තල ඇට වලින් හදන්න පුළුවන් කෑම මොනවද බලමුද?

තල නම් තෙලට වේලේ… මී බෙටි කුමට වේලේ?

 

අනේ මන්දා ඔව්ව නම්… ඕවා ඕනෙ නෑ අපි තල වලින් හදලා කන්න පුළුවන් මොනවද කියලා දෙන්නයි ආවේ. එහෙනම් ඔන්න අහගන්න.

 

1. තල කිව්වම නිකම්ම කටට එන තල කැරලි

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. සුදු තල ඇට ග්‍රෑම් 200
  2. සාමාන්‍ය ප්‍රමාණයේ හකුරු බෑයක්
  3. සීනි මේස හැඳි 2
  4. ලුණු පින්ච් එකක්

 

  • වංගෙඩියක් අරගෙන තල ටික දාලා කොටන්න. ඒ අතරට හකුරු ටිකත් එකතු කරන්න. සීනි, ලුණු එකතු කරලා අනාගෙන නැවත කොටන්න.
  • හොඳට තෙත ගතියට එනකල් කොටාගන්න. තෙත ගතිය මදි නම් විතරක් උණුවතුර ටිකක් එකතු කරගන්න. දැන් අඟල් 1/2 සයිස් එස්ලෝන් බටයක් අරගෙන හොඳට පිරිසිදු කරලා මේ මිශ්‍රණය බටේ ඇතුලට දාලා තද කරන්න.  
  • හොඳට තද කරලා එක පැත්තකින් එළියට අරන් කෑලි කපාගන්න.

 

2. තල බෝල

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තල ඇට ග්‍රෑම් 250
  2. ලුණු  පින්ච් එකක්
  3. සීනි ග්‍රෑම් 200
  4. වතුර කප් 1/2
  5. බටර් මේස හැන්දක්

 

  • තල ටික කබලෙ බැදගන්න. සීනි ටික ලිපේ තියල කැරමල් කරගන්න. ඒකට වතුර එක්ක ලුණු දාගන්න. සිරප් ගතියට උකු වෙනකම් රත් කරගන්න. බටර් එකතු කරගන්න. 
  • බැදගත් තල වලට සිරප් එක ටික ටික දාන ගමන් මිශ්‍ර කරගෙන අතේ බටර් ගාගෙන බෝල හදන්න. සිරප් එක මද රස්නෙන් තියාගන්න. 

 

3. තල අලුවා

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පාන් පිටි ග්‍රෑම් 250
  2. සීනි කෝප්ප 1
  3. තල ග්‍රෑම් 50
  4. ලුණු පින්ච් එකක්
  5. එනසාල් කුඩු ටිකක්

 

  • පිටි ටික කබලෙ බැදගන්න. රන්වන් පාටට එනකල් බැදගෙන ඒකෙන් පිටි මිටක් විතර වෙනම අයින් කරන්න. 
  • තල ටික වෙනම කබලේ බැදගන්න. දැන් සීනි වලට වතුර කෝප්ප 1ක් දාලා ලිපේ තියලා උණු කරගන්න. ඇලෙන පදමට ආවම ලිප ඕෆ් කරගන්න.
  • එනසාල් කුඩු හා ලුණු පැණි වලට එකතු කරන්න. බැදගත් පිටි ටික එක්ක තල ඇට කලවම් කරගෙන යන්තම් නිවුණ පැණි ටික ටික එකතු කරගෙන අනාගන්න. 
  • දැන් තැටියකට ඉතුරු කරපු පිටි වලින් ටිකක් ඉහලා මේ මිශ්‍රණය දාලා තුනී කරලා කෑලි කපාගන්න.
  • ඉතිරි කරගත් පිටි උඩින් හොඳට ඉසගන්න.
  • මිශ්‍රණය ගල් වෙන්න කලින් මේ ටික කරගන්න ඕනා.

 

4. තල මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කඩල පිටි ග්‍රෑම් 50
  2. හාල්පිටි ග්‍රෑම් 75
  3. තල ග්‍රෑම් 50
  4. මිරිස්කුඩු තේ හැඳි 2
  5. කරපිංචා
  6. බටර් මේස හැඳි එකක්
  7. ලුණු

 

  • ඉහත සියල්ලම කලවම් කරන් වතුර ටික ටික එකතු කරමින් ගොඩක් තික් බැටර් එකක් හදාගන්න.
  • දැන් පයිපින් බෑග් එකකට මිශ්‍රණය දාලා රත් වූ තෙල් වලට කෙලින්ම රවුමට පයිප් කරලා මුරුක්කු ටික රන්වන් පාටට බැදගන්න.

 

5. තල ලුණු මිරිස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තල ග්‍රෑම් 50
  2. ලොකු ළූණු ගෙඩි 1
  3. මිරිස්කුඩු තේ හැඳි 2
  4. ලුණු අවශ්‍ය පමණ
  5. දෙහි බෑයක් පමණ

 

  • තල ටික සෝදලා වේලලා කබලෙ බැදගන්න. මෙසේ බැදගත් තල හොඳට ග්‍රයින්ඩ් කරගන්න. කෑලි හිටින්න උනත් කමක් නෑ.
  • දැන් ළූණු චොප් කරගෙන මේකට එකතු කරන්න. මිරිස්කුඩු හා ලුණු රස අනුව එකතු කරලා අන්තිමට දෙහි එකතු කරලා අනාගන්න.
  • වියලි ගතිය වැඩි නම් විතරක් වතුර චුට්ටක් එකතු කරන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *