ඉරාන – ඇමරිකා විරසකය තුන් වැනි ලෝක යුද්ධයකට මඟ පාදාවිද?

ඉරාන ඇමරිකානු වලිය කියන්නේ දශක ගාණක් පරණ එකක්. දෙපැත්තේම විවිධ නොහොඳ නෝක්කාඩුකම් තිබුනත් මේ අවුරුද්ද මුලම ට්‍රම්පච්චිගේ ක්‍රියාකලාපය එක්ක ඉරාන ඇමරිකා විරසකය ආයේ වැඩිදියුණු වුනා. ඉරානය කියන්නෙ ලංකාවට එච්චරම දුර රටකුත් නෙමෙයි. ඉරාන මිසයිල මීටර 2000ට වැඩිය තව මීටර 500ක්  දුරට විදින්න පුළුවන් නම් අනිවා ලංකාවත් ඉලක්ක වෙන්න ඉඩ තියෙනවා. සුලෙයිමානිට ප්‍රහාර එල්ල කරපු ඩ්‍රෝන යානාව නග්ගලා තියෙන්නෙත් කිලෝමීටර 1000කටත් එහා තිබුන ඉරාක මිලිටරි බේස් එකක ඉඳලා. සම්බාධක නිසා ලෝකෙන්ම හුදකලා කරලා ඉන්න ඉරානය දැන් ඒ තත්ත්වයට කාලයක පටන් හුරුවෙලා. තෙල් තියෙන නිසාත්, ඉරානය සහජයෙන්ම දක්ෂ මිනිසුන් පිරිසක් ඉන්න ඉන්න රටක් නිසාත් අමරිකාවට ලේසියෙන් දණ නමන පාටක් පේන්නෙත් නැහැ. මෑතකදි වාර්තා වුණු සිද්ධි එක්ක ඉරාන අමරිකා කේස් එක මොනා වෙයිද කියලා අපි ටිකක් සොයා බලමු. 

 

1. මගී ගුවන් යානාවට එල්ල වූ ප්‍රහාරය

යුක්‍රේනියානු ගුවන් සේවාවට අයිති බෝයින් 737 යානාවක් ඉරානයේ ටෙහරාන් නුවරදී ජනවාරි 8 වැනිදා කඩා වැටුනා. කඩා වැටිලා දවසක් දෙකක් ගියත් එහි වැඩිමනක් තොරතුරු පළ වුනේ නැහැ. ඉරානය යානයේ කළු පෙට්ටි බලධාරීන්ට දෙන්නත් අදි මදි කළා. පස්සේ ජනවාරි 10 වෙද්දි ඉරානය ඒක තමුන් අත්වැරදීමකින් කළ ප්‍රහාරයක් බව පිළිගත්තා. මේ යානාවේ ගිය 176 දෙනෙක් මේ නිසා මිය පරලොව ගියා. ඉරානය ඉරාකයේ තිබුන අමරිකානු ගුවන් කඳවුරු වලට මිසයිල ප්‍රහාර එල්ල කරන අතරතුර අත්වැරදීමකින් මේ යානාවට වැදෙන්න ඇති කියලා විශ්වාස කරනවා. මේ යානාව පැහැදිලි ලෙසම නියමිත වෙලාවට ගුවන් තොටින් අහසට නැගුනා. ඒ වගේම මේ යානාව තුළ ඉරාන ජාතිකයිනුත් 82ක් සිටියා. ඒ අනුව මෙය අදහාගන්නට අමාරු අත්වැරදීමක් බවට බටහිර මාධ්‍ය අදහස් පළ කරලා තියෙනවා.

 

2. කාසිම් සුලෙයිමානි ඝාතනය

කාසිම් සුලෙයිමානි ශියා මුස්ලිම්වරුන් රජකරන ඉරානයේ සිටින හමුදා ප්‍රබලයෙක්. ඔහු සුන්නි මුස්ලිම්වරුන්ගේ අයිසිස් සංවිධානය බිඳ වට්ටන්න ලොකු මෙහෙවරක් කළා. ඒත් ඉරාකයේ සහ යාබද රටවල සුන්නි අයත් එක්ක හිත හොඳ කම් වැඩිකරගන්න කාසිම් සුලෙයිමානි ඉරාන හමුදා නායකතුමා කටයුතු කළා. අමරිකාවට සුලෙයිමානිගේ මේ ඇයි හොඳයි කම් එච්චරම ඇල්ලුවේ නැහැ. සුපුරුදු ත්‍රස්තවාදී ලේබලය යටතේ සුලෙයිමානි ජනවාරි 3 වැනිදා අමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය පරලොව ගියා. සුලෙයිමානි කියන්නේ ඉරානයේ වගේම යාබද රටවලත් ජනප්‍රිය, සාර්ථක හමුදා චරිතයක්. මේ හදිසි ප්‍රහාරය මැදපෙරදිග දෙබරයකට නිකම් තේරුමක් නැතුව ට්‍රම්ප් උන්නැහේ ගලක් ගහපු අවස්ථාවක් බවට සමහර විද්වතුන් අදහස් දක්වලා තිබුනා.

 

3. ඉරාන මිසයිල වල බලවත් කම

සුලෙයිමානිට වැදුන ප්‍රහාරය ගැන අයොතුල්ලා අල් කමේනි අධ්‍යාත්මික නායකයා කියන්නේ තමුන්ට එල්ල කරපු අතුල් පහරක් විදිහට. ඉරාන හමුදාවට මිසයිල තියෙනවා. මිසයිල තිබුනත් සෞදියට, ඊශ්‍රායලයට වගේ ගුවන් බලයක් හෙවත් ප්‍රබල ගුවන් හමුදාවක් ඉරානයට නැහැ. ඉරානය සතුව තියෙන බැලස්ටික් මිසයිල කිලෝමීටර 300 සිට කිලෝමීටර 2,000 දක්වා පරාසයේ විදින්න පුළුවන්. මැදපෙරදිග විශාලතම මිසයිල බලය හිමි ඉරානයට මැද පෙරදිග යාබද රටවල ඇති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන්න හොඳ ශක්තිමත් හැකියාවක් තියෙනවා. අමරිකාව විසින් මෙම මිසයිල වළක්වන්න පේට්‍රියට් මිසයිල නාශක අවි මැදපෙරදිග ස්ථාපනය කරලා තියෙනවා.

 

4. ඉරාන හමුදාවේ බලවත්කම

ඉරාන හමුදාව ගනින් ලක්ෂ පහකට වැඩියි. මේ හමුදාවන්ට මැද පෙරදිග කලාපය ගැන හොඳ අවබෝධයක් තියනවා. ඉරානයේ අවි ආයුධ සහ හමුදා පරණය, අමරිකාව සතු බ්‍රෑන්ඩ් නිව් බඩුවලින් ඉරානයට රිටන් එක දෙන්න තමුන් සූදානම් ය කියලා සුලෙයිමානිට ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ අමරිකානු ජනපති ට්‍රම්ප් වහසි බස් දෙඩුවා. ඒත් භූමි සටන් වලදී අවි ආයුධ වල නවීනකම සහ හමුදා බලය වැඩිවීම තුළින් පමණක් ම යුද්ධ දිනාගන්න බැහැය කියලා ඇෆ්ඝනිස්ථානයේදී සහ වියට්නාමයේදී මීට කලින් ඉතිහාසය තුලින් පෙන්වලා තියෙනවා. ඉරානයේ කුඩ්ස් හමුදාව, ඉස්ලාමීය හමුදාව සහ තවත් සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. විදෙස් මෙහෙයුම් වලටත් දායක වෙලා තියෙන මේ හමුදාවන් මැදපෙරදිග ත්‍රස්තවාදී කණ්ඩායම් වලටත් පුහුණුව සහ අවි දෙනවා කියලා තමයි ​ඇමරිකාව චෝදනා කරන්නේ.

 

5. තාක්ෂණික ශක්තිය

ඉරානයට දැන් කලක පටන් සම්බාධක තියෙනවා. ඒ නිසා චීනයෙන් හෝ රුසියාවෙන් අවි ආයුධ ගේන්නත් නොයෙක් බාධා තියෙනවා. ඒත් යේමනයේ හූතී කැරළිකරුවන් එල්ල කළ සමහර ප්‍රහාරවලට අවශ්‍ය ඩ්‍රෝන යානා ඉරානයේ නිෂ්පාදන බව සොයාගෙන තියෙනවා. අයි එස් කණ්ඩායම් මර්දනය කරන්නත් ඉරානය විසින් ඩ්‍රෝන යානා පාවිච්චි කරලා තිබුනා. මේ ඩ්‍රෝන යානා තාක්ෂණය ඉරානය විසින් මැදපෙරදිග ත්‍රස්ත කණ්ඩායම් වලට ඉරානය අලෙවි කරනවා කියලත් ඇමරිකාව ඉරානයට චෝදනා කරනවා. ඉරානය කොන් වුන රටක් ලෙස පෙනුනත් ලොව පුරා සයිබර් චරපුරුෂ මෙහෙයුම් වලටද ඉරානයේ ඇල්ම බැල්ම තියෙනවා. ආරක්‍ෂක කොන්ත්‍රාත්කරුවන්, බලශක්ති සැපයුම්කරුවන්, විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන් ආදීන් ගැන ඉරානය සිය සයිබර් බුද්ධිමතුන් හරහා තොරතුරු සොයා බලනවා.

 

6. ආයෙත් සම්බාධක

ඇමරිකාවෙ මුලින් තිබුන දරුණු ගතිය පස්සේ ඉරාන ප්‍රතිප්‍රහාර සහ අමරිකානු සමාජයේ මතය එක්ක වෙනස් වුනා. සමහර අමරිකානු මිනිස්සුන්ට අමරිකානු සොල්දාදුවෝ මැදපෙරදිග ඇෆ්ඝනිස්තානයේ මැරෙනවා දැකලා ඇතිවෙලා තියෙන්නේ. ඒ එක්ක ට්‍රම්ප් ඉරානයට නැවත අවස්ථාවක් දෙන්න තීරණය කරලා තිබුනා. ඒත් ඉරානයට දැඩි සම්බාධක පනවන්නත් ට්‍රම්ප් පාලනය ක්‍රියා කරලා තියෙනවා. ඔවුන්ගේ න්‍යෂ්ඨික අවි ගැන නව සම්මුති ඇතිකරගන්නත් ඒ වගේම ඉරාන ජාතිකයින් 14 දෙනෙකුට මානව හිමිකම් පාදක කරගනිමින් අමරිකාවට සහ යුරෝපයට පිවිසෙන්න අවස්ථාව නොදෙන්නත් අමරිකාව තීරණය කරලා තිබුනා. කෙහොම වුනත් අමරිකාව යුධ ප්‍රකාශ කිරීමකින් තොරව වැඩේ ශේප් කරගන්න හදන විදිහක් තමයි අවසානයට පේන්න තිබුනේ.

 

7. ඉරානය හැරෙයිද?

අයතුල්ලා අල් කමේනි බලයට පත් වී දැන් දශක 4කට වැඩියි. කමේනි ගේ ඉරානය ඊට පෙර තිබූ ඉරානය වඩා ඉස්ලාමීය දැඩිමතධාරී පෙනුමෙන් යුක්ත වුණා. ඒ ආභාෂය යාබද මැදපෙරදිග රටවලටත් පැතිර ගිහින් ආගමික අන්තවාදී අදහස් පාලනයට එකතු වුණා. අද වනවිට තෙල් නිසා හෝ වෙනයම් හේතු නිසා අමරිකාව ඉරානයට එරෙහි ස්ථානයක සිටින්නේ. අවි ආයුධ, තාක්ෂණය, පිරිස් බලය තුලින් යුද්ධයක් ගැන අනාවැකි කලින් කිව හැකියි. එහෙත් යුධ බිම තුලදී එසේ කලින් කිරා මැන බැලූ අනාවැකි බොරු වූ අවස්තාද රැසකි. ඉරානයට ගහයිද? ගැහුවොත් සදාම්ගේ ඉරාකය වගේ කයිද? ඒ අනාගතයට අයිති ගැටුමකි.

 

ඛනිජ තෙල් මිලට සහ අපේ රටවලින් ගොස් මැදපෙරදිග සිටින සේවකයින්ට මේ යුධමය අනතුරුදායක තත්ත්වය මගින් බලපෑමක් තිබේ. අප වැනි සුළු රටවලට ලෝකයේ විශාල ගැටුම් හේතුවෙන් පාඩුවක් මිස එහෙමට ලාබයක්ද නැත. කෙසේ වෙතත් ඉරානය අපේ රටට තෙල් දෙන, අපේ රටේ ව්‍යාපෘති ආදියද ක්‍රියාත්මක කරන මිත්‍ර රටකි. ඇමරිකාවෙන් ද අපිට ආධාර උපකාර බොහෝය. ඒ නිසා යුද්ධයක් ඇති වුනොත් අපේ දේශපාලකයින් ඒ කුමන පසක්වත් ගන්නා එකක් නැත. එහෙත් අපේ තෙල් මිල වැඩිවන විට යුද්ධය අපේ පොකට් එකටද සැරට බලපානවා ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *