ජයලත් මනෝරත්න සිනමා දිවියේ අමරණීය චරිත නිරූපණ 7ක්

ජයලත් මනෝරත්න සිනමා ආගමනය වෙන්නේ තිලක සහ තිලකා චිත්‍රපටය එක්ක. නමුත් ඔහුව ඉස්සෙල්ලාම මතකයේ ඇඳෙන්නේ හඳයා චිත්‍රපටයේ ඉතාම සුළු කොටසක නිවේදකයෙක්ට රඟපාන තැන. ජයලත් මනෝරත්න කියන්නේ අහවල් දේට පමණක් දක්ෂ කලාකාරයෙක් කියලා හංවඩු ගහන්න බැරි කෙනෙක්. එතුමාගේ වියෝව මහත් වූ පාඩුවක් වෙන්නේ අන්න ඒ නිසයි. ඔහුගේ සිනමා දිවියේ අමතක නොවන චරිත කීපයක් මතක් කරගමු.

 


1. හෝ ගාණා පොකුණ

මේ චිත්‍රපටයේ ගමට තියන එකම ලදරම් බස් එක එළවන ඩ්‍රයිවර් මහත්තයා තමයි ජස්ටින් මාමා. ජස්ටින් මාමා කියන්නේ කතාවේ අතුරු චරිතයක්. හැබැයි එහෙම චරිතයකුත් චිත්‍රපටයට ඕනිම චරිතයක් විදියට කරකවලා ගත්ත හැටි බලන්න ආසයි. ගමක ඉන්න අහිංසක ඩ්‍රයිවර් කෙනෙක්ගේ ඇඟක් අස්සට රිංගලා වගෙයි ඒ රංගනය ඒ තරමට තාත්විකයි. මේකේ එක තැනක් තියනවා ලයිෂන් එක ගන්න ෆොටෝ ගන්න තැනක්. එතනදී ඉතාම පොඩි වෙලාවක් ඇතුළත මූණේ ඉරියව් සෑහෙන වෙනස් කරන්න වෙනවා. මෙතුමගේ වියෝවෙන් පස්සේ බොහෝ අය සමාජ මාධ්‍ය හරහා ශෝක ප්‍රකාශ කරලා තිබ්බේ අදාළ දර්ශන පෙළ එක්කයි. මොකද ඒ වගේ නළුකම් ආය දකින්න බැරි නිසා.

 


2. සිරි රජ සිරි


ගමේ ඉඳන් ශිෂ්‍යත්වේ පාස් වෙලා කොළඹ ලොකු ඉස්කෝලෙට එන සිරිමල්ට හමුවන නාට්‍ය හා රංගකලාව භාර ගුරු මහත්මයාගේ චරිතය ජයලත් මනෝරත්නට සෑහෙන ඔබින චරිතයක් වුණා. ඒකට හේතුව වේදිකාවේ හතර කොණ හැබෑ ජීවිතයේදීත් ඔහු හොඳාකාරවම දන්නා නිසා. ඒ වගේ ම ගුරු භූමිකාවක් ඉදිරිපත් කරන්න ‘ගුරු තරුව’කට තරම් වෙන කාටත් බැරි නිසා. අතිශය සංවේදී හැබැයි මළ පනින, ආදරණීය සහ දක්ෂ ගුරුවරයෙකුව මේ චිත්‍රපටය නිසා අපට ලැබුණා.

 


3. හිරිපොද වැස්ස


හිරිපොද වැස්ස තරුණ තරුණියන්ගේ ඉමහත් ආකර්ෂණය දිනාගත්තු චිත්‍රපටයක් වුණා. ඒකේ සිතුම්ගේ චරිතය කළේ එවකට ආධුනික නළු පුබුදු චතුරංග විසින්. සිතුම්ගේ තාත්තා අමු බේබද්දෙක්. පියුං මහත්තයෙක්. ජොලි පොරක්. ඉතින් එහෙම දේවල් කැටි වුණ චරිතයක් කරන්න පුළුවන් ජයලත් මනෝරත්නට විතරමයි කියලා අධ්‍යක්ෂ මහත්තයට හිතුණ එකම ලොකු දෙයක්. කතාවේ සෙසු ප්‍රධාන චරිත දිහා යන ඇහැ ඒ තාත්තා ගාවින් රඳවලා තියාගන්න තරම් ඔහු දක්ෂ වුණා.

 


4. සූරිය අරණ


ඔහු ගැන මතකය අවදි කරවන කොට කීයටවත් මතකයෙන් ඉවත් කිරීමේ හැකියාවක් නැති චරිතයක් විදියට මේ චිත්‍රපටයේ වනවාසී හාමුදුරු නමක් විදියට කළ රංගනය හඳුන්වන්න පුළුවන්. ඒකත් ජැක්සන් ඇන්තනි කියන අනෙක් අපූරු කලාකරුවා එක්කයි. ඉතින් තකට තක. සූරිය අරණ බොහෝ අයගේ ළමා කාලය එක්ක තදින්ම සම්බන්ධ වුණ චිත්‍රපටයක්. ඉතින් ඒ චිත්‍රපටයේ හාමුදුරුවන්ගේ රංගනයත් ඒ විදියටම මතක එක්ක සවි වෙලා.

 


5. ප්‍රවේගය


වාණිජ සිනමාවට ජයලත් මනෝරත්න එකතු වීමත් එක්ක ඒක වාණිජ සිනමාවම ද කියලා හිතෙන තරමට චිත්‍රපටවල අනන්‍යතා පවා වෙනස් වෙනවා. නිවාස සංකීර්ණයක ජීවත් වෙන හේමාල් හීන පස්සේ යන කොල්ලෙක්. ඒ කොල්ලගේ තාත්තාව අපට පේන්නේ ජයලත් මනෝරත්න කියන පුද්ගලයා විදියට නෙවෙයි. අඟහිඟකම් මැද නිවාස සංකීර්ණයක ඉන්න ගමන් ළමයි උස්මහත් කරන කන්න අඳින්න දෙන තාත්තා කෙනෙක් විදියට. ඒ අහිංසකකම් දරාගන්න බැරි තැන තාත්තා පුතා අතර වෙන රණ්ඩුව, ආදරය පෙන්වීම වාණිජ චිත්‍රපටවල දකින්න බැරි තරම් කොලිටි.

 


6. දේදුනු ආකාසේ


අම්මෙක් නැතුව තනිවම පොඩි කාලේ ඉඳන් බලාගත්තු, විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දුන්න දෝණි අන්තිමේ ගෙදර එන්නේ තාත්තෙක් දන්නැති ළමයෙකුත් බඩේ තියාගෙන. එහෙම වුණාම ඉස්සෙල්ලාම තාත්තෙක්ට පිස්සු හැදෙනවා. ටිකකින් දේවල් ඔහු තේරුම් ගන්නවා. ඒක හැබැයි හැම තාත්තටම නෑ. ඒ විදියේ කොමන් නොවන තාත්තා කෙනෙකුගේ චරිතයට අන්කොමන් ජයලත් මනෝරත්න උපරිම සාධාරණයක් කරනවා.

 


7. ගෝල්


වාණිජ සිනමාව හැමදාම රංගන ප්‍රතිභාවක් නැති දියාරුවක් විතරක් වෙන්න ඕනි ද? ඒකටත් අගයක් දෙන්න පුළුවන් නේද? මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හිමි ජයලත් මනෝරත්නටත් මේක අභියෝගයක් වෙන්න ඇති. මොකද චරිතය ෆුට්බෝල් කෝච් කෙනෙක්. එහෙමයි කියලා කිසිම ආකාරයක කෘත්‍රිම රංගනයක් නම් එතන තිබ්බේ නෑ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *