වෙන රටවල ජාතියේ පියවරු

ලංකාවේ ජාතියේ පියා කවුද කියන එක ගැන පොඩි විවාදයක් තියනවා. බොහෝ දෙනෙක් ලංකාවේ ජාතියේ පියා විදිහට පිළිගන්නේ ඩී. එස් සේනානායක මහත්තයව. හැබැයි ගණේගම සරණංකර හාමුදුරුවෝ පොතක් ලියලම පෙන්නලා දීලා තියෙන්නේ ලංකාවේ සැබෑ ජාතික පියා අනගාරික ධර්මපාලතුමා කියලා. මේ අදහසට ජාතිකවාදය ප්‍රිය කරන බොහෝ දෙනෙක් එකඟ වෙනවා.

හැබැයි අපි අද කතා කථා කරන්න යන්නේ වෙන රටවල ජාතියේ පියවරු ගැන. සමහර අය නම් රටවල් කීපයකම පියවරු බවට පත්වෙලා තියෙනවා.

 

1. තියඩෝර් හර්සල්

වර්තමාන ඊශ්‍රායෙලයේ පියා විදිහට සැලකෙන්නේ තියඩෝර් හර්සල්. ලෝකය පුරා විසිරී සිටි යුදෙව්වන් තමන්ගේ මුල්බිම වුණු ඊශ්‍රායලය වෙත එක්රැස්කොට ස්වාධීන යුදෙව් රාජ්‍යයක් ඇති ඇති කර ගැනීමේ සිහිනය පෙරදැරි කර ගත් සියෝනිස්ට් ව්‍යාපාරයේ ආරම්භකයා වන්නේ ඔහුයි. මීට පෙර යුදෙව් ආගමික නායකයන් මෙම අදහස සියවස් ගණනාවක් පුරා දේශනා කරමින් සිටියත් එම අදහසට අවශ්‍ය බුද්ධිමය සහ දේශපාලන මැදිහත්වීම ලබා දුන්නේ තියඩෝර් විසින්. මේ නිසා ඇතැම් අය වර්තමාන පලස්තීන ගැටුමේ පියා විදිහටත් තියඩෝර්ව හඳුන්වනවා.

 

2. ජෝසේ ඩී සැන් මාටින්

ආජන්ටිනාවේ, චිලියේ සහ පේරු යන රාජ්‍ය වල ජාතියේ පියා විදිහට සැලකෙන්නේ ජෝසේව. ස්පාඤ්ඤ අධිරාජ්‍යයේ යටත් විජිත ලෙස පැවති දකුණු ඇමරිකානු රටවල් නිදහස් රාජ්‍යයන් බවට පත්කිරීමේ මූලික අඩිතාලම ඔහු විසින් දමනු ලබුවා. බොහෝ රටවල්වල නිදහස ලබාගැනීමට දායක වූ පුද්ගලයන් නිදහස ලබා ගැනීමෙන් පසුව එම රටවල නායකත්වයට පත් වුණත් ජෝසේ ඩී සැන් මාටින් විවිධ හේතූන් මත දකුණු ඇමරිකාව හැර දා ප්‍රංශයේ පදිංචියට ගියා.

 

3. ෂෙයික් මුජබර් රහමන් 

එදා පාකිස්තානයේ කොටසක් ලෙස පැවැති බංග්ලාදේශය නිදහස් රාජ්‍ය​යක් කර ගැනීමට මූලික දායකත්වයක් ලබාදුන් මේ මිනිසා අවසානයේ දී ඔහුගේ හමුදා සෙබළුන් විසින්ම ඝාතනය වෙනවා. ඉංග්‍රීසීන් විසින් බෙදා පාලනය කිරීමේ න්‍යාය යටතේ බිහි කරනු ලැබූ බටහිර පාකිස්තානය සහ නැගෙනහිර පාකිස්තානයේ ජනතාව සංස්කෘතීන් දෙකකට අයත් වුණා. ඔවුන්ව එක්සත් කරන ලද එකම සාධකය වුණේ ඔවුන්ගේ ආගම පමණයි. නමුත් වර්තමාන පකිස්තානයේ බලධාරීන් විසින් එවකට නැගෙනහිර පාකිස්තානය ලෙස හැඳින්වූ බංග්ලාදේශයේ ජනතාව දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙස සලකමින් ක්‍රියා කරන්නටත් පටන් ගත්තා. ඊට එරෙහිව නැගී සිටි රහමන්, අවාමි ලීගය ගොඩ නගමින් ඉන්දියාවේ සහාය ලබාගෙන බංග්ලාදේශය නිදහස් රටක් කර ගැනීමේ සිහිනය සැබෑ කර ගත්තා.

 

4. සුකර්නෝ 

ආසියාතික රටවල් අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කර ගැනීමට මුල් වූ පුද්ගලයන් අතරින් සුකර්නෝ​ට විශේෂ තැනක් හිමි වෙනවා. බොහෝ ආසියාතික රටවල් දෙවැනි ලෝක යුද්ධයේදී මිත්‍ර පක්ෂය සමග සිටීම නිසා තම රටවල් නිදහස් කරගැනීමට හැකියාව ලබාගත්තා. නමුත් ඉන්දුනීසියාවේ කතාව ඊට වඩා පොඩ්ඩක් වෙනස්. ඕලන්දයේ යටත් විජිතයක් ලෙස පැවතුණු ඉන්දුනීසියාවේ නිදහස වෙනුවෙන් අරගල කිරීම නිසා සුකර්නෝව සිරගත කරනු ලැබුවා. ජපාන ආක්‍රමණයත් සමඟ නිදහස ලැබූ සුකර්නෝ ජපානයට සහාය ලබා දුන්නා. නමුත් ජපානය පරාජය වීමත් සමඟ ඔහු ඉන්දුනීසියාව නිදහස් රටක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එතැන් පටන් ලෝකයේ විශාලතම දූපත් රාජධානිය සහ විශාලතම මුස්ලිම් ජනගහණයක් සහිත රටවන ඉන්දුනීසියාව ස්ථාවරව පවත්වාගෙන යාමට ඔහු සමත් වුණා.

 

5. අවුන් සාන් 

මේ දවස්වල හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අධිකරණය හෙල්ලීමට සමත් වුණු කාන්තාවක් ගැන මුළු ලෝකයම කතා වෙනවා. ඇය තමයි බුරුමයේ අවුන් සාන් සුකී. ඇයට බුරුමය  වෙනුවෙන් පෙනී සිටීමට ලේ අයිතියක් තියෙනවා. ඒ ඇයගේ පියා වුණු  අවුන් සාන් බුරුමයේ පියා විදිහට සැලකීම නිසා. විශ්ව විද්‍යාල අවදියේ පටන් අරගලකාරී සිසුවෙකු වුණු අවුන් සාන්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධව සටන් කරන්න පටන් ගත්තා. ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ දේශපාලනයේ නිරතව වුණා. මුල් අවස්ථාවේදී ජපානයට හිතවාදී ස්ථාවරයක හිටිය අවුන්සාන් පළමුව බුරුමය ජපානයට යටත් වන්නට ඉඩ ඇර ජපානය ලවා බුරුමය නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කර ගනු ලැබුවා. නමුත් බ්‍රිතාන්‍යයන්ටත් ජපනුන් තර්ජනයක් බව වටහා ගත් ඔහු නැවතත් බ්‍රිතාන්‍යයට සහාය ලබා දුන්නා. එහි දිගු කාලීන ප්‍රතිඵලය වුණේ බ්‍රිතාන්‍යය විසින් බුරුමයට නිදහස ලබාදීමට එකඟ වීම. නමුත් නිදහස ලැබීමට මාස කීපයකට කලින් අවුන් සාන්ව ඝාතනයට ලක් වුණා. 

 

6. ජෝමෝ කෙන්යාටා 

ගෝත්‍රික ගොවි පවුලක උපත ලැබූ ජෝමෝ කෙන්යාටා තමන්ගේ උසස් අධ්‍යාපනය සෝවියට් රුසියාවේ සහ එක්සත් රාජධානිය තුළ තුළ ලබා ගත්තා. නැවතත් තමන්ගේ මව් රටට ඇවිත් ඔහු විදුහල්පතිවරයෙක් විදිහට වැඩ පටන් ගත්තා. නමුත් ඔහු තමන්ගේ අධ්‍යාපන වෘත්තියට වඩා වැඩි අවධානයක් යොමු කළේ දේශපාලනයට. කෙන්යාව නිදහස් රාජ්‍යයක් විය යුතුයි යන මතය සමාජගත කරන්නට ඔහු වෙහෙසුණා. මේ නිසා බොහෝ රටවල නිදහස වෙනුවෙන් සටන් කරපු නායකයන්ට අත්වුණු ඉරණම ඔහුටත් අත් වුණා. වතාවන් ගණනාවක සිරගෙවල්වල ලගින්න ඔහුට සිද්ධ වුණා. නමුත් අවසානයේදී  පාර්ලිමේන්තු මැතිවරණයක් තුළින් කෙන්යාව නිදහස් රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඔහුට හැකියාව ලැබුණා.

 

7. ජුලියස් නියරේ 

නියරේ කියන්නේ රටවල් දෙකක් එකතු කරලා අලුත් රටක් නිර්මාණය කරන්න දායක වුණු පුද්ගලයෙක්. මහත්මා ගාන්ධිතුමා විසින් ඉන්දියාවේ නිදහස් සටන මෙහෙයවූ  ආකාරය ආදර්ශයට ගනිමින් නියාරේ ටැංගනිකාව බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන්ගෙන් මුදවා ගැනීමට උත්සාහ කළා. ඔහු අවිහිංසාවාදී දර්ශනයකට අනුව කටයුතු කළා. පාර්ලිමේන්තු මහ මැතිවරණයකින් බහුතර බලය නියරේ විසින් අත්පත් කර ගැනීමත් සමග බ්‍රිතාන්‍යයන්ට ටැංගනිකාවට නිදහස් ලබාදීම හැර වෙනත් විකල්පයක් ඉතිරිව තිබුණේ නැහැ. සැන්සිබාර් විප්ලවය සිදුවීමෙන් අනතුරුව සැන්සිබාරය සහ ටැංගනිකාව එක්සත් කොට ටැන්සානියාව නමින් නව රාජ්‍යයක් ලෝක සිතියමට එකතු කිරීමට නියරේ සමත් වුණා.

 

එහෙම නම නම් වෙනදා වගේම ඔබේ අදහස් කමෙන්ට් කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *