මේ දිනවල බුකියේ නැගලා යන ගෲප් 7ක්

මොහොතින් මොහොත ජීවත් වෙන විදියේ වෙනස්වීම් වෙනවා කියන්න අපිට තියෙන හොඳම උදාහරණයක් තමයි බුකිය. ඒකේ ඊයේ තියෙන දේවල් නෙවේ අද තියෙන්නේ. ඒක එක අතකින් වාතයක් වෙන්නත් පුළුවන්. තවත් පැත්තකින් හරි ආතල් නිර්මාණාත්මක දෙයක් වෙන්නත් පුළුවන්. අපේ කොල්ලෝ කෙල්ලෝ ඒ විදියට නිර්මාණය කරගත්තු අලුත් බුකි ගෲප් කීපයක් පහුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල ලොකු කතාබහක් ඇති කරා. මේ ඒ ගැන.



1. Quote උබේ එඩිට් කිරීමේ අයිතියක් කියලා හිතපන්


මේ තමයි අපේ පළවෙනි තෝරාගැනීම. මොකද මේ මොහොත වෙනකොට අවධානය දිනාගෙන යන්නේ මෙයා නිසා. අනෙක් සමූහ එක්ක බලද්දී ඒ අවධානය දෙන්නම වටිනවා. ඒක වෙන්නේ මේ නිසයි. මෙතන දී වෙන්නේ අපි බුකියේ නිතර දකින සිංහල වදන් පේජ්වලින් මොකක් හරි පෝස්ට් එකක් උස්සලා ඒක නිර්මාණශීලී විදියට වෙනස් කරලා පෝස්ට් කරන එකයි. මේ වගේ එකකට එකතු වුණාම තමයි තේරෙන්නේ ලංකාවේ ඉන්නේ මොන තරම් නිර්මාණාත්මක මිනිස්සු ටිකක් ද කියන එක. 



2. අවුරුදු මිලියන 66කට කලින් කියල හිතාගෙන හැසිරෙන්න


මෑතකාලීනව මේ ට්‍රෙන්ඩ් එක ඇති කරවන්න මූලික වුණ සමූහයක් තමයි මේ. මෙතනදී ඇත්තටම වෙන්නේ ප්‍රාග් ඓතිහාසික කාලයේ ජීවත් වෙනවා කියලා මනෝමය වශයෙන් හිතාගෙන ඒ කාලෙට අදාළ දේවල් කතා කරන එක. එහෙමයි කියලා ඒවා මේ සිරා සිද්ධිම නෙවේ. තනිකරම ආතල් එකට කරන එකක්. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔය ඩයිනොසෝර්ලා එහෙම ජීවත් වෙන අවධියේ කෙරෙන ටියුෂන් පන්තිවල ඇඩ්, දඩයමේ යන්න කියාපු භාණ්ඩ වෙළඳ දැන්වීම් වගේ ඒවා තමයි මේකේ කතාබස් කෙරෙන්නේ. මෙතැනදිත් අපේ උදවියගේ නිර්මාණශීලිත්වය මදි නොකියන්න දකින්න පුළුවන්.

 


3. එක්සත් මීම්වරුන්ගේ සංසදය


මේකේ තියෙන එව්වා දැක්කම හිතෙනවා පේජ් එකක් අටවගෙන ඇඩ්මින් කියන පට්ටම අරගෙන අපේ ගොඩක් උදවිය කරන්නේ මොන බොරු වැඩක් ද කියලා. මොකද මේකේ අය උදේ රෑ නැතුව හදන මීම් උපරිම කොලිටියට තියන නිසා. මෙතන ඉඳන් පන්දාහේ කෑලි අනම්මනම් කතා නෑ ඔක්කොම එක යායක. ඉතින් අන්න ඒ නිසා මීම් හදන්න ඕනි අයට ටෙම්ප්ලේට් එහෙමත් ෂෙයාර් කරගන්න තරම් බැඳීමක් තියනවා. ආයෙත් කියනවා නම් ඉතින් මීම් හදන්න සුපිරි මොළ මීටරයක් වෙන්න ඕනි.



4. ජවිපෙ 3% වැඩිකිරීමේ සංසදය


ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පස්සේ දකින්න ලැබුණු දෙයක් තමයි නොවැ ජවිපෙ සමස්ත ඡන්ද ප්‍රතිඵලේ. ඉතින් අන්න ඒක 3%යි. ඕක වැඩිකරන්න කියලා මේ සංසදයේ නම තිවුණට ඒක හෙන පැරඩියක්. මේකෙත් මීම් නොහදා මීම් හදන වැඩක් වෙන්නේ. මෙතැනදි ඇත්තටම වෙන්නේ අදාළ පක්ෂය සහ පාක්ෂිකයන් පොඩිවට හීනියට බයිට් කරන එක. ඒ අස්සේ ඇත්තටම ජවිපේ ප්‍රතිශතය ඉහළ දැමීමේ අපේක්ෂාවෙන් ඉන්න සිරා පාක්ෂිකයොත් ඉන්නවා අදහන්න ඕනි.



5. ගෝඨාට රට හදන්න උපදෙස් දෙන්නන්ගේ සංගමය


මේකත් ජනාධිපතිවරණයෙන් පස්සේ වෙච්චි දෙයක්. මේකට මූලය වුණ කතාව තමයි රහ. ජනාධිපතිවරණය හමාර වුණත් හරි ඡන්ද දුන්න ඈයොන්ටත් වඩා ඡන්දය නුදුන් ඈයෝ අරක මෙහෙම කරන්න, මේක මෙහෙම කරන්න යනාදී විදියට තමන්ගේ වෝල්වල පණ්ඩිත කතන්දර කොටන්න ගත්තා. පස්සේ මේ සමහරක් ඒවා පැරඩි විදියටම ව්‍යාප්ත වෙන්න ගත්තා. ඒ අස්සේ කවුරු හරි පින්වතෙක්ට හිතිලා තිබ්බා අඩේ මේක අපි එකම තැනකට ගෙනාවොත් ගෝඨා සර්ටත් පහසුයි නේද කියලා. ඉතින් මේක ඇති වුණා.



6. ලංකා සයිවර් කඩ කෑම සංසදය


අපි ඉස්සෙල්ලා කතා කරපු සමූහ දෙකම ජනාධිපතිවරණයට පස්සේ තමයි උඩට එන්න පටන් ගත්තේ. එතකොට ඊට කලින් බුකිය රන් කරලා තියෙන්නේ කවුද? ඒ තමයි මේක. සයිවර් කියලා නම තිබ්බට අතේ ඇති පොඩි ගාණට කන්න පුළුවන් චයිනීස් රයිස් එකේ කොත්තුවේ ඉඳන් විස්තර මේ සමූහයේ තියනවා. ඒ කිව්වේ ඒවා හදන හැටි නෙවේ ඒවා ගන්න පුළුවන් තැන් සහ ගණන් ගැන. 



7. ලංකා ඌරු මස් සංසදය


පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අතුරු කතාවක් විදියට ඇතිවුණ ඌරු මස් කතාවේ බුකි ආගමනය තමයි මේ සමූහය. මෙතැන වැඩි වශයෙන් කතා බහ වෙන්නේ එක එක විදියට ඌරා පිළියෙළ කරගන්න ආකාරය. ඒ ඔක්කොටමත් වඩා වැඩේ කියන්නේ ඉතින් කට්ටිය තමන් කන ඌරු වේලක් ගානේ ඒකේ පොටෝ කෑලි මේකට දාලා අනික් එවුන්ගේ කටේ කෙළ හින්දවන එක. ඊට අමතරව ඌරන් හා සම්බන්ධ සියලුම විස්තර සහ මීම් වර්ග මෙතැනදී දැකගන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *