මේ නිසා රටේ චිත්‍ර කලාවේ පරිණාමය පිළිබඳව සටහන් තැබීමක් මංජු ශ්‍රී විසින් සිදුකළා. ඔහුගේ මේ සංස්කෘතික මැදිහත් වීම අගය කරමින් තමයි මැග්සයිසේ සම්මානය පිරිනමනු ලැබුවේ.
6. මර්සලින් ජයකොඩි පියතුමා (1983)
ලංකාවේ කතෝලික සභාව දේශීයකරණය කිරීමට මූලිකත්වය ගත් ප්‍රධාන බල කණුවක් විදිහට මර්සලින් ජයකොඩි පියතුමාව හඳුන්වන්න පුළුවන්. මෙරට කතෝලික ජනතාව ආගමින් පමණක් කතෝලික බවත් සංස්කෘතියෙන් සිංහල බෞද්ධ බවත් උන්වහන්සේ නිතරම ප්‍රකාශ කළා. කිතුනු ගීතිකා සාහිත්‍යයට මනරම් ගායනා රැසක් එකතු කළ උන්වහන්සේ චිත්‍රපටි සඳහාත් අර්ථ පූර්ණ මෙන්ම මියුරු ගී රැසක් එකතු කළා. ශ්‍රී ලංකාවේ මහා සංස්කෘතියට සිදු කරන ලද සේවය අගය කරමින් උන්වහන්සේට රාමෝන් මැග්සයිසේ සම්මානය 1983දී පිරිනමනු ලැබුවා.
7. එදිරිවීර සරච්චන්ද්‍ර (1988)
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ගෙන් තොරව මෙරට වේදිකා නාට්‍ය කලාවක් ගැන කතා කරන්න බැහැ. එතුමා මෙරට සංස්කෘතිය වෙනුවෙන් සුවිශාල මෙහෙයක් සිදු කරපු යුග පුරුෂයෙක් කියලා හඳුන්වන්න පුළුවන්. මනමේ නාට්‍ය නිර්මාණය කිරීම හරහා ඔහු මෙරට එතෙක් පැවති නාට්‍ය කලාව විප්ලවීකරණයට ලක් කරනවා. ඒ වෙනුවෙන් තමයි රාමෝන් මැග්සයිසේ සම්මානය එතුමාට හිමි වන්නේ. නමුත් ඇතැම් තැන්වල දී එතුමාගේ මැදිහත්වීම ප්‍රශ්නකාරී බවත් කිව යුතුයි. උදාහරණයක් ලෙස පේරාදෙණි ගුරු කුලය හරහා විකල්ප සාහිත්‍ය ධාරාවලට එළව එළවා පහර දීම තුළින් එම සාහිත්‍ය ධාරාවලට ස්වභාවික මරණයක් අත්පත් කර දීම සඳහන් කරන්න පුළුවන්.
8. ඩබ්ලිව්. ඩී අමරදේව (2001)
රාමෝන් මැග්සයිසේ සම්මානලාභීන් අතරෙන් එම සම්මානය ලැබීම සැමරීමට රාජ්‍ය මැදිහත්වීමෙන් සුවිශාල පිළිගැනීමක් ලැබුණු එකම සම්මානලාභියා විදිහට ඩබ්ලිව්. ඩී අමරදේව මහතා හඳුන්වන්න පුළුවන්. එවැනි පිළිගැනීමකට එතුමා සුදුසු වන්නේ මෙරට සංගීතයට එතුමා අතින් සිදුවුණු යුගකාරක මෙහෙවර නිසායි. ඒ වගේම මාලදිවයින වැනි රටක ජාතික ගීයට තනුව සැකසීම එතුමාගේ සංගීත ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් බවත් සඳහන් කළ යුතු වෙනවා.
9. ආනන්ද ගලප්පත්ති (2008)
ලංකාවේ ඉතා දියුණු නිදහස් සෞඛ්‍යයක් පැවතුණත් මනෝ වෛද්‍ය විද්‍යාව කෙරෙහි අපේ රටේ බලධාරීන් මෙන්ම ජනතාවත් යොමු කරන්නේ ඉතාමත් අඩු අවධානයක්. සුනාමි ව්‍යසනයෙන් සහ තිස් වසරක යුද්ධයෙන් පීඩා විඳි දරුවන්ගේ මානසික සුබසිද්ධිය වෙනුවෙන් ආනන්ද ගලප්පත්ති කැපවීමෙන් යුතුව කටයුතු කළා. යුද බිය පවතින කාලය තුළ පවා මඩකලපුවේ වාසය කරමින් එම ප්‍රදේශයේ ළමයින් වෙනුවෙන් ඔහු සුවිශේෂී සේවයක් ඉටු කරනු ලැබුවා
10. ගෙත්සි ෂන්මුගම් (2017)
ෂන්මුගම් මහත්මියත් ආනන්ද ගලප්පත්ති වගේම සුනාමියෙන් සහ යුද්ධයෙන් බැට කෑ ළමුන්ගේ මානසික සංවර්ධනය වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉෂ්ට කළා. පළමුව රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය ලබා ගනිමින් ද ඉන් පසුව රාජ්‍ය මැදිහත්වීම යටතේ ද ඇය විසින් ළමුන්ගේ මානසික ප්‍රශ්නවලට නිසි මග පෙන්වීම් ලබා දීමට හැකි අන්දමේ ගුරුවරුන් පිරිසක් පුහුණු කිරීමට කටයුතු කළා.
මේ දක්වා රාමෝන් මැග්සයිසේ සම්මානලාභීන් දහදෙනෙක් ශ්‍රී ලංකාවෙන් බිහි වී ඇති නිසා අපේ ආටිකල්වල සාමාන්‍ය සම්ප්‍රදාය වෙනස් කරමින් ඒ දහ දෙනා ගැනම අපි සඳහන් කළා. එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply