2020 අවුරුද්දේ තියෙන සුවිශේෂී වැදගත්කම් ගැන දැනගනිමුද?

සමහරුන්ට මේක ජීවිතේ නවතාවයක් දකින්න ලැබෙන නව අවුරුද්දක් වෙනකොට, තවත් කෙනෙක් කියනවා මේක තවත් එක අවුරුද්දක් විතරයි කියලා. මෙතනදී කවුරු හරි, කවුරු වැරදි වුනත් මේක සුවිශේෂී අවුරුද්දක එළැඹුම කියන එකට නම් එකඟ වෙන්න වෙනවා. ඇයි? මේක ඇත්තටම අලුත්ම දශකයක ආරම්භයක්. හරියටම කියනවා නම් 21 වෙනි ශතවර්ෂයේ තුන්වෙනි දශකයේ ආරම්භය. එතකොට ඇයි මේ අවුරුද්ද විශේෂ වෙන්නේ? ඒකට විවිධ හේතු තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔය කියන හේතු ගැන දැම්ම තියාම දැනගෙන ඉන්න එකේ වරදක් නෑ. ආන්න ඒක නිසා දිගටම කියවගෙන යන්න.

 

1. ඉලෙක්ෂන්!

ඔව්, මේ අවුරුද්ද ගැන ගිය අවුරුද්දේ ​අහන්න ලැබුණු ප්‍රධානතම කාරණයක් තමයි මහ මැතිවරණය. දැන් ගිය අවුරුද්ද අවසානයේ ජනාධිපතිවරණය තියලා භාරකාර ආණ්ඩුවක් පත් කරලා තමයි තියෙන්නේ. හරියටම ජනතාවට ඕන ආණ්ඩුව තෝරගන්න පුළුවන් වෙන්නේ මේ මහ මැතිවරණයෙන්. ඒ වගේම මැතිවරණයට කලින් දේශපාලන පිටියේ දකින්න ලැබෙන දේවලුත් එක්කත් මේ මැතිවරණය ඉතාම වැදගත්. විශේෂයෙන්ම කලින් පාලකයෝ දුර්වල නිසා එපා කියලා අලුතෙන්ම පාලකයෝ පත් කරගත්තු ජනතාව විමසිල්ලෙන් බලාගෙන ඉන්නේ මේ අයගේ කල්ක්‍රියාව කොහොම වෙයිද කියලා. ආන්න ඒ නිසා දේශපාලන පිටියේ අතිවැදගත් වෙනස්වීම්, හැලහැප්පිලි දකින්න පුළුවන් අවුරුද්දක් තමයි මේක කියලා ෂුවර් එකටම කියන්න පුළුවන්!

තවත් රටවල් කීපයකමත් මේ අවුරුද්දේ මැතිවරණයන් පවත්වන්නට නියමිතයි. ඒ කියන්නේ 2020 නොවැම්බර් වල ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය එහෙමත් පැවැත්වෙන්න නියමිතයි. ඒ නිසා ලෝක දේශපාලනයටත් 2020 වැදගත්!!

 

2. සමර් ඔලිම්පික්ස්

ඔව්, හැමෝම ඔලිම්පික්ස් කියලා දන්න හැම අවුරුදු හතරකටම සැරයක් එන මහා ක්‍රීඩා මංගල්ලේ පැවැත්වෙන්න නියමිත වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ, ඒ කියන්නේ 2020 ජූලි 24 ඉඳලා අගෝස්තු 9 වෙනකල් ජපානේ ටෝකියෝ නුවරදී. ඔලිම්පික්ස් කියන්නේ ලෝකේ හැමෝටම කොයි තරම් ලොකු ක්‍රීඩා උළෙලක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මුළු ලෝකෙම සුපිරිම ක්‍රීඩකයෝ සහභාගී වෙන මේ මහා ක්‍රීඩා උළෙලට මේ පාර අලුත් ක්‍රීඩා ඉසව් වගේකුත් එකතු වෙනවා කියලා තමයි ආරංචිය. ඒ  3×3 basketball, freestyle BMX සහ Madison cycling වගේ එව්වා.

අපි බලමු මේ පාර ලංකාවට මෙඩ්ල්ස් කීයක් විතර ගේන්න පුළුවන් වෙයිද කියලා!

 

3. මාර්ස් 2020

මාර්ස් කියන්නේ අඟහරු වලටනේ. අඟහරු ගැන අපිට ඉස්සර ඉඳලම තිබුණේ බොහොම කුතුහලයක්. අඟහරු ලෝකේ ඔය කුරුමිටි ඒලියන්ස්ලා ඉන්න බැරිද කියලා විමතියට පත් වුණේ අපි විතරක් නෙවෙයි, විද්‍යා ප්‍රබන්ධ ලේඛකයොත් ඔය ගැන බොහොම තදින් හිතුවා. පර්සිවල් ලොවෙල් අඟහරු ලෝකේ ඇල පාරවල් තියෙනවා කියලා කියනකොට අපේ උන්දැලා අඟහරු ලෝකෙන් ගඩොල් හොයාගෙනත් තිබුණා.

කොහොම නමුත් මේ Mars 2020 කියන්නේ නාසා ආයතනයේ අඟහරු ගවේෂණ වැඩසටහන යටතේ 2020 ජූලි 17 වෙනිදාට අභ්‍යවකාශගත කරන්න සැලසුම් කරලා තියෙන අඟහරු රෝවරයක්. මේ රෝවරය අඟහරු වෙත ගොඩබහින්න නියමිත වෙන්නේ 2021 පෙබරවාරි. ඉතින් මේ රෝවරයෙන් අභ්‍යවකාශ ජීව විද්‍යාත්මකව අදාළ අඟහරු මත තිබුණු පුරාතන පරිසර තත්ත්වයන් හොයා බලන්නත්, අඟහරු මතුපිට භූගෝලීය ක්‍රියාකාරකම් සහ ඒවායේ ඉතිහාසයත්, අතීතයේ ජීවත් විය හැකි පරිසරයක් තිබුණා නම් ඒකත්, අතීතයේ අඟහරු මත ජීවය තිබුණා නම් ඒකත් හොයාබලන්න නියමිතයි. ඒ නිසා මේ මෙහෙයුමත් 2020 වසරේ වැදගත් සන්ධිස්ථානයක්.

 

4. රොබෝ චන්ද්‍ර මූලස්ථානයක්

ජපාන අභ්‍යවකාශ ඒජන්සියක් සූදානම් වෙන්නේ ආයෙමත් මිනිස්සුන්ට චන්ද්‍රයා මත ගවේෂණයන් සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් ලබාදෙන්න. දැන් ඊලෝන් මස්ක්ගේ SpaceX වැඩසටහනත් චන්ද්‍ර මෙහෙයුම් සඳහා සූදානම් වෙනවනේ. ඒ නිසා මේ ජපාන ආයතනය සූදානම් මේ වසරේදී චන්ද්‍ර යානයක් අභ්‍යවකාශ ගත කරලා කක්ෂගත කරන්න. මේ මෙහෙයුම සාර්ථක වුනොත්, ඊලඟ අවුරුද්දේ මේ චන්ද්‍ර යානය සඳ මතට ගොඩබැහැලා, රෝවර් යන්ත්‍ර මුදාහැරලා තොරතුරු එකතු කරන්න සූදානම්.

 

5. එක්ස්පෝ 2020

2020 World Expo කියන්නේ ලෝකේ විවිධ රටවලට, විවිධ ජාතීන්ට තමන්ගේ නවතම සොයාගැනීම් සහ නිපැයුම් එළිදක්වන්න ලැබෙන ලෝක මට්ටමේ ප්‍රදර්ශනයකට. මේ අවුරුද්දේ මේ ලෝක ප්‍රදර්ශනය නැතිනම් Expo 2020 එක පවත්වන සත්කාරක රට වෙන්නේ එක්සත් අරාබි එමිරේට්ස් වල ඩුබායි රට තමයි. 2020 අගෝස්තු 20 ආරම්භ වෙන මේ ලෝක ප්‍රදර්ශනයට රටවල් අඩු තරමින් 192 ක් සහභාගී වෙනවා කියලා පහුගිය අප්‍රේල් වෙනකොට ස්ථිර කරලා තිබුණා. මේ පාර එක්ස්පෝ එකේ තේමාව වෙන්නේ “Connecting Minds, Creating the Future’ කියන එක. ඉතින් මේ එක්ස්පෝ 2020 ප්‍රදර්ශනයේදීත් අපිට ලෝකේ නවතම නිපැයුම් සහ සොයාගැනීම් රැසක්ම දැකගන්න ලැබෙයි කියලා හිතන්න පුළුවන්.

 

6. T20 ලෝක කුසලානය

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයත් මේ අවුරුද්දේ අග භාගයේ තමයි පවත්වන්න නියමිත වෙලා තියෙන්නෙ. ඔක්තෝබර් 18 ඉඳන් නොවැම්බර් 15 වැනිදා වෙනකන් ඕස්ට්‍රේලියාවේදී මේ තරඟාවලිය පැවැත්වෙනවා. පසුගිය වකවානුවේ අපේ කණ්ඩායම දක්වපු අවම දක්ෂතා නිසා අපිට ලෝක කුසලාන තරඟාවලියට එක වරම සුදුසුකම් ලබන්​න බැරි වෙලා තියනවා. ඒ හින්දා සුදුසුකම් ලැබීමේ තරඟ වටයකට සහභාගි වෙලා ඒ හරහා තමයි අපිට අවසන් කණ්ඩායම් 12 අතරට පිවිසෙන්න වෙලා තියෙන්නේ. මේ වෙද්දි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළේ නැති වුණත් ක්‍රිකට් ලෝක කුසලානයක් කියන්නේ සුවහසක් ශ්‍රී ලාංකික ඉත්තෑවන් අවදි කරවන මහා ක්‍රීඩා මංගල්‍යයක් කියන එක අමතක කරන්න බෑ.

 

7. යුරෝ 2020

යුරෝ 2020, නැතිනම් හරියටම කිව්වොත් 2020 UEFA European Football Championship කියන්නේ සෑම වසර හතරකටම වරක් පැවැත්වෙන අතිදැවැන්ත ජාත්‍යන්තර පිරිමි පාපන්දු තරගාවලියක්. ආන්න ඒ තරගාවලියත් 2020 අවුරුද්දටම සෙට් වෙලා තියෙනවා. මේක යුරෝපීය පාපන්දු සම්මේලන එකමුතුවෙන් තමයි සංවිධානය කෙරෙන්නේ. 2020 ජූනි 12 ඉඳලා ජූලි 12 වෙනකල් රටවල් 12 ක නගර 12 ක් පුරාවට මේ තරගාවලිය පවත්වන්නට නියමිතයි. මේකේ අවසන් පූර්ව සහ අවසන් මහා තරග පවත්වන්න නියමිතව තියෙන්නේ ලන්ඩනයේ සුප්‍රසිද්ධ වෙම්බ්ලි ක්‍රීඩාංගනයේදී. මේකේ අවසාන ජයග්‍රාහක කණ්ඩායමට ලැබෙන තෑග්ග යුරෝ මිලියන 10 ක්! සෙල්ලං නෑනේ!!

 

8. 2020 දී එනකල් බලාගෙන ඉන්න බයිස්කෝප්

චිත්‍රපටි පිස්සන්ට මේකත් බොහොම වැදගත් දෙයක් නිසා මේකත් අපේ ලිස්ට් එකට ගන්නවා. මේ අවුරුද්දේත් සෑහෙන චිත්‍රපටි ප්‍රමාණයක් එළිදකින්න නියමිතයිනේ. මේ වලින් චිත්‍රපටි ලෝලීන් එළිදැක්වෙන තුරු පුළ පුළා බලාගෙන ඉන්න චිත්‍රපටි තියෙනවා. නම් වශයෙන් කියනවා නම් Godzilla vs. Kong, Mulan, Wonder Woman 1984, Green Lantern Corps, No Time to Die, Birds of Prey: And the Fantabulous Emancipation of One Harley Quinn, The King’s Man, Ghostbusters: Afterlife, Top Gun: Maverick, Fast & Furious 9, Bad Boys for Life, Dolittle වගේ නම කිව්ව ගමන් දන්න ගොඩක් චිත්‍රපටි, පරණ චිත්‍රපටි වල මීලඟ කොටස් 2020 දී එන්න නියමිතයි. 

 

මේ හැමදෙයක්ම අතරේ ඉරානය සහ ඇමරිකාව අතර යුද උණුසුමත් උත්සන්න වෙමින් පවතින්නේ. මේ ගැටුමට තවත් රටවල් එකතු වේවිද, ඉක්මනින්ම මේ යුද ගැටුම න්‍යෂ්ටික යුද්ධයක් බවට පත්වේවිද කියන බයත් සමහරු තු​ළ මේ වෙනකොටත් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 2020 වසර යුද උණුසුමෙන් වෙලුණු වසරක් වෙන එකක් නැහැයි කියලා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *