කෝල් එකක් ගැනීම හැරුණු කොට අන් හැම දේටම භාවිත කරන ස්මාට්ෆෝන් එක පෙම් සබඳතාවලටත් අකුල් හෙලන්න පටන් අරගෙන. ඇත්තටම මේක ෆෝන් එකේ වැරැද්දක් නෙවේ, ඒක පාවිච්චි කරන මනුස්සයගේ අවුලක්. ෆෝන් නම් අද තියෙනවා හෙට නැති වුණොත් කඩේකින් ගන්න පුළුවන්. ආදරවන්තයා ආදරවන්තිය ඒ වගේ දෙයක් නිසා නැති කරගන්නවා නම් ඒක හරි මෝඩ වැඩක්. ඉතින් මේ දේවල් ඔබ අතින් සිද්ධ වෙනවා නම් පරිස්සමින්.
1. ආහාර ගන්නා මොහොතේ දුරකතනය භාවිතය
සමහර අය ෆෝන් එකට කොච්චර ඇබ්බැහි වෙලා ද කියනවා නම් ශරීර කෘත්‍යය කරන වෙලේ ද කන වෙලේ ද කියලා එලෝ මෙලෝවක් නෑ ෆෝන් එක දිහෑ බලාගත්තු ගමන්මයි. හිතන්න දෙන්නා ඩේට් එකකට රෙස්ටෝරන්ට් එකකට ගියා කියල. කෑම ගේනකන් කතා කරන් ඉන්නේ නැතුව ෆෝන් එක දිහෑ බලන් ඉන්නවා. එහෙම වුණාම අනෙකාට දැනෙන්නේ තමන්ට ආදරේ නැති නොසලකා හරින දුරස් බවක්. ගෙදරක වුණත් එහෙමයි. කෑම මේසෙ දී එයා උයලා තියෙන්නේ මොනවද කියලා දන්නෙත් නැතුව ෆෝන් එක දිහාම බලන් ඉන්නවා නම් ලොකු දුරස් බවක් ඇති වෙනවා.
2. දුරකතනය නිතර තමන් අත රැඳීම
සමහර අයගේ පුරුද්දක් තියනවා ෆෝන් එක හැම වෙලේම වගේ ළඟ තියාගෙන ඉන්න පෙළඹෙන. එහෙම වුණාම එයා සැක කරන්න පටන් ගන්නවා මෙයාට නම් මොකාක් හරි හුටපටයක් තියෙනවා සහ ඒකේ අලගිය මුලගිය වැල් ෆෝන් එකේ තියනවා කියලා. ඇත්ත තත්ත්වය ඊට සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන්. ඒත් අර විදිහේ සැකයක් ඇති වෙන එක ගොඩක් වෙලාවට වළක්වන්න බෑ. ඒ නිසා අත්‍යවශ්‍ය නොවෙන වෙලාවලදිත් දුරකතනය අතේ තියාගෙන, මූණ ඔබාගෙන ඉන්න පුරුද්ද අවම කරගන්න උත්සාහ කරන්න.
3. නොටිෆිකේෂන් වෙනුවෙන් බලා සිටීම
ඉර පායනවා, මල් පිපෙනවා, කුරුල්ලෝ කෑම හොයන් යනවා, උන් ආදරේ කරලා බිත්තර දාලා පැටවුනුත් හදනවා. ඒත් ඔයා ආදරේ ළඟ තියාගෙන ෆෝන් එකේ නොටිෆිකේෂන් පැනල් එක දිහා බලාගෙන ඉන්නවා. සෝෂල් මීඩියා කප්පිත්තෙක් වුණාම තමයි මේ ලෙඩේ සෑහෙන වැඩි. නොටිෆිකේෂන් සද්දයක් ආපු ගමන් ආයෙ ෆෝන් එකේ වරු ගාණක්. එහෙම නැත්නම් මොකාක් හරි නොටිෆිකේෂන් එකක් වැටෙනකම් හරි බලන් ඉන්නවා. මේ තත්ත්වය අවම කරගන්න ෆෝන් එකේ සෙටින්ග්ස්වත් හදාගන්න.
4. දුරකතනය දෙස බලමින් සිනාසීම
බුදු අම්මෝ මේක නම් ඕනිම නෑ. යාළු වෙලා ඉන්න මනුස්සයා විතරක් නෙවේ තනිකඩ ජීවිත ගත කරන අයගේ අම්මලා පවා උන්ව කොමඩි එකකට ගන්නවා මෙතන දී. මොන කරුමෙකට ද මන්දා මීම් එකක් දැක්කත් කාට කාටත් යන්නේ සෑහෙන පැණි හිනාවක්. ඉතින් එහෙම වුණාම වැරදි විදියට හිතන්න පෙළඹෙන එක සාධාරණයි. මේවා නම් අනවශ්‍ය ම ප්‍රශ්න. තනියම හිනා වෙන එකේ, හිනාවට හේතුවුණ කාරණය එයාටත් පේන්න දාන්න.
5. රැකියා ස්ථානයේ වැඩවලට අනවශ්‍ය අවධානයක් දීම
තාක්ෂණයට පින්සිද්ධ වෙන්න ඔපීසිවල වැඩ ලේසි වුණා. දවසේ ඕනෑම වෙලාවක සේවකයෙකුව සම්බන්ධ කරවගෙන වැඩ කරවගන්න ඒ තාක්ෂණය නිසා පුළුවන්. ඉතින් ඒ වගේ රාජකාරී මට්ටමේ වැඩකට ෆෝන් එක භාවිත කරන්න වෙන අවස්ථාවක කෙළවරක් නැති අවධානය නිසා වටපිටාවේ ඉන්න අනි උදවිය ගැන අමතක වෙන්න පුළුවන්. ඊමේල්වලට රිප්ලයි කරනකොට වුණත් එහෙමයි. මෙහෙම නොවී, ජීවිතේ දීර්ඝ කාලයක් තමන් එක්ක තියෙන්න ඕන සම්බන්ධතාවලට අවශ්‍ය අවධානය දෙන්න.
6. සෝෂල් මීඩියා ඇබ්බැහිය
ජීවිතේ සිදුවන හැම දෙයක් ම සහ සිතන හැම සිතුවිල්ලක් ම සෝෂල් මීඩියාවල දාන එකෙන් නොහිතන සැනසීමක් මිනිස්සු ලබනවා. ඉතින් ඉන්ටර්නෙට් එකේ දී අපිට හමුවන මිනිස්සුන්ට මොන චරියාවක් තිබුණත් අපේ අනුකම්පාව හිමි වෙන්න ඕනි. නමුත් මේ අනුකම්පාවේ කෙළවරක් බවට හීනමානය පත් වෙනවා. එතැන ඉඳන් උත්සාහ ගන්නේ තමන්ව වීරයෙක් කරවාගන්න වැඩේ. ඒකට නිතර අප්ඩේට් වෙන්න ඕනි. අදහස් දක්වන්න ඕනි. සරලවම කිව්වොත් සෝෂල් මීඩියාවලට ඇබ්බැහි වෙන්න ඕනි. එහෙම වුණාම ඇත්තටම ආදරය කරනවට වඩා ආදරය ගැන කියවන්න පෙළඹෙනවා.
7. නයිට් ටයිම් කෙරුවාව
ඇඳට ආවත් හරි නින්ද යනකන් කරන්නෙත් ඒක බලන් උඩ පහළ යන එක. එකට ජීවත් වෙනවා නම් දෙන්නගේ සෙක්ස් ලයිෆ් එක එතනම ඉවරයි. දෙන්නා ඈතින් ඉන්නවා නම් මනුස්සයගේ හැටි දන්න නිසා එයා මැසේජ් කරනවා. ඔන්ලයින් ගේම් එකක් ගහන ඔයාට ඔය මැසේජ් කෑලිවලට රිප්ලයි කරන්න තරම් සිහියක් නෑ. අවධානය රැඳෙන්නේ වෙන තැනක නිසා ඉමොජියකින් ෂේප් වෙනවා. ඉතින් කාලෙත් එක්ක බැඳීම් දුරස් වෙන්න ගන්නවා.
Leave a Reply