ඩවුන් සවුත් නැතිනම් ලංකාවේ දකුණු දිග වෙරළ තීරය කියන්නේ ඇත්තටම සංචාරකයින්ගේ පාරාදීසයක්. හැබැයි අවුරුද්දේ හැම කාලෙටම මේක සංචාරක පාරාදීසයක් වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් නොවැම්බර් මාසෙන් වගේ පටන් ගත්තට පස්සේ අප්‍රේල් වෙනකල් වගේ දෙස්විදෙස් සංචාරකයෝ ඩවුන් සවුත් වලට ඇදෙන්න පටන් ගන්නවා. හැබැයි වැඩේ කියන්නේ, ගොඩක් ලංකාවේ මිනිස්සු ඔය වෑන් එකක් අරගෙන මාතර පැත්තට ගිහින් මුහුදේ නාලා එනවා වගේ දෙයක් මිසක්, නියම විදියට දකුණු වෙරළ තීරයේ සංචාරයක් කරන්නේ නෑ. සමහරු බයයි ලක්ස ගණන් කුඩුවෙයි කියලා. සමහරු දන්නෙ නෑ මොනවද ඩවුන් සවුත් ගිහින් කරන්න තියෙන්නේ කියලා. ඉතින් ආන්න එහෙම අයට ඩවුන් සවුත් නිවාඩුවකට යෑම ගැන පොඩි උපදෙස් මාලාවක් තමයි මේ තියෙන්නේ.
1. ගිහිල්ලා දවසෙන් එනවද?
ඇත්තටම ලංකාවේ ගොඩක් දෙනෙක් ඩවුන් සවුත් යන්නේ ගිහිල්ලා දවසෙන් එන්න බලාගෙන. ඇත්තටම ඒක අවුලකුත් නෑ දැන් හයිවේ එක තියන නිසා. හැබැයි ප්‍රශ්නේ මේකයි. හයිවේ එකේ පැය දෙකෙන් මාතර ගිහින්, පොල්හේන බීච් එකේ නාලා ආයෙමත් හවස් වෙනකොට හයිවේ එකෙන් ගෙදර එන එකේ ආතල් එකක් තියෙනවද? අපිට නම් ඒක ඩවුන් සවුත් ගියා වගේ දැනෙන්නේ නෑ. ඊට වඩා පරණ විදියට ගාලු පාරේ පැය හයක් විතර වියදම් කරගෙන මාතර යන එක තමයි ආතල්ම වැඩේ. හැබැයි ඉතින් ඒකේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. දවසින් ට්‍රිප් එක ගොඩදාන්න බෑ. සල්ලි ටිකක් වැඩිපුර වියදම් වෙනවා. ඒ කොයි දේ තිබුණත් අපි තාම රෙකමන්ඩ් කරන්නේ ගාලු පාරෙන් ඩවුන් සවුත් යන ට්‍රිප් එකක්. මොකද ඒ රූට් එකේ යනකොට තමයි ඇඟට ඩවුන් සවුත් යනවා කියලා දැනෙන්නේ!
2. පරණ විදියට ගාලු පාරෙන්!
පරණ පුරුදු ගාලු පාරෙන් ඩවුන් සවුත් යනකොට අපිට දැන් මුණගැහෙන්නේ සාපේක්ෂව අඩු වාහන ප්‍රමාණයක්. ඒකට හේතුව තමයි දුර යන වාහන හැම එකක්ම වගේ හයිවේ එකට සෙට් වෙලා තියෙන එක. ඒත් පරණ විදියට ගාලු පාරෙන් යන්න සමහරු අකමැතියි දුර සහ වෙලාව ගතවීම නිසා. ඒත් නිකමට හිතලා බලන්න, පානදුර පහුවෙනකොට ඔන්න මුහුද පේන්න පටන් ගන්නකොට, මුහුදු හුළඟේ ලුණු සුවඳ දැනෙන්න පටන් ගන්නකොට නෙවෙයිද අපිට ඩවුන් සවුත් තමයි මේ යන්නේ කියලා දැනෙන්නේ. මෝනිස් කඩේ ගාව නවත්තලා මොනවා හරි අරගෙන නොයා ඩවුන් සවුත් යනවා කියලා දැනෙයිද? හික්කඩුවේ දෙපැත්තේ තියෙන දහසකුත් එකක් පුංචි පුංචි බාර්, කෑම කඩ, සමරු සිහිවටන විකුණන කඩ නොදැක ඩවුන් සවුත් ෆීල් එකක් එයිද? මෙව්වා ඇත්තටම අතීත කාමයෙන් පිරි කතන්දර තමයි. ඒත් අපි කියනවට දවස් දෙකකවත් ඩවුන් සවුත් ට්‍රිප් එකක් ගාලු පාර ඔස්සේ ගිහින් බලන්න.
ගණන් අඩු කරගන්න පුළුවන් වාහනයක් රෙන්ට් එකට අරගෙන අපේම කෙනෙක් ඩ්‍රයිව් කරනවා නම් හරි තමන්ගේම වාහනේක යනවා නම් හරි.
3. කොහෙද නවතින්නේ?
මෙන්න මේක ලංකාවේ සම්ප්‍රදායික සංචාරකයෝ කොර වෙන තැනක්. ඩවුන් සවුත් ගිහිල්ලා කොහෙද නතර වෙන්නේ කියන එක. මොකද ඩවුන් සවුත් දිගටම තියෙන අපි දන්න කියන හෝටල් වල ඉන්න එක පට්ට ගණන් වැඩක්. හැබැයි සැලෙන්න එපා. ඇත්තටම ගත්තොත් දැන් වෙනකොට ඩවුන් සවුත් දිගටම පුංචි පුංචි ගෙස්ට් හවුස්, බූටික් හොටෙල්ස්, හෝම්ස්ටේ නවාතැන් බිහිවෙලා තියෙනවා. යන්න booking.com හරි agoda.com හරි නිවාඩු ඩීල්ස් හරි ඒ වගේ සයිට් එකකට. දැන් සර්ච් කරලා බලන්න තියෙන තැන්. එතකොට රුපියල් දෙදාහට තුන්දාහට රාත්‍රියක් ගත කරන්න පුළුවන් බීච් එකේම තියෙන පොට් වුනත් තියෙනවා කියන එක තේරුම් යයි. මේවල රූම් සර්විස් අනං මනං තරු පහසුකම් නැති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපි ඩවුන් සවුත් යන්නේ ලොකු හොටෙල් එකක රූම් එකට වෙලා ඉන්න නෙවෙයිනේ.
4. මූදට බහිමුද?
මේක නම් අනිවාර්යයෙන්ම දැනුවත් වෙලා ඩවුන් සවුත් යන්න ඕන දෙයක්. දැන් ඔය සීසන් එක තියෙනවනේ. ඩවුන් සවුත් එකට නොවැම්බර් ඉඳන් අප්‍රේල් විතර වෙනකල්ම සීසන් කියලා තමයි සැලකෙන්නේ. මේක සීසන් කියන්නේ එකක් පැල් බැඳගෙන වහින්නෙ නෑ. අනික මුහුද සැර නෑ. අනෙක් කාලෙට, ඒ කියන්නේ වාරකන් කාලෙට හිතාගන්න බැරි තරමට මුහුද සැර වෙනවා. ඉතින් ඕෆ් සීසන් – ඒ කියන්නේ නොවැම්බර් ඉඳන් අප්‍රේල් වෙනකල් කාලයෙන් පිට ඩවුන් සවුත් යනවා නම් අපි රෙකමන්ඩ් කරන්නේ හොඳට බීච් එක තියෙන හරියක ෂේප් එකේ රැල්ල පාගලා එන්න කියලා තමයි. මූදට බහින්න නම් හිතන්නවත් එපා. එතකොට සීසන් එකේ, ඒ කියන්නේ නොවැම්බර් ඉඳන් අප්‍රේල් වෙනකල් කාලය අතරතුරදී ඩවුන් සවුත් ගියත් නොදන්න තැන් වල මුහුදට බහින්න හිතන්නවත් එපා. ඇත්තටම කළුතරින් එහාට දිගටම තියෙනවා නිදහසේ මුහුදට බැහැලා නාන්න කරන්න පුළුවන් නොගැඹුරු, රැල්ල අඩු තැන්. ඒවා තමයි සංචාරක ආකර්ෂණ ස්ථාන වෙන්නේ. ආන්න ඒ තැන් ගැන අපිට දන්න කියන කෙනෙක්ගෙන්, ඉන්න හෝටලේ අයගෙන් අහලා දැනගන්න පුළුවන්. එහෙම තැනකදී ඇරෙන්න නොදන්න තැනක නම් මුහුදට නොබැහැ ඉන්න එක හොඳයි සීසන් කාලෙදී වුනත්. මොකද සමහර තැන් වල කකුල් පොව්වන්න බැරි තරම් ගැඹුරයි. තවත් සමහර තැන් වල ගල් කුළු ගහණයි.
5. කරන්න තියෙන්නේ මොනවද?
ඩවුන් සවුත් ගිහිල්ලද මචං කරන්න දේවල් නැත්තේ? හරි, මූදට බැහැලා නාන එක ඇරෙන්න, තව මූදේ කරන්න පුළුවන් සෑහෙන ක්‍රියාකාරකම් දකුණු වෙරළ තීරය දිගටම තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, හිතෙන්නේ නැද්ද පොඩ්ඩක් කිමිදෙන්න ඉගෙන ගන්න? ඇත්තටම කිමිදෙන්න වරලත් සහතික ගන්න නම් එකකට රුපියල් හතළිස්දාහක් විතර යනවා, සතියක විතර ඉගෙනගන්න කාලෙකුත් වැය කරන්න වෙනවා. ඒත් එහෙම නැතුව උපදේශකයෙක් එක්ක කිමිදෙන්න පුළුවන් රුපියල් හයහත්දාහක් වියදම් කරලා. ඒ ගාණට කුලියට ගන්න කිමිදුම් උපකරණ එහෙමත් ඇතුළත්. තවත් ක්‍රියාකාරකමක් තමයි සර්ෆ් කරන එක. අර මුහුදේ රැළි වලට උඩින් ලිස්සලා එන්නේ. දකුණු වෙරළ තීරයේ සර්ෆින් වලට ජනප්‍රිය හික්කා, වැලිගම, මිරිස්ස වගේ වෙරළාසන්න වල සර්ෆ් කරන්න උගන්නන ඉස්කෝල තියෙනවා. සර්ෆ් බෝඩ් එකක් වුනත් බොහොම අඩු මුදලකට කුලියට ගන්න පුළුවන්.
එතකොට ඒ ඇරෙන්න පතුල නැති බෝට්ටුවේ ගිහින් කොරල්පර බලන්න, තල්මසුන් බලන්න යන්න වගේ ක්‍රියාකාරකම් එහෙමත් ජීවිතේ එක පාරක් හරි විඳලා තියෙන්න ඕන.
ඇයි එතකොට බලන්න තියෙන තැන්? කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන, ජන කලා කෞතුකාගාර, පුදබිම් වගේ බලන්න තැනුත් ඩවුන් සවුත් වල ඕන තරම් තියෙනවා.
6. බඩු ගමුද?
ඩවුන් සවුත් නෙවෙයි, මොන තූත්තුකුඩියක ට්‍රිප් එකක් ගියත් අපේ අයියලා, අක්කලා, නැන්දලා, මාමලා ආයෙ එළෝලු ටිකක් හරි උස්සගෙනනේ එන්නේ. ඒකේ අප්සට් එකක් නෑ. හැබැයි ඔය බඩු ගන්නේ මොන වගේ තැන්වලින්ද, ඒවලට ගෙවන්නේ කොයි විදියටද කියන එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. සාමාන්‍යයෙන් නම් ඩවුන් සවුත් වල විදේශික සංචාරකයෝ එන නිසා ගිණි ගණන් කියන්නේ නැහැ. ඒත් ඉතින් ඔය සමරු සිහිවටන, සිප්පි කටු මාල වගේ සීන් ගන්නකොට නම් අතකුයි කකුලකුයි විකුණන්න වෙන විදියේ ගණන් ඇහෙන්න පුළුවන්. විශේෂයෙන් වැල්ලේ ඇවිදින ජංගම වෙළෙන්දෙක් ගෙන් එහෙම ගණන් ඇහුවොත් කොර වෙනවා. ආන්න එහෙම වෙලාවකට නොගෙන එන එකයි නුවණට හුරු. හැබැයි එපා කියලා එනකොට ඔය කියන ගණන් බහින්නත් ඉඩ තියෙනවා. අනෙක් කාරණාව තමයි, සිප්පි කටු ආභරණ වගේ දේවල් බොහොම සාධාරණ මිලකට විකුණන්න තැනුත් සෑහෙන්න දකුණුකරයේ පාර අයිනේ තියෙනවා. ඒ නිසා එකම තැනකින් බලන්නේ නැතුව තැන් කීපෙකින් බලන එකත් නුවණට හුරුයි.
7. හාවෝ වෙන්න එපා!
මේක නම් ටිකක් මොට්ට පහේ කතන්දරයක්. ඔය සමහරු ඉන්නවා එක පාරටම ලංකාවේ කෙනෙක්ද, විදේශිකයෙක්ද කියලා අඳුනගන්න බෑ. අනික් එක ලංකාවේ අය වගේම ඉන්දියාවේ අය එහෙමත් ඉන්නවනේ. උනුත් විදේශිකයෝ තමයි. ආන්න ඒ නිසා ඩවුන් සවුත් පැත්තේදී සිංහල පුළුවන් නම් පුළුවන් තරම් සිංහලෙන්ම ගනුදෙනු කරන එක හොඳයි. සිංහල බැරි නම් දෙමළෙන්. මොකද එතකොට මිනිස්සු දන්නවා මුනුත් ලංකාවේම අය තමයි කියලා. එතකොට සාමාන්‍යයෙන් විදේශිකයින්ට ලැබෙන ස්පෙෂල් ඩබල් රේට් අපෙන් අය වෙන්නේ නෑ.
අනික තමයි ඔය බීච් බෝයිස්ලා, ගයිඩ්ලා එහෙම ඩවුන් සවුත් වල ඕන තරම් හොයාගන්න පුළුවන් නේ. ආයෙ ටෝක් එකට අහුවුනොත් කියන්නේ හවසට ඕන නම් හඳ වුනත් ගලෝලා ගෙනැල්ලා දෙන්නම්, පොඩි සම්තින් එකකට කියලා. මේ අයත් එක්ක ගනුදෙනු කළාට කමක් නෑ, හැබැයි හාවෝ වෙන්න යන්න එපා. මොනවා හරි බඩුවක් හරි සේවාවක් හරි ගන්නවා නම් කලින් ගණන් කතාකරගන්න. මේ අය රෙකමන්ඩ් කරන හොටෙල් වල ඉන්නවට වඩා සාර්ථක ක්‍රමය තමයි අපි උඩින් කියපු විදියේ තැනකින් කලින්ම බුක් කරගෙන ඇවිත් නතර වෙන එක.
මෙන්න මේ විදියට කළොත්, ඩවුන් සවුත් ට්‍රිප් එක ආතල් කරගන්නත්, අඩු ගාණකින් ෂේප් කරගන්නත් බැරි කමක් නෑ. හැබැයි එකක්. ගියාට කමක් නෑ, ආතල් ගත්තට කමක් නෑ, කුණු දාලා නම් එන්න ලැහැස්ති වෙන්න එපා!!!
Leave a Reply