යොවුන් පෙම් ජෝඩු පොලිසියට ගෙනයෑමේ නොදකින පැති

පොලීසිය විසින් පෙම් ජෝඩු තොග ගණනින් අල්ලා ගනී. ඉන් පසු පොලීසියට ගෙනැවිත් ඔවුන්ට දැඩි ලෙස අවවාද කර මුදා හරී. නැතහොත් නඩු පවරා සුළු දඩයක් නියම කරයි. මෙය අද ඊයේ නොවේ වසර තිහ හතලිහක පටන් ලංකාවේ නිරන්තරයෙන් ම සිදුවන ක්‍රියාවලියකි. පෙර කාලේදී නම් බොහේ දෙනා “යස වැඩේ ඇටෙන් පොත්තෙන් එළියට එද්දිම ලව් කරන්න යන උන්ට” යැයි දෙස් දෙවොල් තැබුවත් දැන් දැන් තත්ත්වය මදක් වෙනස් වී තිබේ. ප්‍රේම කිරීම යනු මනුෂ්‍ය හැඟීමක් බවද, ඒ පාලනය කිරීමට පොලිසිය මැදිහත් විය යුතු නැති බවද සමාජ මාධ්‍ය හරහා අහන්නට ලැබේ. එසේම සාම්ප්‍රදායික ලෙස “මේ අපේ දරුවෝ අද ජෝඩු ජෝඩු ගුලිවෙලා, පාක් වල ජෝඩු පිරිලා” යැයි එය සමාජ ව්‍යසනයක් ලෙස දකින ආගමික පිරිස්ද තවමත් එහෙන් මෙහෙන් සිටී. මේ කරුණ ගැන අපි විවිධ  කාරණා කිහිපයක් ගෙනහැර දක්වන්නට සිතුවා.

 

1. ප්‍රේමය ඇබ්බැහියක්ද?

අරක්කු, සිගරට්, ගංජා ආදිය එක් වතාවක් ගත් කල්හි නැවත නැවතත් ගැනීමේ ආශාවක් හටගනී. වීඩියෝ ගේම්ස්, චිත්‍රපට බැලීම, සෝෂල් මීඩියා ආදියටත් ඒවා නැවත නැවත කිරීමේ ආසාවල් හටගනී. ආදරය කිරීම, ලිංගික ආශාව වැනි දේ පිටින් අපට ඇතිවෙන ඇබ්බැහිකමක් නොවේ. ඕනෑම පුද්ගලයෙකුට යොවුන් සමයේ හෝමෝන වෙනස්වීම මත ආදරය, ප්‍රේමය වැනි සුන්දර අදහස් ඇති වෙයි.  ලිංගික ආශාවද යොවුන් වියේදී වැඩිපුර ඇති වේ. ඇතැමුන්ට ඒ ලිංගික හා ප්‍රේමණීය සිතුවිලි පාලනය කරගත හැකිය. එහෙත් හැමෝටම එසේ කළ නොහැකිය. සමහර අය අඩු වයසේදීම ප්‍රේම සම්බන්ධතාවන්ට පැටලෙති. මේවා ටෙලිනාට්‍ය නැරඹීම, චිත්‍රපටි නවකතා බැලීම ආදිය නිසා ඇති වූ දේ යැයි ඇතැම් කසිකබල් විද්වතුන් හඳුන්වති. එහෙත් චිත්‍රපටි, ටෙලිනාට්‍ය ලෝකයට ඒමට පෙරත් යෞවන අවධියේදී ලිංගික හැඟීම්, ආදරය වැනි දේ ඇතිවීම ලෝකයේ තිබුනි.

 

2. ඒ කාලේ ඔහොම නැහැ නේ… 

වර්තමානයේ වැඩිහිටි අය මේ පෙම් ජෝඩු දැක “අපේ කාලේ නම් ඔහොම නැහැ” යැයි පවසති. මීට වසර 40කට පමණ පෙර ලංකාවේ මෙතරම් ජනගහණයක් සිටියේ නැත. ලංකාව නිදහස ලබන අවධියේ පවා අවුරුදු 16-18න් ගැහැණු ළමෝ විවාපත් වීම සිදු විය. ඒ කාලේ දැන් මෙන් නොව අවුරුද්දකට එක දෙකක් අහල ගමක හෝ අපේ ගම් වල හොරෙන් පැන යෑම් වාර්තා විය. ඇතැම්විට දැන් මෙන් සෝෂල් මීඩියා හෝ විද්‍යුත් මාධ්‍ය නොමැති නිසා පෙම් ජෝඩු කරන කී දෑ ගැන කතිකාවත් ඇති නොවූවත් ඒ කලේද යෞවන වයසේ ජෝඩු හොරෙන් හොරෙන් හෝ රිසිසේ  පෙම් කරන්නට ඇත.

 

3. පොදු තැනකට යන්න නැහැ නෙ, ජෝඩු ජෝඩු ජෝඩු

ලංකාවේ ආදරය කරන උදවියට උද්‍යාන සැදීම ගැන විවිධ කාලවලදී කතාබහ ඇතිවුණි. එහෙත් ඒවා එකක්වත් යථාර්තවාදීව ක්‍රියාත්මක නොවුණි. ආදරය යනු ෆෝන් එකෙන් මැසේජ් යැවීම පමණක් නොවේ. හමුවී කතා කරන්නට, යම්තාක් දුරට ස්පර්ශ කරන්නට, ආදරණීය ලෙස එකිනෙකා වැළඳගන්න පෙම් කරන අය කැමතිය. “ආදරය යනු කාමර වලට යෑමද?” ඇසුවත්, කාමර නොමැතිව ආදරය කරන්නට හැකි වටපිටාවන් ඇත්නම් ඒ ලංකාවේම අතලොස්සකි.

 

4. ළමයින්ගේ ඉගෙනීම 

ලංකාවේ අධ්‍යාපනය යනු වසර තිහ හතලිහක් තරම් පරණ වූ සැකැස්මකට තවමත් අමාරුවෙන් ඇදගෙන යන පද්ධතියකි. ඒ තුලින් නවීන ලෝකයට හරියන, නවීන ලෝකය ඉල්ලන පුද්ගලයෙක් නිර්මාණය කරනවාද යන්න ගැටළුවකි. උසස් පෙළට සිසුවෙක් යම් විෂය ධාරවක් තෝරාගත් විට ඔහුට ඒ විෂය කරගන්නට බැරිය, ඔහුට ඒ විෂයයන් අමාරුය කියා සිසුන් කොටසක් දැනගන්නේ වසර දෙකහමාරකට පසු පැවැත්වෙන උසස් පෙළ විභාගයෙන් පසුවය. එතෙක් ඔවුන්ට අකමැති නීරස විෂය කරුණු ටියුෂන් බංකු වල සිට අමාරුවෙන් වනපොත් කළ යුතුය. සිසුන් කැමති දේට අනුව විශාල පරාසයක උසස් අධ්‍යාපනයක් වෙනුවට අපට ඇත්තේ සීමිත තේරීම් ගණනකි. අනුරාධපුර වැනි පළාත්වල ගතහොත් දෙමාපියන් අමාරුවෙන් මුදල් වියදම් කොට නගරයට ටියුෂන් එන දරුවා තැන් තැන් වල පෙම් කිරීම සම්බන්ධයෙන් අවුලක් තිබේ. එහෙත් ඒ විෂය උගැන්මට දරුවා ඇත්තටම කැමති නම් ඔහු පෙම් කරන්නට උද්‍යාන, වැව් තාවුලු  සොයාගෙන යයිද?

 

5. මිනිසුන්ට ඇති හිරිහැර

මෙහි පෙම් ජෝඩු දෙසින් නොව අනික් පැත්තෙන් ගතහොත් මහජනයාට පාර මැද කරන ආලිංගන ද එක්තරා අවුලකි. දරුවන් සමග උද්‍යානයකට ගොස් විනෝද වනවිට ඒ අසබඩම පෙම් ජෝඩුවක් ආලිංගන පාන්නේ නම් දෙමාපියන්ට දරුවන්ගේ ඇස් වෙනතකට හැරවීමට වෙහෙස වීමට සිදු වේ. යම් වැවක්, ගඟක්, මූදක් අසබඩ තිබෙන නිවෙසක නිවැසියන්ටද මේ ආලිංගන දාන පෙම් ජෝඩු වධයකි. ඉතින් ඔවුන් විසින් පැමිණිලි කළ පසු පොලීසියද මේ පෙම් ජෝඩු ඉවත් කිරීමට යමක් කළ යුතුය. පෙම් ජෝඩු වෙනුවෙන් වෙනමම අවකාශ නගර තුළ නිර්මාණය වී නම් මෙවැනි ගැටුම් ඇතිවන්නේ අඩුවෙනි.

 

6. ලිංගික හැසිරීම්

ලිංගික අධ්‍යාපනයේ ඇති දුබලතා නිසා හෝ වෙනත් හේතු නිසා ලංකාවේ තවමත් වයස 18ට අඩු ගැබ්ගැනීම් වාර්තා වේ. යොවුන් වියේ ඇති පෙම් සබඳතාවන්හි සීමාවන් හඳුනා ගැනීම සහ උපත් පාලන ක්‍රම ගැන නොදැනුවත්කම නිසා ඇතැම් ගැබ් ගැනීම් සිදු වේ. ලිංගික අධ්‍යාපනය, අධ්‍යාපන ක්‍රමය මගින් සපයන නෙදර්ලන්තය වැනි දියුණු රටවල යොවුන් වියේ ගැබ් ගැනීම් අඩුය. ලිංගික අධ්‍යාපනය බිල්ලෙකු කරමින් එය ඉගැන්වීම නවත්වනවාට වඩා දරුවන් යනු වැඩිහිටියන් වෙන්නට සිටින පිරිසක් ලෙස සලකා ලිංගික අධ්‍යාපනය ලබා දෙන්නේ නම් පෙම් කරන්නට එකතු වෙන ජෝඩු අඩු වයසින්ම ගැබ් ගැනීමේ අවදානම අඩුකරගත හැකිවනු ඇත.

 

7. තවදුරටත් යොවුන් පෙම් ජෝඩු ගැන අධ්‍යයනය කිරීම

මාතර, ගාල්ල, කුරුණෑගල, මහනුවර වැනි ටියුෂන් පංති පැවැත්වෙන නගර වල මේ යොවුන් වියේ පෙම් ජෝඩු වල වාර්තාවීම් වැඩිය. එයින් කලක පටන් ඇතැම් ස්ථානවල ජෝඩු වටලමින් පොලීසියට ගෙනැවිත් අවවාද කර මුදාහැරීමේ සිරිතක් පවතී. නීතිය අනුව අසෝබන ලෙස ප්‍රසිද්ධ ස්ථානවල හැසිරීම ලෙස වර්ග කෙරෙන මේ වැටලීම් නිසා සමාජ මාධ්‍යවල අලුතින් කතාවන් නිර්මාණය වේ. එහෙත් මේ පෙම් කරන යොවුන් වියේ අය ගැන හරිහැටි සමාජ විද්‍යාත්මක දෙසින් පර්යේෂණ කෙරෙනවා අඩුය. විද්‍යාව බොහෝ දියුණු මේ කාලයේ සෑම දෙයක් ගැනම පරීක්ෂණ කොට ඒ දත්ත අනුව තීරණ ගැනීම දියුණු රටවල නිරන්තරයෙන් සිදුවන දෙයකි. මෙවැනි සංවේදී කාරණාවකදි ආගමික සහ සමාජ නායකයින් දෙපැත්තට බෙදී වාද විවාද කරගන්නවාට වඩා සැබැවින්ම ගැටළුව කුමක්දැයි සොයාබලා ඒ අනුව විසඳුම් දෙනවා නම් පෙම් ජෝඩු වලටත්, පොලීසියටත්, මහජනයාටත් වඩාත් සාධාරණයක් ඉටු වේ.

 

සංස්කෘතිය යනු අකාලික දෙයක් නොවේ. එය කාලෙන් කාලයට වෙනස් විය යුතුය. අපගේ සංස්කෘතිය යාවත්කාලීන වන්නේ නැතිව පැරණි විදිහටම ආරක්ෂා කරගන්නට නම් අපි නැවත අතීතයට යා යුතුය. පෙම් ජෝඩුවක් දෙස බැක් පැක් එකක් බැඳගත් සහරාන් බෝම්බ කරුවෙකු දෙස බලනවාක් මෙන් නොවී ඊට වඩා ආදරණීය ලෙස බැලීමට අප හුරු විය යුතුය. එසේම ප්‍රේමය අන්ධ වුවත් අවට සිටින උදවිය අන්ධ නොවන බව සිහි තබාගෙන සීමාවන් අනුව පෙම් සුව විඳීමට පෙම් ජෝඩුද සිහි තබාගත යුතුය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *