රට නලවා අපෙන් සමුගෙන ගිය සංගීත අධ්‍යක්ෂකවරුන්

අද අපි කතා කරන්න යන්නේ කලා ලෝකය ගැන කතා බහ කරන ලිපිවලින් වගේම කලා නිර්මාණ රසවිඳින රසිකයන් එතරම් අවධානයක් යොමු නොකරන පිරිසක් ගැන. ඒ තමයි සංගීත අධ්‍යක්ෂකවරුන්. අපේ සාමාන්‍ය ජනතාව ගායකයා වගේම පද රචකයා ගැන හොයලා බැලුවට සංගීත අධ්‍යක්ෂකවරයා ගැන ඒ තරම් හොයන්න බලන්න පෙළඹෙන්නෙ නැහැ. අපේ මේ සටහන ලංකාවේ සංගීතයට සුවිශාල දායකත්වයක් ලබා දීපු සංගීත අධ්‍යක්ෂවරුන් කීපදෙනෙක් ගැන.

 

1. නිමල් මෙන්ඩිස්

2015 වර්ෂයේ දී අපෙන් සමු අරගෙන ගිය නිමල් මෙන්ඩිස් මහත්මයා ලංකාවේ සංගීතය වගේම  ජාත්‍යන්තර සංගීතයේත් නිම්වළලු පුළුල් කරන්න දායක වුණු පුද්ගලයෙක්. ඒ වගේ සුවිශේෂී සංගීතඥයින් අතළොස්සයි අපිට හිටියේ. පාරම්පරික සංගීතය සහ බටහිර සංගීතය නිසි පරිදි මුසු කරමින් අලුත් සංගීත අත්දැකීමක් රසිකයන්ට උරුම කරන්න එතුමා සමත් වුණා. එතුමා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුණු චිත්‍රපටි අතර ‘ගඟ අද්දර’, ‘බැද්දේගම’ ප්‍රධානයි. ඒ වගේම රන් ටිකිරි සිනා, මාස්ටර් සර්, නිම්හිම් සෙව්වා වගේ ගීතවල මූලික සංකල්ප මතුවුණේ නිමල් මෙන්ඩිස් මහත්මයාගේ හදවතේ.

 

2. සරත් දසනායක 

සිතාර් වාදකයකු විදිහට සංගීත ක්ෂේත්‍රයට පිවිසුණු සරත් දසනායක මහත්මයා කෙටි කාලයක් තුළ දිගු ගමනක් ආව කෙනෙක්. එතුමා පළමුවරට චිත්‍රපටි සංගීතයට යොමු වෙන්නෙ ‘සිතිජය’ චිත්‍රපටය හරහා. ඊට පස්සේ චිත්‍රපටි ගණනාවකට සංගීතය සපයන්න ඔහුට අවස්ථාව ලැබෙනවා.ඒ ඔහුගේ සංගීතයේ තිබුණු භාවපූර්ණ ගතිය නිසා. මේ නිසාම ඔහු විසින් සංගීත අධ්‍යක්ෂණය කරනු ලැබූ ගීත ගණනාවක් අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වුණා. ජෝතිපාල සහ ඇන්ජි සුසංයෝගය ඔහු නිසා තවත් ජනප්‍රියත්වයට පත් වුණා. පාට පොදක් තිලකලා, පෙම්වතියන්නේ, හද විමන් දොරින් ඒ අතරින් ජනප්‍රිය​ම ගීත කීපයක්.

 

3. සෝමදාස ඇල්විටිගල 

සෝමදාස ඇල්විටිගල මහත්මයා සංගීතය හදාරන්නේ ඉන්දියාවේ. ඒ සරෝද් සහ එස්රාජ් වාදකයෙක් විදිහට. නැවතත් ලංකාවට පැමිණෙන ඔහු චිත්‍රසේන මහත්මයාගේ බොහෝ නිර්මාණවලට වාදකයෙකු විදිහට තමන්ගේ දායකත්වය ලබා දෙනවා. ගුවන්විදුලි සංස්ථාවට එකතු වන එතුමා පී. වැලිකල මහත්මයාගේ ‘මැටි කරත්තය’ වේදිකා නාට්‍යයට සංගීත අධ්‍යක්ෂණය කරමින් අලුත් ගමනක් ආරම්භ කරනවා. එතුමා තමන් සංගීත අධ්‍යක්ෂණය කරන දෙවැනි චිත්‍රපටය නිසා තමන්ගේ නම සිංහල සිනමාව තුළ අමරණීය කරනවා. ඒ චිත්‍රපටය තමයි ‘සත් සමුදුර’. ‘බක්මහ දීගේ’ චිත්‍රපටියත් එතුමාගේ නිර්මාණ ජීවිතයේ එක් කඩඉමක්. ඒ වගේම එතුමාගේ නිර්මාණ ගැන කතා කරද්දී ‘මූදු පුත්තු’ වේදිකා නාට්‍යයට සංගීතය හරහා එතුමා විසින් ලබා දුන් ජීවගුණය ගැනත් අමතක කරන්න බැහැ.

 

4. ආර්. මුත්තුසාමි 

පළමු වතාවට ජාත්‍යන්තර සම්මානයක් හිමිවුණු අ​පේ සංගීත අධ්‍යක්ෂවරයා විදිහට ආර්. මුත්තුසාමි මාස්ටර්ව හඳුන්වන්න පුළුවන්. ඒ ඉන්දියාවේ Indian Journalist Association සංගමය විසින් 1954 දී පවත්වන ලද All India Cultural Carnival හිදී හොඳම සංගීත අධ්‍යක්ෂවරයා බවට පත් වෙමින්. එම ගෞරවය ඔහුට හිමි වී තිබුණේ ප්‍රේම තර​ඟය චිත්‍රපටය වෙනුවෙන් සිදු කළ සංගීත නිර්මාණ නිසයි. මෙම චිත්‍රපටය නැරඹීමෙන් පසුව ඉන්දියන් ජාතිකයකු වුණු මුත්තුසාමි මාස්ටර් ​හට මෙරට පුරවැසිභාවය පිරිනැමීමට අගමැති සර් ජෝන් කොතලාවල තීරණය කළා. මාතලන් සහ සිරියලතා  ඔහුගේ තනු නිර්මාණවලින් ඔප වැටුණු තවත් චිත්‍රපටි දෙකක්. ඒ වගේම සංදේශය චිත්‍රපටයේ තනු නිර්මාණය කළේ සුනිල් ශාන්ත වුවත් සුනිල් ශාන්ත සංගීත අධ්‍යක්ෂණයට දායක වීම ප්‍රතික්ෂේප කිරීම නිසා එය පැවරුණේ ද මුත්තුසාමි මාස්ටර්ටයි. 

 

5. ගවුස් මාස්ටර් 

ඉන්දියානු සම්භවයකින් යුක්ත වුණත් මොහොමඩ් ගවුස් මාස්ටර් අපේම කෙනෙක් බවට පත් වුණා. මුල් කාලයේ පැවැති නූර්ති සහ ටීටර් සඳහා සංගීතය සැපයීමටයි ඔහු ලංකාවට පැමිණිලා තියෙන්නෙ. ‘අසෝකමාලා’ චිත්‍රපටයේ සංගීතඥයා විදිහට ඉන්දියාවට යන ගවුස් මාස්ටර් තමන්ගෙ වාදක කණ්ඩායමේ හිටපු තරුණයෙක් ගායකයෙක් බවටත් පත් කරනවා. ඇල්බට් පෙරේරා නම් මේ තරුණයා පස්සේ කාලෙකදී ප්‍රසිද්ධ වෙන්නේ අමරදේව නමින්.

 

6. ආර්. කේ රොක්සාමි 

වයලින් වාදකයෙක් විදිහට චිත්‍රපටයක් සඳහා ආර්.කේ රොක්සාමි​ව මුලින්ම සම්බන්ධ කර ගන්නේ ආර්.මුත්තුසාමි මාස්ටර්. ඒ ‘බණ්ඩා නගරයට පැමිණීම’ චිත්‍රපටය වෙනුවෙන්. ආර්. කේ රොක්සාමි මාස්ටර් සංගීත අධ්‍යක්ෂකවරයෙක් බවට පත්වෙන්නේ අහම්බෙන්. ඒ දවස් වල ශාන්තිකුමාර් සෙනෙවිරත්නට ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි ඔහු අධ්‍යක්ෂණය කරමින් සිටි සිටි සංසාරේ චිත්‍රපටිය රූගත කරන අතරතුර එහි සංගීත අධ්‍යක්ෂක බී. එස් පෙරේරා මියයෑම. ශාන්ති කුමාර් මේ කටයුත්ත රොක්සාමිට බාර දෙනවා. මේ විදිහට සංගීත අධ්‍යක්ෂණය ආරම්භ කරන රොක්සාමි මාස්ටර් ‘මහ රෑ හමු වූ ස්ත්‍රිය’, ‘සූරයන්ගෙත් සූරයා’, ‘ආත්ම පූජා’, ‘හාරලක්ෂය’, ‘දෙවියනි ඔබ කොහිද’, ‘අප්සරා’, ‘රෑ මනමාලි’ වගේ චිත්‍රපටි ගණනාවක සංගීත අධ්‍යක්ෂණයට දායක වෙනවා.

 

7. ලයනල් අල්ගම 

නරි බෑනා වේදිකා නාට්‍ය ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුවක් උනේ එහි දෙබස් වලට ගැලපෙන අයුරින් නිර්මාණය කරලා තිබ්බ සංගීතය. මේ සංගීතඥයා තමයි ලයනල් අල්ගම මහතා. එතුමා චිත්‍රපටි සංගීතයට පිවිසෙන්නේ ‘පටාචාරා’ චිත්‍රපයෙන්. එම චිත්‍රපටය වෙනුවෙන් අමරදේව සහ නන්දා මාලිනිය ගායනා කළ ගීත අදටත් ජනතාවට සමීපයි. ලයනල් අල්ගම මහත්මයාගේ සංගීත නිර්මාණ ජීවිතයේ උපරිම අවස්ථාව විදිහට ‘පරසතු මල්’ චිත්‍රපටිය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ලයනල් අල්ගම මහත්මයා ‘ශ්‍රී වීණාව’ නමින් අලුත්ම සංගීත භාණ්ඩයකුත් ලෝකයට හඳුන්වලා දුන්නා. නමුත් ඒ සඳහා නිසි පිළිගැනීමක් එතුමාට ලැබුණ ද කියන එක එක නම් ප්‍රශ්නයක්.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ ලැයිස්තුවට නිතර අපිට අහන්න ලැබෙන සංගීතඥයන් ඇතුළු කිරීමෙන් වැළකුණු බවත් කියන්නම ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *