අලුත් එක්කෙනා එක්ක පරණ එක්කෙනා මුණගැහුණු බව පරිස්සමට කියන්න අපෙන් උපදෙස්!

දැන් අපි ගොඩක් අය මුලු ජීවිතේටම ලව් කරලා තියෙන්නේ එක පාරක් නෙවෙයිනේ. සමහරු ඉන්නවා ජීවිතේ පළවෙනි වතාවට ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගත්තු කෙනා එක්ක විවාහ වෙලා, ඒ කෙනා එක්කම ජීවිතේ ගත කරන. හැබැයි අපි වැඩි දෙනෙක්ට දැන් ඉන්න සම්බන්ධතාවයට කලින් තව එක සම්බන්ධතාවයක් හරි තිබිලා ඇති. ඒ කියන්නේ අපි වැඩි දෙනෙක්ට පරණ පෙම්වතෙක් හරි පරණ පෙම්වතියක් හරි ඉඳලා තියෙන්න තියන ඉඩ වැඩියි. හරි, ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒත් අපි හිතමු මොකක් හරි දේකට, මොකක් හරි හේතුවකට අපිට ඔය පරණ පෙම්වතෙක් හරි පෙම්වතියක් හරි මුණගැහෙනවා, එහෙම නැතිනම් කතා කරනවා කියලා. දැන් එක්කෝ ඕක දැන් ඉන්න පෙම්වතාගෙන්/පෙම්වතියගෙන්/බිරිඳගෙන්/සැමීයාගෙන් හංගගෙන ඉන්නත් පුළුවන්. හැබැයි හරි ක්‍රමේ තමයි හංගගෙන ඉන්නෙ නැතුව කතා කරන එක. හැබැයි ඔන්න එතකොට ආයෙ ප්‍රශ්නයක් එනවා. කොහොමද අප්පේ මේ වගේ දෙයක් ගැන කියන්නේ? පොඩ්ඩ එහා මෙහා වුනොත් තුන්වෙනි ලෝක යුද්දේ තමයි. ආන්න ඒ කොහොමද කියන කාරණාවට විසඳුමක් තමයි මේ. මෙන්න මේ උපදෙස් පොඩ්ඩක් කියවලා සිහියේ තියාගන්න. කවදාහරි පරණ කොල්ලා හරි පරණ කෙල්ල හරි මුණගැහිලා, ඒ වග දැන් කෙනාට කියන්න වුනොත් මේ  උපදෙස් වැදගත් වෙයි!

 

1. කියන එක තමයි හරි

මුලින්ම කතා කරලා ඉන්න ඕන කාරණාව තමයි මේක. සාමාන්‍යයෙන් දෙන්නෙක් අතර සම්බන්ධතාවයක් කියන්නේ දෙන්නා එක්කෙනෙක් වෙන එක නෙවෙයි. ජීවිතේ හැම මගුලක්ම කියන්න ඕන කියන එකත් නෙවෙයි. හැබැයි මේ වගේ වැදගත් දේවල් හංගගෙන ඉන්නේ නැතුව කියලා තියන එක තමයි හොඳ. සමහර වෙලාවට එහෙම දෙයක් කිව්වහම අනික් පැත්තෙන් එන මූලික ප්‍රතිචාරය ටිකක් අබ්ලික් වෙන්න පුළුවන්. එව්වා හෙමිහිට විසඳගන්න පුළුවන්. තමන් ඔය වගේ දේවල් රහස් විදියට තියා නොගන්න ප්‍රතිපත්තියක ඉන්න එක තමයි හරි විදිය.

 

2. කොයි එක්ස්ද බබාහ්?

මෙන්න මේකත් පොඩ්ඩක් ගිනි ඇවිලෙන සුළු තත්ත්වයක්. දැන් ඔන්න එක්ස් මුණගැහුනා කියලා වයිෆ්ට කියනවා. හැබැයි මෙහෙම එක්ස් කෙනෙක් ගැන මෙතුවක් කාලෙකට වයිෆ්ට කියලා නෑ. ආන්න එතකොට පොඩි ප්‍රශ්නයක් ඇතිවෙනවා නේද පිංවත. මෙන්න මේ නිසා තමයි ඔය පරණ සීන් ගැන කෙටියෙන් හරි වයිෆ්ට කියලා තියන්න කියලා අපි කියන්නේ. මොකද, ඔය වගේ බඹ ලොවෙන් පාත් වුණු එක්ස් කෙනෙක් ගැන කියනකොට ඕන මනුස්සයෙක්ට පොඩි සැකයක්, අප්සට් එකක් එනවනේ. 

 

3. ක්‍රෂ් කියන්නේ එක්ස් නෙවෙයි ඕයි!

ආ තව දෙයක්. ඉස්සර ඉස්කෝලෙ යන කාලේ හෙනට ක්‍රෂ් එක වෙලා හිටපු සුදු උස අයියා මුණගැහුනට පස්සේ, ආනේ මගේ පරණ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බුණා කියලා ලොකු කමට මනුස්සයාට කියන්න යන්නත් නරකයි. මොකද, කොයි මොහොතකදී වුනත් තමන්ගේ මිනිහගේ හෝ ගෑණිගේ පරණ ලව් එකක් සම්බන්ධයෙන් මාරම පොසිටිව් තැනක ඉන්න ගෑණු පිරිමි මේ ලෝකේ ඉතාම අඩුයි. එහෙව් එකේ නිකම් ඕන නැති බාල්දි පෙරලගන්න යන්නෙ මොකටද. අනික ඉන්පස්සේ ක්‍රෂ් එකකට ලව් එකක් කියලා, මොකකින් හරි එහෙම නෑ කියලා මාට්ටු වුනාට පස්සේ ඒත් ඇතිවෙන්නේ ප්‍රශ්නයක්.

 

4. හම්මේ බලන්න එපැයි එයාගෙ ලස්සන දැන්!

බුදු අම්මෝ මෙන්න මේක නං වැරදිලාවත් කරන්න යන්න එපා. මොකද්ද? තමන්ගේ එක්ස්ව මුණගැහුනට පස්සේ ඇවිත් එයා ගැන වර්ණනා කරන්න යන්න එපා. එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් දැන් සුදු වෙලා ලස්සන වෙලා තියෙන හැටි, එක්ස් බෝයිෆ්‍රෙන්ඩ් දැන් වටින කාර් එකකින් යන හැටි, එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් දැන් ලොකු ජොබ් එකක් කරන හැටි, එක්ස් බෝයිෆ්‍රෙන්ඩ් ජිම් ගිහිල්ලා ඇඟ හදාගෙන තියන හැටි වගේ දේවල් කවමදාවත් කියන්න යන්න එපා. වෙන මොකක්වත් නිසා නෙවෙයි, ඒ වගේ වර්ණනා දෙනකොට අපේ දැන් ඉන්න ලව් එක ඒක තමන්ට තර්ජනයක් විදියට තමයි භාරගන්නේ. ඒක මනුස්ස සොබාවය. ඒ නිසා අනවශ්‍ය විදියට ඉරිසියා හිතුවිලි ඇති කරන්න අවශ්‍ය කමක් නැහැනේ!

 

5. අපිට බැරිද ඉස්සර වගේ

සමහර වෙලාවට අපි පවුල් පන්සල් වෙලා හිටියත්, අපේ එක්ස් මේ වෙනකොට සිංගල් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, එයා සමහර වෙලාවට අපිව ආයෙමත් ලබාගන්න පොඩි උත්සාහයක්, එහෙම නැතිනම් ඉස්සර අතීතය ප්‍රතිනිර්මාණය කරන්න පොඩි උත්සාහයක් ගන්න පුළුවන්. එහෙම නැතිනම් අඩුම ගාණේ අපිත් එක්ක කොටුවක් පනින්න වුනත් උත්සාහ කරන්න පුළුවන්. ආන්න එතකොට හරි දේ තමයි වහාම එතනින් අයින් වෙන එක. එතකොට මේක අපි දැන් ඉන්න ගර්ල්ට/බෝයිට/හස්බන්ඩ්ට/වයිෆ්ට කියනවද? ආන්න ඒක දෙපාරක් හිතන්න ඕන කෙනාගේ හැටියට. අපේ සහකරු හෝ සහකාරිය ඕනම දෙයක් කියන්න පුළුවන් ඕපන් මයින්ඩඩ් මනුස්සයෙක් නම් සම්පූර්ණ කතාව කියන්න. එහෙම නොවෙන කෙනෙක් නම් එක්ස් මේ විදියේ දේකට ආවය කියන එක නොකියා ඉන්න. හැබැයි ඒ එක්කම මේ එක්ස් එක්ක කිසිදු ඇයිහොඳයියක් ඉදිරියට නොපවත්වන්නත් ප්‍රවේසම් වෙන්න.

 

6. මට හරියට ප්‍රශ්න මෙයා!

තමන්ගේ එක්ස් ඔන්න අහම්බෙන් මුණගැහුනාය කියලා තමන්ගේ දැන් එක්කෙනාට කියන එක එකක්. හැබැයි රෑට රෑට කෝල් වලට ආන්සර් කරලා එක්ස්ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න යන එක, දුක අහන එක සම්පූර්ණයෙන්ම තවත් දෙයක්. මෙතනදී කෙනෙක් බොහොම පරිස්සමෙන් වැඩ කරන්න ඕන. තමන්ගේ එක්ස්ට ප්‍රශ්න, දුක් තැවුල් තියෙනවා නම්, එයාට ඒවා කියන්න විශ්වාසවන්ත තමන් විතරක් නම් සහ ඒ ප්‍රශ්න සහ දුක්තැවුල් ජීවිතේකට බලපෑමක් කරන්න තරම් ප්‍රබල දේවල් නම් ඇහුම්කන් දෙන එක, උදවු කරන එක ගැටළුවක් නෑ. හැබැයි නිකම් රෑට රෑට පාළු කපන්න නම් සෙට් වෙන්න යන්න එපා. හොඳම දේ තමයි යම් කිසි ප්‍රබල ප්‍රශ්නෙක නම් එක්ස් ඉන්නේ, එයාව ඒකට වෘත්තිමය වශයෙන් උපදෙස්, සහන සේවා ලබාගන්න යොමු කරන එක.

එතකොට මේකත් අපි දැන් එක්කෙනාට කියනවද? ඔව්, කියන්න ඕන. හැබැයි පූර්ණ විනිවිදභාවයකින් යුක්තව, තත්ත්වය පැහැදිලි වෙන විදියට තමයි කියන්න ඕන.

 

7. අපි කෝපි එකක් බොන්න යං?

එක්ස් මුණගැහුනම සමහර වෙලාවට මේ වගේ විෂය බාහිර ක්‍රියාකාරකමකට ආරාධනා කරන්න පුළුවන්. ඒක කමක් නැද්ද? දැන් කෙනාට ඒක කියන්න ඕන නැද්ද? ආන්න ඒක පුද්ගලානුබද්ධයි. ඒ කියන්නේ එහෙම දෙයක් කියන්න ඕන කියන එක අනිවාර්යයි. මොකද, වෙන කෙනෙක් තමන් එක්ස් එක්ක කෝපි බොනවා දැකලා, වෙන ක්‍රමේකින් පණිවිඩේ වයිෆ්ට හරි හස්බන්ඩ්ට හරි යනවට වඩා තමන්ට කියන එක හොඳයි. හැබැයි වඩාත් විවෘත මනසක් තියෙන හස්බන්ඩ් කෙනෙක් හරි වයිෆ් කෙනෙක් හරි තමන්ට ඉන්නවා නම් විතරයි. එතකොට එහෙම නැතුව ඉරිසියා හිතාගෙන අප්සට් යන කෙනෙක් නම් තමන්ට ඉන්නේ, එක්ස් එක්ක කෝපි බොන්න හොරෙන් යනවද? නෑ. එතකොට කරන්න තියෙන්නේ එහෙම දේකට නොයා, එක්ස්ට ස්තුති කරලා එන එක. 

 

8. මේ මගේ වයිෆ්/හස්බන්ඩ්!

අපි කියමු අපේ වයිෆ්/හස්බන්ඩ්/බෝයිෆ්‍රෙන්ඩ්/ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක කොහේ හරි යනකොට අපේ එක්ස් කෙනෙක් මුණගැහෙනවා කියලා. එතකොට කරන්න ඕන පොඩ්ඩක් අපේ එක්කෙනාට ඇහෙන්නේ නැති ඈතකට ගිහින් දෙන්නත් එක්ක කතාබහ කරලා ඇවිත් ‘එයා මගේ පරණ ලව් එකක්’ කියන එක නෙවෙයි. ආන්න එව්වා ප්‍රශ්න මල්ලී. හොඳම සහ ශීලාචාර විදිය තමයි වහාම පරණ කෙනාට තමන්ගේ අලුත් කෙනාව හඳුන්වලා දෙන එක.

 

සමහර වෙලාවට ඔය මොන විනිවිදභාවයෙන් කටයුතු කළත්, තමන්ගේ වයිෆ්/හස්බන්ඩ්/කොල්ලා/කෙල්ල යකා නටන්න ගන්න පුළුවන් පරණ ලව් එකක් මුණගැහුනා කිව්වට පස්සේ. ප්‍රශ්නයක් නෑ. තමන්ගේ විනිවිදභාවය, අවංක භාවය ආරක්ෂා කරගෙන තියෙනවා නම් එච්චරයි. අපි සෘජු ගතිය නිසයි මේ දේවල් කියන්නේ, එහෙම එපා නම් මීට පස්සේ මේ වගේ දේවල් හංගගෙන ඉන්නම්, තීරණය ඔබේ අතේ කියලා කෙලින්ම අලුත් එක්කෙනාට කියන්න. එයා තීරණයක් ගනී!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *