රෑ පානේ ටැක්සි එකක යන ගැහැණු ළමයෙක් අවධානය දෙන්න ඕන කාරණා

ඉස්සර කාලෙ නම් කතාවටත් කිව්වෙ කාන්තාවකට රත්තරන් පොරවගෙන පේදුරුතුඩුවෙ ඉඳල දෙවුන්දරතුඩුවට යනකම්ම ඇවිදගෙන යන්න පුළුවන් කියලයි. කියන්නෙ කාන්තාවටවත් රත්තරන් වලටවත් කාලෙ මේ සිරි ලංකාව ඇතුලෙ කිසිම සොර සතුරු බියක් නැහැ කියන එකයි. හැබැයි කාලෙ වගේද දැන් කාලෙ? රත්තරන් පොරවගෙන තියා සකලවිධ ආරක්​ෂණ උපකරණ පැළඳගෙනවත් අඩුම තරමේ කිලෝ මීටර දෙක තුනක ගමනක්වත් ගැහැණු ළමයෙකුට යන්න බැරි කාලයක්. අහන අහන තැන කාන්තා දූෂණ, මිනීමැරුම්. හැබැයි එහෙමයි කියල අද කාලෙ ගැහැණු දරුවන්ට ගෙවල් දොරවල් ඇතුලටම වෙලා ඉන්නත් බැහැනේ. රැකියාවල් කරද්දි, යාළු මිත්‍රයො ආශ්‍රය කරද්දි රෑ පානෙ ගමන් බිමන් එහෙමත් යෙදෙන්න පුළුවන්. නොයා ඉන්න එකනම් නෙමේ විසඳුම. තමන්ගෙ ආරක්ෂාව තමන්ම සලසගන්න යම් තරමකට හරි දැනගෙන ඉන්න ඕන. ඉතින් මේ කියන්න යන්නෙ එහෙම රෑ පානෙ ගමන් ගිහින් හදිසියේ හරි කුලී රථයක ගෙදර එන්න වෙන අවස්ථාවක තමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් ගන්න පුළුවන් පියවර කීපයක් ගැනයි.

 

 

1. ටැක්සි සර්විස් එක

ටැක්සි සර්විස් එකක් තෝරගන්නකොට ටැක්සි සර්විස් එකේ කීර්තිනාමය, විශ්වාසනීයබව වගේ කාරණා ඉහලින්ම සලකල බලන්න ඕන. ගා​ණ අඩු නිසා පොඩි පොඩි ටැක්සි සර්විස් තෝරා නොගෙන හොඳ නමක් තියෙන විශ්වාසවන්ත සර්විස් එකක් තෝරගන්න. මොකද එයාලගෙ රියදුරන් සම්බන්ධ සියළුම විස්තර ආයතනය සතුව තියෙනව වගේම, ගමනේ මුළු වගකීමම ආයතනය බාරගන්නව

දැන් තියෙන ඌබර්, පික් මී වගේ ඔන්ලයින් කැබ් සර්විසස් මේකට හොඳම විසඳුමක්. මොකද රියදුරන්ගේ සියළු විස්තර ඇප් එකේම පෙන්නන නිසා ලොකු ලොකු සෙල්ලම් දාන්න බෑ ඩ්‍රයිවර්ස්ලට

 

 

2. ගෙදර කෙනෙක් දැනුවත්ද?

රෑ වෙලා ගමනක් යන හැම වෙලාවකම තමන් අදා​ළ ස්ථානයෙන් පිට වෙච්ච වෙලාව, කැබ් එක ගත්ත වෙලාව වගේ දේවල් තමන්ගෙ ගෙදර හෝ බෝඩිමක වගේ තැනකනම් තමන් එක්ක එකට ඉන්න කෙනෙක්ට දන්වන එකත් හරිම වැදගත්. මොකද කැබ් එකට නැග්ග වෙලාව අනුව ගෙදරට එන්න ටිකක් හරි පරක්කු උණොත් හොයල බලන්න හරි ගෙදර කෙනෙක් දැනුවත්නේ

 

 

3. ඩ්‍රයිවර්ගෙ අනන්‍යතාවය

වගේම අතිරේක තොරතුරු විදිහට රියදුරුගේ නම වගේ තොරතුරුත් දෙන්න පුළුවන්නම් වඩා හොඳයි. විශේෂයෙන්ම මේ තොරතුරු රියදුරුට ඇහෙන්නම ගෙදර කෙනෙකුට කෝල් කරල කියන්න පුළුවන්නම් තොරතුරු ගැන තවත් කෙනෙක් දැනුවත් කියල පුංචි බයකුත් රියදුරාට ඇති කරන්නත් පුළුවන්.  ඌබර්, පික් මී ඇප් වලනම් මේ තොරතුරු බලාගන්න විතරක් නෙමෙයි, තව කෙනෙක් එක්ක ශෙයාර් කරන්න පුළුවන් පහසුකමත් දීල තියෙන නිසා බයවෙන්න දෙයක් නැහැ

 

4. වාහනේ අනන්‍යතාවය

අනිත් කාරණේ තමා වාහනේ අනන්‍යතාවය. වාහනේ අංකය සහ වර්ගය මොකක්ද කියල හොඳට බලාගන්න එකත්, ඒක කලින් වගේම කාට හරි දැනුවත් කරල තියෙන එකත් හරිම වැදගත්. නිකං රහස් පරීක්​ෂක කටයුත්තක් වගේ නොතේරෙන්නඔන්න මම අහවල් පාට, අහවල් අංකෙ තියෙන ඇල්ටො එකේ එනවා, මෙතනින් මාව ගන්නකියල වගේ ගෙදර කෙනෙක්ට කතා කරල කියන්න පුළුවන්නේ. දෙපැත්තම ශේප් එතකොට.

 

 

5. අවශ්‍ය හදිසි ඇමතුම් අංක

ඔන්න තවත් වැදගත්ම කාරණාවක්. හදිසි අවස්ථාවක් උණොත් ක්ෂණිකව කතා කරන්න පුළුවන් හදිසි ඇමතුම් අංක, කිව්වෙ ලඟම පොලීසියෙ අංක, පොලිස් හදිසි ඇමතුම් අංක එහෙම මතකයේ හරි, ෆෝන් එකේ හරි තියාගන්නම ඕන. වගේම ෆෝන් එකේ බැටරි සහ ඇමතුම් ගන්න සල්ලිත් තියෙන්න ඕ​න හැබැයි. හුඟක් ෆෝන් වල දැන් ඩේටා තිබ්බට ක්‍රෙඩිට් නෑනෙ. රෑ පානෙ ගමන් බිමන් යනවනම් එහෙමනම් බෑ ඉතින්

 

 

6. යන මාර්ගය

ටැක්සි එකක යනවනම් යන මාර්ගය ගැන රියදුරුට තරම්ම අවබෝධයක් මගියටත් තියෙන්නම ඕන. ගමන් ගාස්තුවල සහ පෞද්ගලික ආරක්ෂාව කියන කාරණා දෙකටම මේක හරිම වැදගත්. විශේෂයෙන්ම රෑ ගමන් බිමන් යන ගැහැණු ළමයිනම් යන මාර්ගය හොඳටම දැනගන්න ඕනා. නැත්තම් කොහේ එක්කන් ගියත් දන්නෙ නෑනෙ. වගේම තමයි රෑ ගමන් බිමන් යනකොට ශෝර්ට් කට්ස්, ට්‍රැෆික් නැති පාරවල් එහෙම පාවිච්චිය කිසිසේත්ම හොඳ නැහැ. කොච්චර දුර උණත් පුරුදු, සෙනඟ ගැවසෙන පාරේ යන එක තමා ආරක්ෂාකාරීම. මුලින්ම ටික තදින් යන්න ඕන පාර කිව්වම ආයෙ ශෝර්ට් කට් අහන එකක් නෑ ඩ්‍රයිවර්

 

 

7. ඇඳුම් පැළඳුම්

තමන්ගෙ පෞද්ගලික ඇඳුම් පැළඳුම් වලට තියෙන රුචි අරුචිකම් කියන්නෙනම් ඇත්තටම අනික් මිනිස්සු ගැටළුවක් කරගත යුතු කාරණයක් නෙමෙයි. හැබැයි ඉතින් 2500 ප්‍රෞඩ ඉතිහාසයක් ගැන කියෙව්වට ආකල්පමය අතින් බොහොම දුප්පත් මිනිස්සු ඉන්න මේ වගේ රටකනම් ඇඳුම කියන්නෙත් බොහෝම පරිස්සම් වෙන්න ඕන කාරණයක්. තමන් අඳින ඇඳුමෙන් තව කෙනෙකුගේ හැඟීම් උද්දීපනය වෙන්න පුළුවන්, හරහා අකටයුතුකම් සිද්ධ වෙන්න පුළුවන් කියන එක අපි නිතරම කතා බහට ලක්කරන කාරණයක්නේ. නිසාම රෑ පානේ ගමන් බිමන් යනවනම් අඳින පළඳින ඇඳුම් ආයිත්තම් ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. ඇඟ පත වැඩිපුර නිරාවරණය වෙන, ඇඟේ හැඩය ඉස්මතුවෙන ඇඳුම් එහෙම නොඇඳ ඉන්න පුළුවන්නම් තමයි හොඳ

 

අපි මේ කිව්වෙ නොයාම බැරි ගමනක් රෑ පානෙ වැටුනොත්, ටැක්සි එකක එන්නම උනොත් ආරක්ෂාවට ගන්න පුළුවන් පියවර. ඔය කොයි දේ ක​ළත් මේ වගේ රටක රෑ පානේ ගමන් බිමන් නම් පුළුවන් තරම් අඩු කරන එක තමයි ගැහැණු ළමයින්ට සුදුසුම. නොයාම බැරි ගමනක් උණත් තමන් ඩ්‍රයිව් කරගෙන යන්න, එක්කො දන්න කෙනෙකුගෙ වාහනේක යන්න ඒත් බැරිනම් ආරක්ෂාවට කෙනෙක් එක්කගෙන යන්න හරි පුළුවන්නම් හොඳයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *