ක්‍රිකට් ක්‍රීඩාවෙන් රටවල් දෙකක් නියෝජනය කරපු ජනප්‍රිය ක්‍රීඩකයෝ

ක්‍රිකට් ක්‍රීඩාව හරහා ජාත්‍යන්තරය නියෝජනය කරන්න සුදුසුකම් ලබන එක කොයි රටක ක්‍රීඩකයෙක්ට වුණත් ඒ තරම් ලේසි පාසු වැඩක් නෙමෙයි. සමහරු තමන්ගේ රටට ක්‍රීඩා කරන්න බැරි වුණ නිසා විදෙස් රටවලට ක්‍රීඩා කරපු අවස්ථාත් තියනවා. අපි මීට කලින් ලියපු විදෙස් කණ්ඩායම් නියෝජනය කරපු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ ලිපියෙත් එහෙම ක්‍රීඩකයො කීප දෙනෙක්ම හිටියා.  හැබැයි අපි අද කියන්නේ ඊටත් ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක් ගැන. ඒ තමයි තමන්ගේ රටටත් ක්‍රීඩා කරලා, වෙනත් රටකටත් ක්‍රීඩා කරන්න ලැබුණු විශේෂිතම ක්‍රිකට් ක්‍රීඩකයො පිරිසක් ගැන.

 

1. කෙප්ලර් වෙසල්ස් (Kepler Wessels)

කෙප්ලර් වෙසල්ස් කියන්නේ හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායකයෙක්, ඒ වගේම පසු කාලීනව ක්‍රිකට් විස්තර විචාරයේත් යෙදුණු තැනැත්තෙක්. කෙප්ලර් උපතින් දකුණු අප්‍රිකානු ජාතිකයෙක්. හැබැයි ඒ රටේ වර්ගවාදය නිසා ක්‍රිකට් තහනම් වුණු නිසාවෙන් කෙප්ලර්ට දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරන්න ලැබෙන්නෙ නැහැ. ඒ නිසා ඔහු තෝරාගන්නව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩා කරන්න. 1982දී එංගලන්තය එක්ක ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තමන්ගේ මුල්ම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරන කෙප්ලර් ලකුණු 162ක් ලබාගෙන විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරනවා. ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 24කටත් එක්දින තරඟ 54කටත් ක්‍රීඩා කරනවා. 1985 අවුරුද්දෙදි ඕස්ට්‍රේලියානු කළමනාකාරීත්වය ගැන කළකිරෙන කෙප්ලර් තමන්​ගේ සමුගැනීම ප්‍රකාශයට පත් කරනවා.

 

ඔය විදිහට අවුරුදු පහ හයක් ගෙවිල ගිය තැනදි 1991දී දකුණු අප්‍රිකාවට පණවා තිබ්බ ක්‍රිකට් තහනම ඉවත් වෙනවා. ඉන් පස්සේ නම් කරන දකුණු අප්‍රිකානු එක්දින සහ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට තෝරාගන්​නේ කෙප්ලර් වෙසල්ස්වයි. 1994දී දෙවැනි වරටත් සමුගන්නා විට ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 16ක් සහ එක්දින තර​ඟ 55ක් ක්‍රීඩා කරනව.

 

2. ඔයින් මෝගන් (Eoin Morgan)

එංගලන්තයට එක්දින ලෝක කුසලානයක් දිනා දෙන්න දායක වෙච්ච නායකයා වෙන ඔයින් මෝගන් උපතින් අයර්ලන්ත ජාතිකයෙක්. 1986 දී අයර්ලන්තයේ ඩබ්ලින් හිදී තමයි ඔහු උපදින්නෙ. මුලින්ම අයර්ලන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන මෝගන් ඒ රට වෙනුවෙන් එක්දින තරඟ 23කට ක්‍රීඩා කරනවා. පස්සේ කාලෙක ඔහු ප්‍රකාශ කරනවා එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන එක තමයි තමන්ගේ හීනය කියලා. ඒ නිසා කිසි පසුතැවිල්ලක් නැතිව මෝගන් එංගලන්ත කණ්ඩායමට එකතු වෙනව. 2009 අප්‍රේල් මාසෙදි කැනඩාවත් එක්ක තමන් අයර්ලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් තරඟයට සහභාගි වෙන මෝගන් ඊට මාසෙකට පස්සේ 2009 මැයි මාසෙදි බටහිර ඉන්දීය කොදෙවුවන්ට එරෙහිව එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාව උදා කරගන්නවා. මේ වෙද්දි ඔහු එංගලන්තය වෙනුවෙන් එක්දින තරඟ දෙසීයකටත් වැඩි ප්‍රමාණයකට ක්‍රීඩා කරල තියනව.

 

3. ලූක් රොන්කි (Luke Ronchi)

ලූක් රොන්කි කිවුවම අපිට කෙලින්ම මතක් වෙන්නේ ඔහු නවසීලන්තයට ක්‍රීඩා කරපු හැටි වුණාට රොන්කි මුල් කාලේ ක්‍රීඩා කරන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට. ඔහු එක්දින තරඟ 4කට සහ විස්සයි විස්ස තරඟ 3කට ඕස්ට්‍රේලියාව නියෝජනය කරනවා. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්ත කණ්ඩායම් දෙකටම ක්‍රීඩා කරන්න අවස්ථාව උදා කරගන්නා ඉතිහාසයේ එකම ක්‍රීඩකයා වෙන්නෙත් රොන්කියි. කුඩා අවධියේදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණ​ය වෙන රොන්කි වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ප්‍රාන්ත කණ්ඩායම ක්‍රීඩා කරමින් පස්සේ කාලෙක ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම වෙනුවෙනුත් තේරෙනවා. හැබැයි රොන්කිගේ වැඩි කැමැත්ත තියෙන්නෙ තමන්ගේ උපන් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නයි. ඒ නිසා 2012 අවුරුද්දෙදි ඔහු නවසීලන්ත කණ්ඩායමට එක්වෙන බලාපොරොත්තුවෙන් වෙලින්ටන් ක්‍රිකට් සමාජය එක්ක එකතුවෙනව. වැඩි කාලයක් නොගිහින්ම ඔහුට නවසීලන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන්නට අවස්ථාව උදා වෙනව. නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් තමන්ගේ මෙහෙවර ඉටු කරමි​න් එක්දින තරඟ 81ක් සහ විස්සයි විස්ස තරඟ 29කට රොන්කි ක්‍රීඩා කරනව.

 

4. ඩර්ක් නෑන්ස් (Dirk Nannes)

ඩර්ක් නෑන්ස් කියන්නේ විස්සයි විස්ස ක්‍රිකට් කරළියේ මුලින්ම බිහිවෙච්ච ෆ්‍රීලාන්ස් ක්‍රීඩකයන්ගෙන් කෙනෙක්. ඔහු නෙදර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව කියන රටවල් දෙකම ජාත්‍යන්තර තලයේදී නියෝජනය කළත් කිසිම රටක් එක්ක විශේෂ බැඳීමක් නෑන්ස්ට තිබ්බෙ නැහැ. නෑන්ස් ක්‍රිකට් ක්‍රීඩාව පටන්ගන්නෙත් අවුරුදු 30ටත් ආසන්න වයසකදී. වෙස්ටර්න් ඕස්​ට්‍රේලියා ප්‍රාන්තයට ක්‍රීඩා කරන නෑන්ස්ව 2009 අවුරුද්දේ ​ලෝක විස්සයි විස්ස කුසලානයට නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්න තේරෙනවා. ඊට මාස කීපයකට පස්සේ ඔහුට ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස කණ්ඩායමෙනුත් කැඳවීමක් ලැබෙනවා. ඉන් පස්සේ නෑන්ස් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න පටන් ගන්නවා. කොහොම වෙතත් ලොව පුරා පැවැත්වෙන අයිපීඑල් ඇතුළු විවිධ විස්සයි විස්ස තරඟාවලි හරහා තමයි ඩර්ක් නෑන්ස් වැඩිපුර දස්කම් දක්වමින් ජනප්‍රියත්වයක් ඇති කර ගන්නේ.

 

​5. බොයිඩ් රෑන්කින් (Boyd Rankin)

අඩි 7කට ආසන්න උස ශරීරයක් තියෙන මේ අයර්ලන්ත වේග පන්දු යවන්නාව නම් අපේ ක්‍රිකට් ​ලෝලීන්ට අනිවාර්යෙන් මතක ඇති. බොයිඩ් රෑන්කින් කියන්නේ අයර්ලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ බල ඇණියට නායකත්වය සපයමින් ක්‍රීඩා කරපු නිත්‍ය ක්‍රීඩකයෙක්. හැබැයි 2012 විතර වෙද්දි ඔහු තීරණය කරනවා අයර්ලන්තයට ක්‍රීඩා කරන එක නවත්වලා එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන්න අවස්ථාවක් උදා කරගන්න. ඒ සඳහා 2013 වසරේදී ඔහුට විස්සයි විස්ස වරම් ලැබෙනවා. ඉන් පස්සේ එංගලන්තය නියෝජනය කරමින් තමන්ගේ රට වෙච්ච අයර්ලන්තයට එරෙහිව එක්දින තරඟයක් ක්‍රීඩා කරන්නටත් රෑන්කින්ට සිද්ධ වෙනවා. අලු බඳුන ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කරන්නටත් රූන්කින්ට වාසනාව ලැබෙනවා. හැබැයි දිගින් දිගටම එංගලන්ත කණ්ඩායමේ රැඳී ඉන්න තරම් කැපී පෙනෙන ඉහළ දස්කම් දක්වන්න ඔහුට හැකියාවක් ලැබෙන්නේ නෑ ඒ නිසා 2015 විතර වෙද්දි රෑන්කින් තීරණය කරනවා ආයෙමත් අයර්ලන්තය හා එක්වෙන්න. අයර්ලන්තයට ටෙස්ට් වරම් ලැබීමෙන් පස්සෙ ක්‍රීඩා කරන මංග​ල ටෙස්ට් තරඟයටත් රෑන්කින් තේරෙනවා. ඉන් පස්සේ එංගලන්තයට එරෙහිවත් ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කරන රෑන්කින් ඉන්දියාවේ නවාබ් පතවුදිට පසු එංගලන්තය වෙනුවෙන් සහ එංගලන්තයට එරෙහිව ටෙස්ට් ක්‍රීඩා කළ එකම ක්‍රීඩ​කයා බවට පත්වෙනවා.

 

6. රෝලොෆ් වැන් ඩර් මර්ව් (Roelof van der Merwe)

1984 දී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී උපත ලබන රෝලොෆ් වැන් ඩර් මර්ව් වඩාත් ජනප්‍රිය වෙන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග​යේ දිල්ලි කණ්ඩායමට ක්‍රීඩා කරමින් පෙන්වන ලද දස්කම් නිසයි. 2009 අවුරුද්දේදි මුල් වරට දකුණු අප්‍රිකානු එක්දින සහ විස්සයි විස්ස තරඟ ​සඳහා වැන් ඩර් මර්ව් සුදුසුකම් ලබනවා. කොහොම වුණත් එක්දින තරඟ වලට වඩා විස්සයි විස්ස තරඟවලදී තමයි වැන් ඩර් මර්ව් වැඩි දක්ෂකම් දක්වන්නෙ. 2015 වෙද්දි නෙදර්ලන්ත පුරවැසිකම ලබන වැන් ඩර් මර්ව් නෙදර්ලන්ත කණ්ඩායමට එක් වෙන්නට තමන්ගේ ඇති කැමැත්ත ප්‍රකාශ කරනවා. ඒ අවුරුද්දේම නෙදර්ලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරඟවලට ක්‍රීඩා කරන්න ඔහුට අවස්ථාව උදා වෙනවා. නෙදර්ලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරඟ 17කටත් එක්දින තරඟ 2කටත් මේ වෙද්දි වැන් ඩර් මර්ව් ක්‍රීඩා කරල තියනව.

 

7. එඩ් ජොයිස් (Ed Joyce)

මේ ලැයිස්තුවට එකතු වුණු අනෙක් අයර්ලන්ත ක්‍රීඩකයො දෙන්නම අයර්ලන්තයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරලා පස්සේ එංගලන්තයට ක්‍රීඩා කරන්න සිහින මවපු අය. හැබැයි එඩ් ජොයිස් ඒකේ අනිත් පැත්ත. ඔහු මුලින්ම ක්‍රීඩා කරන්නේ එංගලන්තය වෙනුවෙන්. පස්සේ තමයි අයර්ලන්තයට ක්‍රීඩා කරන්න තීරණය කරන්නෙ. අයර්ලන්තයේ උපත ලබන ජොයිස් එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායම් වලට මුලදී ක්‍රීඩා කරනවා. ඒ හරහා දක්වන ලද දස්කම් සහ එංගලන්​තයේ පදිංචිකරුවෙක් නිසා ඔහුට එංගලන්ත කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් හිමිවෙනවා. තමන්ගේ මුල්ම එක්දින තරඟය ඔහු ක්‍රීඩා කරන්නේ තම මවු රට වුණ අයර්ලන්තයට එරෙහිවයි. ඒ තරඟයට අයර්ලන්ත පිල වෙනුවෙන් ඔහුගේ සහෝදරයාත් ක්‍රීඩා කරනවා. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් එක්දින තරඟ 17ක් සහ විස්සයි විස්ස තරඟ 2කට ක්‍රීඩා කළත් එඩ් ජොයිස්ට දිගින් දිගටම කණ්ඩායමේ රැඳී ඉන්න ලැබෙන්නේ නැහැ. මේ නිසා ඔහු තීරණය කරනවා තමන්ගේ මවු රට වුණු අයර්ලන්ත කණ්ඩායමට තමන්ගේ සේවය ලබා දෙන්න. ඒ අනුව 2011 දී ඔහු අයර්ලන්ත කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා කර ගන්නවා. 2018 දී පැවැත්වූ අයර්ලන්තයේ මුල්ම ටෙස්ට් තරඟයට ක්‍රීඩා කිරීමේ අවස්ථාවත් එඩ් ජොයිස්ට හිමිවෙනවා. මේ වෙද්දී ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරන එකෙන් සමු අරන් අයර්ලන්ත කාන්තා කණ්ඩායමේ පුහුණුකරු හැටියට කටයුතු කරනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *