ගිහින් යහතින් එන්න වෙයිද කියලා බය හිතෙන භයානක නගර

නොයන ගමන් යන්න බලාගෙන කවුරුවත් සංචාරයට යන්නෙ නැහැ. ඒත් සංචාරයකට කොහෙ හරි ගියාම නිකාං කරදර හිරිහැර වලට භාජනය වෙන්න සමහර තැන්වලට ගිය අයට සිද්ද වෙනවා. උදාහරණ විදිහට මැදපෙරදිග දරුණු නීති රීති තියෙන සෞදි අරාබිය වගේ රටක ගැහැණු අයට තියෙන්නේ තද නීති. ඒ නිසා සෞදියේ ලස්සන තැන් තිබුනත් පවුලේ අය එක්ක ඒ රටට ගිහින් සැහැල්ලුවෙන් ඉන්න අමාරුයි. ඒ වගේ විවිධාකාර හේතු නිසා සමහර සංචාරක ස්ථාන ඒ තරම් යන්න හොඳ නැති තැන් කියලා නරක අතින් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. අපි බලමු එයින් කිහිපයක් ගැන විස්තර.

 

1. අමරිකාවේ ෆ්ලොරිඩාව

ඇමරිකාවේ ෆ්ලොරිඩාව කියන්නේ එහේ ජනප්‍රිය මුහුදුබඩ ලොකේශන් එකක්. ෆ්ලොරිඩා මූදු වෙරළ සංචාරකයින් අතර ජනප්‍රියයි. ඒත් ෆ්ලොරිඩා මුහුදු වෙරළ සංචාරකයින්ට එච්චරම ගැලපෙන තැනක් නෙමෙයි. ෆ්ලොරිඩා මූදු වෙරළේ මිනී මෝරුන් විසින් මිනිසුන්ට පහරදීම් 250කට අධික සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. මේ අතරින් බුල් ශාක් කියන මෝරුන් විශේෂය වැඩිපුරම මිනිස්සුන්ට වින කරලා තියෙනවා. එක් මෝර පහරදීමකින් පස්සේ මේ බීච් එක සංචාරකයින්ගෙන් තොර වෙනවා. ඒත් නොබෝ කාලෙකින්ම ආයෙත් සංචාරකයෝ ෆ්ලොරිඩා බීච් එකේ කිමිදෙන්න, නාන්න, සෙල්ලම් කරන්න එනවා.

 

2. රියෝ දි ජෙනයිරෝ – බ්‍රසීලය

දෑත් විහිදාගත් ක්‍රිස්තුස් වහන්සේගේ සුවිශාල ප්‍රතිමාවක් තියෙන රියෝ නගරය සංචාරකයින් අතර ජනප්‍රිය තැනක්. රියෝ නුවර පසුගිය කාලේ ඔලිම්පික් උළෙලකුත් පැවැත්වූවා. කඳු නගින්න, කැලේ යන්න ආස අය වගේම මූදු වෙරළේ විවේක ගන්න සහ රාත්‍රී සාදවල කම්සැප විඳින්න ආස අයත් රියෝ කරා වසරකට ලක්ෂ ගණනින් ඇදී එනවා. 2015 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ කඳු නගින්න රියෝ නුවර තියෙන ජනප්‍රිය කන්දක සංචාරකයින්ගේ මුදල් වස්තුව කොල්ලකෑම් 150ක් වාර්තා වෙලා තිබුණා. ඒ වගේම සංචාරකයින්ගේ මුදල් පසුබිම් පැහැර ගැනීම්, බෑග් ඉරා කලිසම් ඉරා වටිනා කියන දේ පැහැර ගැනීම් ආදියත් රියෝ නුවරින් නිතර වාර්තා වෙනවා.

 

3. අකපුල්කෝ මෙක්සිකෝ

අකපුල්කෝ නගරය ලෝකයේ අපරාධ වැඩිම නගර අතර කලක් තිස්සේ මුල් තැනක් ගන්නවා. අවරුද්ද පුරාම නිවර්තන සැපපහසු දේශගුණයක් තියෙන නිසා අැමරිකාවෙන් සහ යාබද රටවලින් සංචාරකයෝ අකපුල්කෝ මූදු වෙරළේ  විවේක ගන්නට එනවා. 2016 වසරේ විතරක් මේ මෙක්සිකෝවේ සංචාරක නගරයේ මිනිස්සු 30,000ක් අපරාධවලට ලක් වෙලා තියෙනවා. මේ ප්‍රමාණය සිරියාව ඉරාකේ වගේ ලොකු යුද්ධ තියෙන රටවල අපරාධ ප්‍රමාණයට තරම් ආසන්න වෙනවා. දවසකට මිනීමැරීම්, පැහරගැනීම්, සොරාගැනීම් ආදී දරුණු අපරාධ 82කට වඩා මෙම නගරයෙන් වාර්තා වෙනවා. ඒ නිසා දැන් ඇමරිකාව අකපුල්කෝ වල විවේක ගන්න යන්න එපා කියලා අමරිකානු පුරවැසියන්ට අනතුරු අඟවා තියෙනවා.

 

4. පෝට් මොරස්බි – පැපුවා නිව් ගිනියාව

පෝර්ට් මොරස්බි කියන්නේ පැපුවා නිව් ගිනියාවේ අගනුවර. පැපුවා නිව් ගිනියාව කියන්නේ තාමත් හරිහැටි ශිෂ්ට සමාජයට ආපු නැති ගෝත්‍රිකයෝ හැට හුට හමාරක් රටේ තැන් තැන්වල කැලෑවල ජීවත්වෙන නොදියුණු රටක්. මේ රටේ අගනුවර එළිපිට මහ දවල් කොල්ලකෑම්, හිංසාකිරීම් ආදිය සිද්ද වෙනවා. ගෑණු අයට යන්න නරකම තැනක් විදිහට වාර්තා වෙන පෝට් මොරස්බි වලදී කාන්තාවන්ට නොයෙකුත් හිංසා පීඩා ආදිය සිද්ධවෙනවා කියලා වාර්තා වෙනවා. ඔස්ට්‍රේලියාවට කිලෝමීටර 100ක් දුරින් තියෙන මේ නගරයේ පොලීසිය විටෙක පොලු, දුනු, ඊතල වැනි ප්‍රාථමික ආයුධ වලින්ද මහජනයාගේ කලහකාරී තත්ත්වයන් නවත්වන්න කටයුතු කරනවා. ගෑණු අයට තර්ජනය කරලා ඉක්මනින්ම මුදල්, ආභරණ වගේ වටිනා දේවල් පැහැර ගන්න පුළුවන් කියලා ඒ රටේ අපරාධකාරයෝ කියනවා. පැපුවා නිව් ගිනියාව ලස්සන මුහුදු වෙරළ කොරල්පර, සංස්කෘතික උරුමයන්, නිවර්තන වනාන්තර තියෙන හොඳ රටක්. ඒත් රටේ මිනිස්සුන්ගේ තියෙන කළබල නිසා සංචාරකයෝ පැපුවා නිව් ගිනි යන්න වැඩි ලැදියාවක් නැහැ.

 

5. ඕනෑම නගරයක් – ඉන්දුනීසියාව

ඉන්දුනීසියාවේ බාලි හෙම ලංකාවෙ අය අතරත් ජනප්‍රියයි. ඒ වගේම ඉන්දුනීසියාව ලංකාවෙ අයට වීසා නැතුව යන්නත් පුළුවන් පහසු රටක්. ඒත් ඉන්දුනීසියාව කියන්නේ ස්වාභාවික විපත් අනතුරු අතින් නිතරම මුල් තැන ගන්න රටක්. මේ වසර උදාවෙද්දිම වගේ ඉන්දුනීසියාවේ ජකර්තා නගරය ජලයෙන් යටවුනා. ඒ හදිසි ගංවතුර තත්ත්වය නිසා මිනිස්සු ලක්ෂ 4කට උන් හිටි තැන් අහිමි වුනා. එයින් 43 දෙනෙක් මිය පරලොව ගියා… භූ තැටි මායිමක දූපත් 16,000කටත් වැඩි දූපත් සහිත රටක් වෙන ඉන්දුනීසියාවේ සෑම වසරකම භූමිකම්පා, ගිනිකඳු පිපිරීම්, සුනාමි තත්ත්වයන් වාර්තා වෙනවා. ලංකාවේ ජනතාවත් තිස් දාහකට අධික ප්‍රමාණයක් ගිලගත් 2004 වසරේ සුනාමියෙන් 230,000ක ඉන්දුනීසියානු ජනතාවක් මිය පරලොව ගියා. බොහොම ලස්සන ලොකේශන් තියෙන, කෑම ජාති ගොඩක් තියෙන, සුන්දර මිනිස්සු ඉන්න රටක් වුනත් ඉන්දුනීසියා සංචාරයක් කියන්නෙත් අවදානමක් තියෙන ගමනක්.

 

6. කරාකස් – වෙනිසියුලාව

වෙනිසියුලාව කියන්නෙ මේ වෙද්දි දුප්පත්ම රටක්. වෙනිසියාලුවේ දුප්පත්කම නිසා ජනතාව ලොකු පිරිසක් මුඩුක්කු වලට ගාල් වෙලා දුක සේ ජීවත් වෙනවා. ඒ වගේ පැතිවලට යන්නත් එපා කියලා සංචාරකයින්ට උපදෙස් දීලත් තියෙනවා. මිලියන 3.3කට අධික ජනතාවක් ඉඳපු කරාකස් වල පුද්ගලයින් ලක්ෂයකට අපරාධ ක්‍රියා 130ක් තරම් අධික ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ආර්ථික අතින් බොහොම දුර්වල අඩියක තියෙන කරාකස් වල විවිධ දාමරික කණ්ඩායම් නිර්මාණය වෙලා මිනිස්සුන්ගෙන් මුදල් වස්තුව කොල්ලකන්න පටන් අරගෙන තියෙනවා. කොලොම්බියාවෙ වගේ වෙනිසියුලාවෙත් පුද්ගලික සන්නද්ධ කණ්ඩායම් කුලියට අරගෙන මේ අපරාධ කණ්ඩායම් මඩින්න පියවර ගත්තත් එය සම්පූර්ණයෙන් සාර්ථක වෙලා නැහැ.

 

7. ක්වාලාලම්පූර් – මැලේසියාව

අපරාධ අතින් වැඩිම නගර ගොඩක් අයිති වෙන්නේ දකුණු අමරිකාවට. යුරෝපය, අප්‍රිකාව වගේම ආසියාවෙත් අපරාධ වැඩි නගර තියෙනවා. අපිට ආසන්නම ක්වාලාලම්පූර් නගරයත් ආසියාවේ ලොකුම නගරයක්. ඒ නගරයත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් බහුල ආසියානු නගරයක් වෙලා ඉවරයි. ලංකාවේ අයත් ගොඩක් ක්වාලාලම්පූර් යනවා ගුවන් ගමන් ලාබ නිසා. ඒත් දැන් දැන් විදෙස් සංචාරකයින් ටිකක් විතර ක්වාලාලම්පූර් ගැන සැක පහළ කරන්න පටන් අරගෙන තියෙනවා. හැමදාම මහමඟ සිදුවන සොරාගැනීම්, පැහැරගැනීම් සහ අපරාධ මැලේසියාවේ දැවැන්ත අගනුවරින් වාර්තා වෙනවා.

 

අනතුරුදායක සංචාරක ක්‍රියාවලට කැමැත්තෙන්ම යන අය නම් ලොව පුරා විවිධ තැන්වල අනතුරු වලට පත් වෙනවා. ඒ අය අතර කඳු නගින අය, වෝටර් රාෆ්ටින් වලට යන අය, ගිනිකඳු තරණය කරන්න යන අය, කඳු ශිඛර නගින්න කරන්න යන අය, භයානක මුහුදු වෙරළ තරණය බලන්න යන අය ඉන්නවා. ඒ වගේ භයානක ස්ථාන තියෙන තැන්වලත් සංචාරකයින්ට මරණ සහ අනතුරු වාර්තා වෙනවා. ඒත් ඉතින් ඒවා හුදෙක් ඒ තැන්වල අවුලකුත් නෙමෙයි. ඒ තැන්වලට සංචාරකයින් ඇදෙන්නේම ඒ මරණීය අනතුරුදායක තත්ත්වය දැනගෙන. කොහොම වුනත් රටකින් රටකට, නගරයකට යද්දි ඒකේ අපරාධ සිද්දවීම කොහොමද? ඒ රටේ, පළාතේ යුද්ධ වගේ දේවල් තියෙනවාද? ස්වාභාවික විපත් නිතර වෙනවද? කියලත් යන්න කලින් හොයල බලන්න පුළුවන් නම් බොහොම වටිනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *