ලංකාවේ දේශපාලනඥයින් ගැන රස කතා – 2 කොට​ස

කොච්චර කැළඹිලි තිබ්බත් ලංකාවේ දේශපාලනය කියන්නේ රස සාගරයක්. මේ දේශපාලන ලෝකයේ රස කතා ගැන Lifie අපි තබන දෙවැනි සටහන.

ලංකාවෙ දේශපාලනඥයින් ගැන රස කතා – 1 කොටස

ලංකාවේ දේශපාලනඥයින් ගැන රස කතා – 2 කොට​ස

ලංකාවේ දේශපාලනඥයින් ගැන රස කතා – 3 කොටස

ලංකාවෙ දේශපාලනඥයින් ගැන රස කතා – 4 කොටස

ලංකාවේ දේශපාලනඥයන් ගැන රස කතා – 5 කොට​ස

 

1. වාඩි වෙන්න සර් 

1956 කියන්නේ ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කරපු අවුරුද්දක්. මැද කොළඹ තුන්වෙනි මන්ත්‍රීවරයා විදියට පත් වුණු එම්. එස් තේමිසුත් මේ උඩු යටිකුරු වීමත් එක්ක පාර්ලිමේන්තුවට ආපු කෙනෙක්. වෘත්තියෙන් තැපැල් පියුම් කෙනෙකු වුණු තේමිස් මහත්මයා අගමැති වරයෙක්ගෙන් ගුටි කාලත් වාර්තාවක් තිබ්බා.

රට හදන තැන ගුටි කෙළි – ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඇතිවුණු සටන් සහ ගැටුම්!

කොහොම වුණත් තේමිස් මහත්තයා තමන්ට ලැබුණු මන්ත්‍රී තනතුරෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කළා. රජයේ ලිපි ද්‍රව්‍ය සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගෙන ඉක්මන් ධනවතෙක් බවට ඔහු පත් වුණා. ඒ සමඟ ම ඔහුගේ චරිත ස්වභාවයත් සීඝ්‍රයෙන් වෙනස් වෙන්න ගත්තා. තමන් මන්ත්‍රීවරයෙක් නිසා සියලු දෙනාම තමන්ට සර් කියලා ආමන්ත්‍රණය කරන්න ඕන කියලා ඔහුගේ අදහසක් තිබ්බා. නමුත් බොහෝ දෙනෙක් තමන්ට සර් කියනවා තියා ගණන් ගන්නෙවත් නෑ කියලා තේරුම්ගත්ත ඔහු, දවසක් බණ්ඩාරනායක මහත්තයා මුණගැහෙන්න රොස්මිඩ් පෙදෙසේ නිවසට ගිහිල්ලා ඒ ගැන පැමිණිලි කළා. තේමිස්ගේ පරිවර්තනය ගැන දැනගෙන හිටපු බණ්ඩාරනායක මහත්තයා “මහජන මන්ත්‍රීවරයෙක්ට ජනතාව සර් කියලා කතා කරන්නේ නැති එක බොහොම ලොකු වැරැද්දක්. ඒ නිසා මම ආරම්භයක් විදිහට ඔබතුමාට සර් කියලා කතා කරන්නම්, දැන් අර පුටුවේ වාඩි වෙන්නකෝ සර්” කියලා කිව්වා. බණ්ඩාරනායක මහත්මයාගේ උපහාසය දරාගන්න බැරුව තේමිස් ඉක්මනින් එතනින් මාරු වුණා.

 

2. දේවි බාලිකාවට ගිය ධර්මසිරි සේනානායක 

දවසක් ධර්මසිරි සේනානායක ඇමතිතුමාට දේවී බාලිකා විද්‍යාලයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවයක් සඳහා ආරාධනාවක් ලැබුණා. ඒ උත්සවයට ගිය එතුමාව පිළිගන්න “දම්සිරි මැතිඳුන් දැකුමෙන් අප පින් කළ බව දැනුණී” වගේ වචන තියෙන ගීතයක් සිසුවියෝ ගායනා කරනවා. එතුමාගේ කතාව සිදු කිරීමට මයික්‍රෆෝනය වෙත ගියහම එ​ය ඉදිරිපිට තිබ්බ මල් සැරසිලි නිසා එතුමාට ප්‍රේක්ෂකාගාරය නිසි පරිදි පෙනිලා නෑ. මේ බව වටහාගත් එතුමාගේ සහායකයෙක් ඇවිල්ලා මල් සැරසිලි ඉවත් කරනවා. ඒ වෙලාවේ එතුමා දේවි බාලිකාවේ ගුරුවරියන් ඉන්න දිහා බලලා “දැන් නම් මා ද පින් කළ බව හැඟුනි” කියලා මුළු උත්සව සභාවම හිනස්සවනවා. ඊට පස්සේ එතුමා තව දුරටත් කියනවා තමන්ගේ නිවස තියෙන්නෙත් මේ ළඟ නිසා තමන්ට මීළඟ ආරාධනාව එන්නේ දේවි බාලිකාව පැත්තෙන් ද එහෙමත් නැත්නම් අනිත් පැත්තෙන් ද කියලා නිතරම කල්පනා කර කර හිටියයි කියලා. මේක ඇහුවම කලින් වතාවටත් වඩා සියලු දෙනාම හිනා වුණේ දේවි බාලිකාවේ අනිත් පැත්තේ තියෙන්නේ බොරැල්ල කනත්ත නිසා

 

3. ජේ. ආර්ට මාරු වුණු තන

ජේ. ආර් ජයවර්ධන අපේ රට කිසිම නායකයෙක්ට කරන්න බැරි තරම් වෙනස්කම්වලට ලක් කරන්න දායක වුණු පුද්ගලයෙක්. ඒ වෙනස්කම් අවුරුදු තිස් ගාණක් ගිහිල්ලත් අපිට වෙනස් කරගන්න බැරි වෙලා තියෙනවා. ජේ. ආර් උපත ලබන්නේ සම්පූර්ණයෙන් ඉංග්‍රීසිකරණය වුණු ප්‍රභූ පවුලක. පස්සෙ කාලෙක තමයි ජේ.ආර් බුද්ධාගම වැළඳගෙන ජාතික ඇඳුමට එහෙම බැහැලා දේශපාලනය කරන්න පටන් ගන්නේ. මේ නිසාම මුලු ජීවිත කාලෙම චතුර විදිහට සිංහල කතා කළත් සිංහලෙන් කියවීම සහ ලිවීම ඔහුට අපහසු වෙලා තිබ්බා. මේ නිසා පළමු විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන උත්සවේදී ඔහුට වචන පැටලෙනවා. මේ අවස්ථාවේ මුල් පටි​ගත කිරීමේදී මේ පටලැවිල්ල පැහැදිලිව ශ්‍රවණය වීම නිසා නැවත විකාශනවලදී මේ කොටස ඉවත් කරන්න බලධාරීන් කටයුතු කරලා තියෙනවා. මෙන්න මේ කොටස තමයි ජේ.ආර්ට පැටළුණේ.

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවතන වන බවටත්”

 

4. පහනින් අලියාව පැරැද්දූ සිරිල් මැතිව්

සිරිල් මැතිව් කියන්නේ අපේ රටේ හිටපු විවාදාසම්පන්න දේශපාලනඥයෙක්. පිරිසකට ඔහු අන්ත ජාතිවාදියෙක් බවට පත් වෙද්දි, සමහරුන්ට ඔහු රටේ ජාතිය වෙනුවෙන් පෙනී හිටපු නිර්භීත ජාතිහිතෛෂියෙක් වුණා. මේ චෝදනා නිසා ඔහුට එක්සත් ජාතික පක්ෂය තුළ පල නොකියා පලා බෙදන්න ගත්තා. මේ නිසා ඔහුත් ජේ.ආර් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට පාඩමක් උගන්වන්න හිතුවා. කැලණිය මිටියාවතේ සුවිශාල ජන පදනමක් තිබ්බ සිරිල් මැතිව් තමන්ගේ බලය මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය තුළ සිටිමින්ම එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව භාවිතා කරන්න තීරණය කළා. එළැඹුණු පළමු පළාත් සභා මැතිවරණයේදී සමාජ සමාජ පක්ෂයෙන් ඉදිරිපත් කළේ දයාරත්න රණේපුර කවියව. ඔහු ඉදිරිපත් වුණේ පහන ලකුණින්. මීට කලින් මැතිව් රණේපුරට යූ.එන්.පී එකට එන්න කිව්වම “සර්ලගේ කාලකණ්ණි යූ.එන්.පී එකට මම එන්නේ නෑ” කියලා දැඩි විදිහට බහින්බස් වෙලා තිබ්බේ. දවසක් රණේපුර කැන්වසින් යද්දි තමන්ව හඳුන්වා දෙන්නත් කලින් මිනිස්සු “අපේ මහත්තයා කියලා තියෙනවා, පහන ලකුණේ අංක 21ට දෙන්න කියලා, අපේ මහත්තයට පිටින් අපි යන්නේ නෑ” කියලා කිව්වා. පහන ලකුණෙන් අංක 21 ඉල්ලන්නේ තමන් නිසා හොල්මන් වුණු රණේපුර, “කවුද ඒ මහත්තයා” කියලා ඇහුවා. මිනිස්සු “සිරිල් මැතිව්” කියලා උත්තර දුන්නා. සිරිල් මැතිව්ට පින් සිද්ධ වෙනන රණේපුර දින්නා. හැබැයි ඊට ටික කාලෙකට පස්සේ සිරිල් මැතිව්ව යු.එන්.පී එකෙන් නෙරපා හැරියා. එවෙලේ රණේපුර එදා තමන්ට කිව්ව දේ හරි කියලා ටෙලිග්‍රෑම් එකක් සිරිල් මැතිව් විසින් රණේපුරට ඇරියා.

 

5. ඇමතිට වඩා බලවත් සිකියුරිටි

දවසක් ජාතික ඇඳුමක් ඇඳලා සෙරෙප්පු දෙකක් දාලා බුලත් විටක් හපාගෙන එහෙම හිටපු මනුස්සයෙක් සෙත්සිරිපායට ඇතුළු වෙන්න උත්සාහ කළා. ඒ වෙලාවේ ආරක්ෂක නිලධාරීන් “කොහෙද මනුස්සයෝ මේ දැන් ඇමතිතුමා එන්නත් ළඟයි, අරහෙට වෙලා ඉන්නවා”  කියලා මේ මනුස්සයව නැවැත්තුවා. ආරක්ෂක නිලධාරීන් කියපු දේ අහපු මේ වයසක මනුස්සයා පැත්තකට වෙලා බුලත්විට හපන එක දිගටම කරගෙන ගියා.

මේ වෙලාවෙදි ඉන්දික ගුණවර්ධන ඇමතිවරයා සෙත්සිරිපායට ඇතුළු වෙන්න ගියා.

එතනදි අර පැත්තකට වෙලා හිටපු මනුස්සයා දැක්ක ගමන් කෙලින්ම ඒ මනුස්සයා ගාවට ගිය ඉන්දික ගුණවර්ධන, “ඇමතිතුමා මොකද මෙතන කරන්නේ” කියලා ඇහුවා. එතකොට අර පුද්ගලයා “නෑ මට අර ගොල්ලෝ මෙතන ඉන්න කිව්වා” කියල ආරක්ෂක නිලධාරීන්ව පෙන්නුවා. මේක අහපු ආරක්ෂක නිලධාරීන් තක්කු මුක්කු වෙලා යද්දි ඉන්දික ගුණවර්ධන “තමුසෙලට පිස්සුද ඕයි, මේ ලක්ෂ්මන් ජයකොඩි ඇමතිතුමා” කියලා කෑගැහුවා. වෙලා තියෙන්නේ වෙනදා විදුලි සෝපානය භාවිතා කරලා ඉහළ මාලයේ තියෙන කාර්යාලයට යන ලක්ෂ්මන් ජයකොඩි මහත්තයා එදා පයින්ම කාර්යාලයට ඇතුළුවෙන්න උත්සාහ කිරීම. ආරක්ෂක නිලධාරීන් ලක්ෂ්මන් ජයකොඩි මහත්තයාගෙන් සමාව ඉල්ලුවත් “තමුන්නාන්සේලා කළේ රාජකාරිය, හැබැයි මිනිස්සුන්ට ඔයිට වඩා ගරු කරලා සලකන්න ඉගෙන ගන්න” කියලා කියමින් ඇමතිතුමා සෙත්සිරිපායේ තමන්ගෙ කාර්යාලයට ගියා.

 

6. ලැවරියා මිසින්

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලේදී පාර්ලිමේන්තුවේ පැවති උත්සවයකට රණසිංහ ප්‍රේමදාස මහත්තයා ජනාධිපති නිල නිවසෙන් ආහාර වගයක් එව්වා, පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න කියලා. ඊට දවසකට පස්සේ ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම්වරයා ජනාධිපතිතුමාට පැමිණිලි කරලා තිබ්බා ජනාධිපතිතුමා එවපු ආහාර වර්ග වලින් එක වර්ගයක් අමුත්තන්ට පිළිගැන්වීම පාර්ලිමේන්තු සේවකයන් මග ඇරලා කියලා. මේ ගැන විමසන්න ජනාධිපතිතුමා භෝජනාගාරයේ ප්‍රධානියාව කැඳෙව්වා. “සර් මම හේතුවක් ඇතුවයි ඒ කෑම පිළිගැන්වූයේ නැත්තේ” කියලා භෝජනාගාර ප්‍රධානියා උත්තර දුන්නා. මොකක්ද හේතුව කිය​ල ඇහුවම භෝජනාගාර ප්‍රධානියා “සර් ඒ ලැවරියා” කියලා උත්තර දුන්නා. එතකොට ප්‍රේමදාස මහත්තයාට වෙච්ච දේ තේරුණා. විපක්ෂය විසින් ප්‍රේමදාස මහත්තයාට ලැවරියා විකුණපු කොල්ලා කියලා අපහාස කිරීම නිසයි, භෝජනාගාර සේවකයෝ ලැවරියාවලින් අමුත්තන්ට සංග්‍රහ කිරීමෙන් වැළකිලා තියන්නේ.

 

7. මෛත්‍රීට කුණුහරුපෙන් බැන්න රන්ජන්

රන්ජන් රාමනායක ගැන මේ දවස්වල රස කතා ගොඩක් එහෙට මෙහෙට සංසරණය වෙන හින්දා, අපි අවසාන වශයෙන් රන්ජන් රාමනායක ගැනත් කතාවක් එකතු කරන්න හිතුවා. දවසක් රන්ජන් රාමනායක අමාත්‍යවරයාට දුරකථනයෙන් අමතන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා​ට ඕන වෙලා තිබ්බා. “මම මෛත්‍රිපාල” කියපු ගමන් අනිත් පැත්තෙන් රන්ජන් හොඳ ලුණු ඇඹුල් ඇතුව බැණුම් වරුසාවකින් ජනාධිපතිතුමාටත් සංග්‍රහ කරලා තියනවා. ජනාධිපතිතුමා දුරකථනය විසන්ධි කරලා මේ මොකක්ද වුණේ කියලා කල්පනා කරලා තියෙනවා. එදාම හවස උත්සවයකදී රන්ජන්ව හම්බ වුණාම උදේ සිද්ධිය මතක් කළ ගමන් රන්ජන් සෑහෙන්න කලබල වෙලා තියෙනවා. “අනේ සර් සමාවෙන්න, සමාවෙන්න ගොඩක් මගේ යාලුවෝ ඔය වගේ කතා කරල මාව බයිට් කරනවා. ඒක හින්දයි මම එහෙම බැන්නෙ. සර් කියලා දන්නවා නම් කොහොමටවත් එහෙම කරන්නේ නෑ” කියලා රන්ජන් පිං සෙණ්ඩු වුණා. හැබැයි ඉතිං රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හැටියට මේ කතා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියලා දැන දැනම මේ වැඩේ කළා වුණත් වෙන්න පුළුවන්.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *