ඔබත් අනවශ්‍ය දේවල් හිතලා හිත දුකට පත් කරගන්න කෙනෙක්ද? එහෙනම් මේ ලිපිය ඔබ වෙනුවෙන්මයි!

මිනිස්සු වුණාම දේවල් ගැන හිතන්න ඕනෙ තමයි. මිනිහා කියන සත්වයා අනික් සත්තුන්ගෙන් වෙනස් වෙන්නෙත් මිනිසාගේ තියෙන මේ ගැඹුරට සිතීමේ සහ පරිකල්පන හැකියාවන් නිසායි. ඒත් හිතන එක වුණත් කොච්චර දුරට සිද්ධ වෙන්න ඕනෙද කියන එක සෑහෙන හිතන්න ඕනෙ කාරණාවක්. මොකද ඕනෑවට වඩා දේවල් ගැන හිතන්න යන එකෙන් අන්තිමේදි බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ සෘණාත්මක සිතුවිලි, දුක්බර, ආතතිජනක සිතුවිලිවලින් අපේ ජීවිතය පිරෙන එකයි. මේ තත්ත්වය අපේ ජීවිතයේ සතුට සහ දියුණුව නැති කරන්න ඉතාම බරපතළ විදිහට බලපාන්න පුළුවන්. අන්න ඒ නිසා අපි හිතුවා ඕනෑවට වඩා හිතලා හිතේ සතුට නැති කරගන්න කෙනෙක්ට උදවු වෙන වැදගත් උපදෙස් කීපයක් දෙන්න…

 

1. ප්‍රශ්නය හඳුනාගන්න

සමහර වෙලාවට අපිටත් නොදැනුවත්වම අපි කල්පනාවේ ගිලිලා ඒකේ පතුලටම යනව. බොහොම වෙලාවට මේ කල්පනාවන් කෙළවර වෙන්නේ බොහොම සෘණාත්මක සිතුවිලි ගොඩක් අපේ හිතේ ඇති කරවලායි. මේ වගේ සිතුවිලි උපදින්න හේතු වෙන කාරණාවත් බොහොම වෙලාවට ඉතාම සුළු කාරණාවක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ විදිහට අපි ඕනෑවට වඩා හිතාගෙන හිත අවුල් කරගෙන යන අවස්ථාවකදී පොඩ්ඩක් නැවතිලා ඒ ගැන අවධානයට ලක් කරන එක වැදගත්. මෙතැනදී හිතන්නට ඕනෙ අපි මොනවා හින්දද මේ විදිහට හිත අවුල් කරගෙන කල්පනා කරන්නේ කියලා. ඒ අවුලට හේතු වෙච්ච හිතුවිලි වල මූලාරම්භය මොකක්ද කියලා තේරුම් අරගන්න එක වටිනවා.

 

2. වැඩකට ඇති දේකටද මේ පසු තැවෙන්නේ?

ගොඩක් දෙනෙක්ගේ පුරුද්දක් තමයි නොදකින අනාගතයක් ගැන සහ සිදුවෙලා අවසන් අතීතයක් ගැන නැවත නැවත හිත හිත හිත අවුල් කරගන්න එක. “හෙට ම​ගේ ජොබ් ඉන්ටර්විව් එක අප්සට් යයිද?” එහෙම නැත්නම් “එදා අපරාදෙ මම අර වැඩේ ක​ළේ” වගේ තවම සිදුවෙලා නැති දෙයක් හරි සිද්ධ වෙලා අවසන් දෙයක් හරි ගැන හරි අනවශ්‍ය විදිහට හිතන එක. මේ වගේ දේවල් ගැන නොහිතා ඉන්න කියල අපි කියන්නෙ නැහැ. සිද්ධ වෙන්න ඕනෙ දේ තමයි ඒ ගැන සිතුවිල්ලක් ආවහම හැකි ඉක්මනින් ඒ දේ ධනාත්මක පැත්තට විසඳගෙන ඔලුවෙන් අහක් කරගන්න එක. උදාහරණයක් හැටියට කිවුවොත්, “අයියෝ හෙට මගේ ඉන්ටර්විව් එක අප්සට් යයිද?” කියල හිතුනහම ඔයා ඊළඟට හිතාගෙන යන්නේ “ඉන්ටර්විව් බෝඩ් එකේ අය සැර වෙයිද?”, “මගේ සුදුසුකම් මදි වෙයිද?”. “කඩ්ඩ අවුල් යයිද?” වගේ දේවල්. එහෙම දහසකුත් එකක් දේවල් හිතනවා වෙනුවට ඔයාට පුළුවන් “නැහැ, මොනදේ වුණත් මම කොහොම හරි මගේ උපරිම උත්සාහය දාල වැ​ඩේ ගොඩ දානව” කි​යල ධනාත්මක විදිහට. ඊට පස්සේ ඒ ගැන අනවශ්‍ය විදිහට හිතන එක අයින් කරල දාන්න.

 

3. ගැටළුවේ බරපතලකම ගැන හිතන්න… ඊට පස්සේ ඉන් මිදෙන්​න

ගොඩ එන්න බැරි තරම් හිතුවිලි පඹ ගාලක පැටලිලා ඉන්න වෙලාවක ඒකෙන් ගොඩ එන එක හරි​ම අමාරු කාරණයක්. මේකෙන් ගොඩ එන එක සාර්ථක ක්‍රමයක් තමයි තමන් හිත හිතා අවුලට පත්වෙලා ඉන්න කාරණාව කොයි තරම් බරපතල එකක්ද කියලා තේරුම් ගන්න එක. මේකට කරන්න පුළුවන් එක දෙයක් තමයි මේ කාරණාව තව අවුරුදු පහකින් තමන්ගේ ජීවිතේට කොයි තරම් බලපෑමක් කරයිද කියන එක, එහෙමත් නැත්නම් තව සති දෙකකින් මේ කාරණාව තමන්ට කොයි වගේ බලපෑමක් කරයිද කියන එක හිතල බලන එ​ක. එහෙම හිතලා බැලුවහම ඔයාට තේරෙයි මේ ගොඩක් ප්‍රශ්න ඉතාම සුළු බලපෑම් තියන, ඕනෑවට වඩා හිතන්න ඕනෙ නැති දේවල්ය කියලා. එතනින් එහාට ඇතිවෙන ප්‍රශ්න ගැන වුණත් සීමාවක් ඇතිව හිතන්න. අපි කලින් කිවුව විදිහට ධනාත්මක පැත්තකට ඒ දේවල් හරවගන්න බලන්න. අනාගතේ සිද්ධ වෙන්න තියන දෙයක් හොඳින් ඉටු කරගන්නවා කියල අධිෂ්ඨාන කරගන්න, අතීතේ සිද්ධ වෙච්ච දෙයක් ගැන දුක් වෙන්නෙ නැතිව, ඒ දෙයින් ජීවිතේට ගත්ත පාඩමක්, ජීවිතේට සිද්ධ වෙච්ච හොඳක් හෝ අත්දැකීමක් ගැන මෙනෙහි කරන්න.

 

4. මිනිස්සු ගැනත් මැදිහත්ව හිතන්න

මේ තියෙන්​නෙ ගොඩක් අය අනවශ්‍ය විදිහට හිත අවුල කරගන්න තවත් කාරණයක්. ඒ තමයි අනිත් උදවිය ගැන ඕනෑවට වඩා හිතන එක. ගොඩක් මිනිස්සු දහසකුත් එකක් ප්‍රශ්න එක්කයි ජීවත් වෙන්නෙ. ඒ නිසා නොදැනුවත්​ව ඒ අයගෙන් ඔයාට නොයෙකුත් විදිහේ අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන්. හිතලා මතලා වැරදි කරන අයත් ඉන්නවා තමයි. නමුත් එහෙම නොවන අවස්ථාවකත් අපි බොරුවට හිතලා වධ වෙන්න ඕනෙ නැහැනෙ. උදාහරණෙකට හිතන්න ඔයා දන්න අඳුර​න කෙනෙක් අද ඔයා එක්ක හිනා වුණේ නැහැ කියලා. එතකොට “අනේ මේ මනුස්සයා මාත් එක්ක තරහා වෙලා” කියලා එක පාරට තීරණවලට එළඹිලා හිත දුක් කරගන්න එපා. එහෙම දෙයක් දිගින් දිගටම වෙනවනම් විතරක් අදාළ පියවර අරගෙන ඒ කෙනා එක්ක කතාබහ කරලා විසඳගන්න. ඒ වගේම මිනිස්සු ගැන ඕනෑවට වඩා නරක විදිහට හෝ හොඳ විදිහට හිතන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ කෙනෙක්ගෙ තියෙන හොඳ දෙයක් ඔයාට මගහැරීම සහ පුද්ගලයො ගැන ඔයාගෙ තියෙන බලාපොරොත්තු කඩවීමයි. ඒ නිසා ඒ ඒ පුද්ගලයො එක්ක විවෘත මනසකින් යුතුව ගනුදෙනු කරන්න. හොඳ වගේම නරකත් බලාපොරොත්තු වෙන්න.

 

5. අනිත් ජීවිත එක්ක ඕනෑවට වඩා තමන්ව සසඳන්න යන්නත් එපා

මේ අනිත් කාරණය. දැන් ඔය ෆේස්බුක්වලින්, ඉන්ස්ටාවලින් සිහින ජීවිත ගතකරන උදවිය දිහා බල බල “අනේ මගේ ජීවිතේ වැටිල තියෙන තැනක්” වගේ කියලා හිතල හිත අවුල් කරගන්න යන්න එපා. මුලින්ම හිතලා බලන්න තමන් දකින පින්තූරෙක, වීඩියෝවක ඉන්න කෙනෙක් කරන දෙයක් කළොත් තමන්ටත් සැබෑවටම සතුටක් ලැබෙනවද කියලා. සතුටක් ලැබෙනවනම් ඒ දේ ලබාගැනීම වෙනුවෙන් කටයුතු කරන්න, මුදල් ඉතිරි කරන්න, වැඩ කරන්​න. එහෙම නැතිව දකින දකින කෙනා කන බොන, ට්‍රැවල් කරන ඒවා දැකලා හිතෙන් වැටෙන්න යන්න එපා. එහෙම වැටෙනවානම් ඔබ සමාජ ජාල භාවිතය සීමා කරන එකමයි හොඳ. මිනිස්සුන්ව මිනිස්සු හැටියට දකින්න. එහෙම නැතිව තමන් කැමති දේටම ආසා කරන, තමන් කැමති පක්ෂයට කඩේ යන, තමන්ගේ ආගමික විශ්වාසයන්ගේම එල්බිලා ඉන්න අය ගැන හොඳ දකින්නත්, අනිත් අය විරුද්ධවාදී හතුරන් හැටියට දකින්නත් පුරුදු වෙන එකෙන් අනවශ්‍ය සෘණාත්මක සිතුවිලි ඔයාගෙ හිතට ඇතුළු වෙන්න පුළුවන්.

 

6. තමන් සතුවෙලා තියෙන දේවල් අගය කරලා සතුටු වෙන්න

ගොඩක් දෙනෙක් තමන්ට නැති දේවල්, නැති ප්‍රශ්න වගේ දේ ගැන හිත හිතම කොච්චර හිත් තැවුලට පත් වෙනවද කියනවනම් තමන් සතුව තියෙන වටිනා දේවල්වල අගයත් ඔවුන්ට දැනෙන්නෙ නැතිව යනවා. තමන්​ට ආදරේ කරන මිනිස්සු, වටිනා සම්බන්ධකම්, සමාජයේ යහපත් පුරවැසියෙක් හැටියට ආත්මාභිමානයෙන් ජීවත් වෙන්න තමන්ට ලැබිලා තියන හැකියාව වගේ තමන්ට සතුටු වෙන්න පුළුවන් දේවල් ගැන පවා වගේ වගක්වත් නැතිව තමන්ට නොලැබුණු දේවල් ගැනම හිත හිත ඉන්නවා. හිසට වහලක් සහ ප්‍රමාණවත් ආහාරයක් කියන එක සිහිනයක් වෙලා තියන ජීවිතත් ඕනෑ තරම් තියන බව මතක තියාගන්න. එහෙම තත්ත්වයක් තුළදී තමන්ට ලැබිල තියෙන සුලු දෙයක් ගැන වුණත් ස්තූතිවන්ත වෙලා ඒ ගැන සතුටු වෙන්න පුරුදු වෙන්න. මේක දිනපතාම භාවනාවක් හැටියට කළත් වරදක් වෙන්නෙ නෑ.

 

7. හැමදේම අපිට පාලනය කරන්න බැරි බව තේරුම් ගන්න

අනාගතේ ගැන සැලසුම් ඇතිව ජීවත් වෙන එක හොඳ දෙයක්. හැබැයි ඕනෑම මොහොතක අපි නොසිතන දෙයක් සිදුවීම නිසා අපේ ජීවිත ක​ණපිට හැරෙන්න පුළුවන් බවත් හිතේ ​කොනක හරි තියෙන එක වටිනවා (එහෙම කියලා ඒ ගැන හිත හිතා දුක් වෙන්න එපා. ලෝක ස්වභාවය එය බව තමන්ට ඒත්තු ගන්නාගන්න). මේ ලෝකේ හැමෝම අපිට ඕනෑ විදිහට ජීවත් වෙයි සහ හැම දෙයක්ම අපි බලාපොරොත්තු වෙන විදිහටම ඉටුවෙයි කියන අන්ධ විශ්වාසවල එල්ලිලා ඉන්න එපා. එන ඕනම දේකට උපරිම ශක්තියෙන් යුතුව මුහුණ දෙනවා කියන විශ්වාසයෙන් විතරක් ඉන්න. හැම දෙයක්ම සියයට සීයක් සාර්ථකව කරනවා කියල හිතන් ඉන්න එක වරදක් නෑ. හැබැයි සියයට අනූ නමයක් ලැබුණු තැනදී අර නැතිවුණු සියයට එක ගැන හිතලා වධ වෙන්න යන්න එපා. අසාර්ථක වුණත් තවත් අවස්ථාවක් තියෙන්න පුළුවන්. ලෝකයේ සාර්ථක වුණු හැමෝම එක් වරක් හෝ අසාර්ථක වෙච්ච උදවිය තමයි.

 

8. නිවැරදි සිහියෙන් වර්තමානයේ ජීවත්වෙන්​න

ඕනෑවට වඩා හිතුවිලි අයාලේ යන්න එක හේතුවක් තමයි තමන් ගතවෙන මොහොත ගැන නිවැරදි සිහියෙන් යුතුව ජීවත් වෙන්නේ නැතිකම. කද්දි බොද්දි, පොත් කියවද්දි, නාද්දි වුණත් සිතුවිලි දස අතේ විසිරිලා යනවා. සමහර සිතුවිලි සුන්දරයි තමයි. ඒවා විඳින්න. හැබැයි අනවශ්‍ය විදිහට නරක පාතාලෙකට තමන්ගෙ සිතුවිලි තමන්වත් අරන් යනවා වගේ දැනෙනවනම් වහාම පියවි මොහොතට එළඹෙන්න. ඒක කරන්න පුළුවන් තමන්ගේ හුස්ම ගැනීමට අවධානය යොමු කරන එකෙන්.  හොඳින් තමන්ගේ නාස්පුඩුවලින් හුස්ම අරගෙන ඒ හුස්මෙන් උදරය පුරවගන්න. ඒකට තමන්ගේ සම්පූර්ණ අවධානය යොමු කරන ගමන් කටින් ඒ හුස්ම පිටකරන්න. මේ ව්‍යායාමය නැවත නැවතත් කරන්න. ඒ වගේම තමන් වගේ සිද්ධ වෙන දේවල් ගැනත් තමන්ගෙ අවධානය බොහොම හෙමීට යොමු කරන්න. මේ හරහා ඔයාට පුළුවන් වර්තමානයේ නිවැරදි සිහියට එළඹෙන්න.

 

අපි මේ කියල දුන්නේ අනවශ්‍ය විදිහට හිතලා හිත දුකට පත්කරගන්න එකෙන් වැළකෙන්න උදවුවෙන පුංචි උපදෙස් ටිකක්. මේ දේවල් අත්හදා බලන්න. එයිනුත් සහනයක් නැතිව දිගින් දිගටම අනවශ්‍ය විදිහට හිතීම සහ සෘණාත්මක සිතුවිලි වලින් පීඩාවට පත්වීම සිදුවෙනවානම් ඒ සඳහා මනෝ උපදේශනයක සහාය පතන්නටත් පසුබට වෙන්න එපා කියල අපි මතක් කරන්න කැමතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *