Lifie අපි අලුත් වැඩක් පටන් ගන්න හිතුවා. ඒ තමයි ලංකා ඉතිහාසය වෙනස් කරන්න දායක වෙච්ච සිදුවීම් සහ පුද්ගලයෝ ගැන කතා කරන ලිපි මාලාවක් පටන් ගන්න. මේ ඒ ලිපි මාලාවේ පළමු වැන්න. අපි මේ ලිපියෙන් කතා කරන්නේ 1948 පෙබරවාරි 4 වැනිදා ඉංග්‍රීසීන්ගෙන් නිදහස් වීමට කලින් ලංකාවේ ඉතිහාසය වෙනස් කරන්න බලපාපු සිදුවීම් කීපයක් ගැන. ඔබෙන් මේ ලිපිවලට ලැබෙන ප්‍රතිචාර මත අපි මේ ලිපි මාලාව තව තවත් දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙනවා.
1. නිදහස් අධ්‍යාපන පනත හඳුන්වා දීම
මෑත කාලීන ලංකාවේ ඉතිහාසය වෙනස් කරන්න දායක වෙච්ච ප්‍රධානම සිදුවීම තමයි නිදහස් අධ්‍යාපන පනත හඳුන්වා දීම. ඇත්ත වශයෙන් කියනවා නම් ලංකාවේ පාර්ලිමේන්තුව ජනතාව වෙනුවෙන් කරපු විශිෂ්ටතම සේවය තමයි මේ පනත හඳුන්වාදීම් මගින් රටේ සියලු දෙනාටම පන්ති භේද, ජාති භේද, කුල භේදවලින් තොරව නිදහස් අධ්‍යාපනය සඳහා සමාන අවස්ථා ලබා දීම. මේ සඳහා මූලිකත්වය ගත්ත සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහත්තයාටත් මතු බුදු බව ලැබෙන්න මේ පිනම ඇති. හැබැයි ජාතියේ පියවරු කියලා හඳුන්වලා දෙන කට්ටිය නම් මේ පනතට විරුද්ධ වුණා කියන එකත් මතක් කරන්න අවශ්‍යයි.
2. පානදුරාවාදය
ලංකාවේ බහුතරයක් වූ සිංහල බෞද්ධ ජනතාව එතෙක් තමන් සිටි පරාජිත මානසිකත්වයෙන් මුදවා ගන්න සමත් වෙච්ච සිදුවීමක් තමයි පානදුරා වාදයෙන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො ජයග්‍රහණය කිරීම. උන්වහන්සේගේ මේ විශිෂ්ට ජයග්‍රහණය ගැන පුවත සත්සමුදුර ඉක්මවා ගිහිල්ල ඇමරිකා එක්සත් ජනපදය දක්වා පැතිරෙනවා. ඒ නිසා සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමා ඇතුළු පිරිසක් ලංකාවට පැමිණිලා ලංකාවේ සිංහල බෞද්ධ දරුවන් වෙනුවෙන් විශිෂ්ට පාසල් පද්ධතියක් ඇති කරනවා. ඒ වගේම බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් බෞද්ධයන් නැගී සිටිය යුතු බවට මුලික අවබෝධය ලබා දෙන්නෙ ඒ පිරිස විසින්. අනගාරික ධර්මපාලතුමත් බිහි වෙන්නේ මේ ප්රබෝධයේ ප්‍රතිඵලයක් විදිහට.
3. අමරපුර නිකාය පිහිටුවීම
අමරපුර නිකාය ලංකාවේ පිහිටුවීම සිදු නොවුණා නම් ලංකාව සිංහල බෞද්ධ රටක් විදිහට පවතී ද කියන එකත් ප්‍රශ්නයක්. මොකද කියනවා නම් කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවො මූලිකත්වය අරගෙන ලංකාවේ උපසම්පදාව පිහිටවූ සියම් නිකාය තුළින් ගොවිගම නොවන කුලවල පුද්ගලයන්ට උපසම්පදාව ලබාදීම රජු විසින්ම වාරණයට ලක් කරනවා. මේ නිසා සිත් තැවුලට පත් වෙච්ච ගොවි කුලයට අයත් නොවන පිරිස් දිගින් දිගට ම උඩරට මහවාසලටත් මල්වතු සහ අස්ගිරි මහා විහාරවලටත් තමන්ට අසාධාරණයක් නො කරන ලෙස ඉල්ලමින් පෙත්සම් පිට පෙත්සම් යවනවා. මේ කිසිම පෙත්සමකට ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුන තැන අඹගහපිටියේ ඤාණවිමල හාමුදුරුවෝ තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා බුරුමය වෙත යාත්‍රා කරලා මහණ උපසම්පදාව ලබාගෙන ලංකාවේ කුල භේදයකින් තොරව සියලුම දෙනාට මහණ උපසම්පදාව ලබා දීමට කටයුතු කරනවා.
4. උඩරට ගිවිසුම
අවුරුදු දහස් ගණනක් තිස්සේ කිසිම අන්‍ය ජාතියකට සම්පූර්ණයෙන් යටත් කර ගන්න බැරි වුණ ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් යටත් වීමට කැමැත්ත ප්‍රකාශ කළේ මේ ගිවිසුම මගින්. ඉංග්‍රීසින් අවසාන වතාවේදී උඩරට ආක්‍රමණය කරන්නේ මානුෂික මෙහෙයුමක් විදිහට. ඔවුන් ප්‍රකාශ කරන්නේ ක්‍රෑර රජ කෙනෙක්ගේ ග්රහණයෙන් උඩරට ජනතාව මුදවා ගැනීම තමන්ගේ එකම බලාපොරොත්තුව කියලා. නමුත් අවසානයේ දී උඩරට ජනතාවට සිද්ධ වෙන්නේ ක්‍රෑර රජතුමාගෙන් පීඩාවීම කෙසේ වෙතත් මහා බ්‍රිතාන්‍යයේ රජතුමාට යටත්වීමට. යම් කිසි විදිහකින් උඩරට ප්රභූවරු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බලයෙන් පහ කරාට පස්සේ ඉංග්‍රීසින්ට තමන්ට තමන්ගෙම රජකෙනෙක් පත් කර කරගන්න අවශ්‍යයි කියලා දැනුම් දීලා උඩරට රාජධානිය ස්වාධීනත්වය රැක ගන්න කටයුතු කරා නම් ලංකාවේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඉඩකඩ තිබ්බා .
5. කොනප්පු බණ්ඩාර රජවීම
පෘතුගීසීන්ට මුළු ලංකාව යටත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි පෘතුගීසීන්ට ම සේවය කරපු සිංහලයෙක් ඔවුන්ට එරෙහිව කැරළි ගහලා උඩරට රාජධානිය පිහිටවන්න සමත් වෙනවා. ඒ තමයි පළවෙනි විමලධර්මසූරිය නමින් රජ වුණු කොනප්පු බණ්ඩාර. පෘතුගීසි රූකඩයක් වුණු දෝන කැතරිනා දේවිය පාවිච්චි කරලා පෘතුගීසින්ට යම් විදිහකින් උඩරට අත්පත් කරගන්න පුළුවන් වුණා නම් මුළු ලංකාවම පළවෙනි වතාවට යටත් කර ගන්න අවස්ථාව ලැබෙන්නේ පෘතුගීසීන්ට. ඒත් කොනප්පු බණ්ඩාරගේ මේ මැදිහත්වීම නිසා සිංහල බෞද්ධ සංස්කෘතිය මේ දිවයිනෙන් අතුගායාම වැළකුණා. ඒ වගේම උඩරට රාජධානිය තව සියවස් කීපයක් යනකල් ලංකාවේ අග්‍ර රාජධානිය විදිහට වැජඹෙන්නට සමත් වුණා.
6. හය වැනි පරාක්‍රමබාහු රජුගේ මරණය
ලංකාව බටහිර ජාතීන්ගේ තර්ජනයට ලක් වීමට කලින් ලංකාවේ රජ කරපු අවසානම ශ්‍රේෂ්ඨතම රජතුමා තමයි හයවෙනි පරාක්‍රමබාහු රජතුමා. එතුමා අවසාන වශයෙන් මුළු ලංකාවම එක්සේසත් කරන්න සමත් වුණා. නමුත් අවාසනාවකට වගේ එතුමාගෙන් පසුව කිරුළ හිමි කර ගත්ත සියලු රජවරු එකිනෙකා මරණයට පත් කරමින් කුලල් කාගන්න පටන් ගත්තා. ඒ කුමන්ත්‍රණවල කූටප්‍රාප්තිය තමයි විජයබා කොල්ලය. මේ අභ්‍යන්තර බල අරගලවල ප්‍රතිඵලයක් විදිහට තමයි පෘතුගීසීන්ට පහසුවෙන් ලංකාවේ මුහුදු බඩ පළාත් අල්ල ගන්න පුළුවන්කම ලැබුණේ.
7. කාලිංග මාඝගේ ආක්‍රමණය
අවුරුදු දහසකටත් වඩා වැඩි කාලයක් ලංකාවේ ස්ථාපිතව පැවැති වාරි කලාපීය ශිෂ්ටාචාරයේ මළ බෙරය කාලිංග මාඝ වාදනය කළා. මේ සමගම රටේ අගනුවර නිරිත දිගට සංක්‍රමණය වීමට පටන් ගත් අතර නැවතත් ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය අතින් හෝ වාරිකර්මාන්ත අතින් විශිෂ්ට නිර්මාණ බිහිවුණේ නැහැ. වංශ කතාවල ඉතාමත් සංවේග ජනක ආකාරයට කාලිංග මාඝ විසින් ලංකාවේ ජනතාවට, සංස්කෘතියට සිදු කරපු විනාශය පැහැදිලි කරලා තියෙනවා. මීට කලින් විවිධ දකුණු ඉන්දීය ආක්‍රමණය එල්ල වුණත් සෑම ආක්රමණයක්ම පරාජය කිරීමෙන් පසුව තමන්ගේ මුල් රාජධානිය ප්‍රකෘතිමත් කර ගැනීමට සිංහලයෝ සමත් වුණා.නමුත් කාලිංග මාඝ සිදු කරපු විනාශයේ ප්‍රතිඵලයක් විදිහට නැවත වතාවක් රජරට ආශ්‍රිතව මහා ශිෂ්ටාචාරයක් බිහිවීම සදහටම වැළකුණා.
මේ ආටිකල් එක තුළ අපි යම් වෙනසක් කළා. ඒ තමයි මේ කිසිම සිදුවීමකට අදාළ වර්ෂ සඳහන් කිරීමක් අපි කළේ නැහැ. ඔබට පුළුවන් මේ එක් එක් සිදුවීම සිදු වුණු වර්ෂය ගැන කමෙන්ට් එකකින් අපිට කියන්න.ඒ වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් කමෙන්ට් කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply