ඉන්ෂුවරන්ස්කාරයෝ තරම් මේ ලෝකේ කවුරුත් බැනුම් අහන්නේ නැතුව ඇති. ඕක ඉන්ෂුවරන්ස් කොම්පැනියක වැඩ කරන හැම කෙනෙක්ම කියන කතාවක්. හැබැයි කොයිහැටි උනත් ලංකාව වගේ අඩු අදායම් රටක රක්ෂණ ක්ෂේත්‍රය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඒ ගැන අපි කලින් ආර්ටිකල් එකකිනුත් කතා කළා. “වාහනේට ඉන්ෂුවරන්ස් ක්ලේම් එකක් පහසුවෙන් ගන්න ටිප්ස් 7ක්” කියන ආර්ටිකල් එක කියවපු අයට මතක ඇති. ඒත් කාලයක් තිස්සේ එක එක අය තමන්ට සිද්දවෙච්ච අමිහිරි අත්දැකීම් එක එක අයට කියලම දැන් වෙද්දී සමස්ත සමාජයේම ඉන්ෂුවරන්ස් කියන වචනෙත් එපා වෙච්ච ස්වභාවයක් පේන්න තියෙනවා. එහෙම වෙන්න සාධාරණ හේතු වගේම නොදැනුවත්කම සහ තමන්ගේ වැරදි කියන කාරණා නිසා සිද්ද වෙච්ච දේවලුත් තියෙනවා. අන්න ඒ විදිහට කාලයක් තිස්සේ මිනිස්සුන්ගේ හිතේ පැලපදියම් වෙච්ච ඉන්ෂුවරන්ස් සම්බන්ධ වැරදි මත කිහිපයක් ගැනයි අද අපි කතා කරන්න හිතුවේ. කතාවට යන්න කලින් කියන්න ඕනෙ ඔය කවුරු බැන්නත් බොහොමයක් දෙනා මේ රක්ෂණය කියන සංකල්පය හරහා යම් සැලකියයුතු ප්‍රතිලාභ ලබනවා.
1. ගෙවනවාට වඩා කපනවා
මෙන්න මේ කාරණාව ඉන්ෂුවරන්ස් කොම්පැණි වලට තියෙන ලොකු චෝදනාවක්. මේක ගොඩක්ම කියවෙන්නේ මෝටර් රථ පුර්ණ රක්ෂණය එක්ක ඇමිණිලා තමයි. මේ කියන්නේ තමන්ගේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා ක්ලේම් එක දැම්මම ක්ලේම් ඒකෙන් ගොඩක් අඩුකිරීම් කරනවා කියන එක. ඉන්ෂුවරන්ස් කොම්පැණියක සාමාන්‍ය කාර්යය තමයි අවදානම් බර ගැනීම. ඒ අවදානම බාර ගනිද්දී ඒගොල්ලෝ යම් යම් තක්සේරු කිරීම් කරනවා. ඒ කියන්නේ වාහනේ අලුත් ද පරණ ද, පුද්ගලික පාවිච්චියද, හයර් කරනවද, නැත්නම් රෙන්ට් කරනවද වගේ දේවල්. ඔන්න ඔය කාරණා සලකා බලද්දී තේරෙනවා අදාළ වාහනයේ අවදානම වැඩි ද අඩුයි ද කියල. ඒ අනුව යම් යම් අඩුකිරීම් ඉන්ෂුවරන්ස් එක දාන වෙලාවේදීම ඇතුලත් කරනවා. ඒ එකක්. අනික ඇක්සිඩන්ට් එකක් උනාම ගරාජ් එකකින් දෙන ඕන ගාණක් අනුමත කරන්න ඉන්ෂුවරන්ස් කොම්පැණිය බැඳිලා නෑ. එකට අදාළ සාධාරණ වැඩ කුලියක් තමයි අනුමත කරන්නේ. එතකොට පේන්ට් කරන්න කියල ලක්ෂයක් ගරාජ් ඒකෙන් ඉල්ලුවට ඉන්ෂුවරන්ස් ඒකෙන් ගෙවන්නේ ඒ වැඩේට අදාළ සාදාරණ ගාණක්. එතකොට එතන අඩුකිරීමක් එන්න පුළුවන්. අනිත් එක අමතරකොටස්. අමතර කොටස් යෙදීමේදී වාහනයේ අවුරුද්ද පරණ නම් ඊට සාපේක්ෂව යම් සියයට ගණනක් පනවනවා රක්ෂිතයා තමන්ගේ අතින් දැරිය යුතු. හැබැයි රීකන්ඩිෂන් පාර්ට්ස් දාද්දි නම් එහෙම එකක් නෑ. අන්තිම එක, අනතුර වෙද්දී වාහනේ අදාළ ස්ථාන වල පරණ ඩැමේජ් තිබුනොත් ඒවටත් යම් සියයට ගාණක් අඩු කරනවා. ඔන්න ඔහොමයි අඩු කිරීම් වෙන්නේ. ඉතින් ඔයාගේ වාහනේ ඔය කියපු ඔක්කොම අඩුකිරීම් වලට අහුවෙනවානම් ඉන්ෂුවරන්ස් කොම්පැනියට කරන්න දෙයක් නෑ නේද? ඒ නිසා හොඳම දේ ඒ වගේ උනාම කැපුවා කැපුවා කියල දොස් කියන්නෙ නැතුව අදාළ ආයතනට ඇපෑලක් යොමු කරලා යම් සහනයක් ලබාගන්න එක.
2. දාගන්නකන් විතරයි පස්සෙන් එන්නේ
හැම රක්ෂණ ආයතනයකම රක්ෂණ නියෝජිතයෝ කියල කොටසක් ඉන්නවා. ඕන කෙනෙක්ට පුළුවන් නියෝජිතයෙක් විදිහට රක්ෂණ ආයතනයකට සම්බන්ධ වෙන්න. (අදාළ ආයතනයේ සුදුසුකම් සැපිරීම හරහා) එහෙම සම්බන්ධ උනාම එයාට පුළුවන් අදාළ ඉන්ෂුවරන්ස් කොම්පැනියට ඉන්ෂුවරන්ස් ගේන්න. ඒ ගේනවට එයාට කොමිෂන් එකක් ලැබෙනවා. ඉතින් එයා ආයතනයට ගේන කස්ටමර්ස්ලව හැන්ඩ්ල් කරන්නේ එයා. මොකද කස්ටමර් ඉන්ෂුවරන්ස් එකට එන්නෙම නෑ මේ වගේ කේස් වලදී. ඉතින් ඉන්ෂුවරන්ස් එක සහ ඉන්ෂුවරන්ස් එක දාපු කෙනා අතර සම්බන්ධය වෙන්නේ අන්න අර රක්ෂණ නියෝජිතයා. එතකොට යම් කෙනෙක් නියෝජිතයෙක් හරහා ඉන්ෂුවරන්ස් එකක් දානවා කියන්නෙම එයා ඉස්සෙල්ලම තෝරාගන්නේ නියෝජිතයව. ඉතින් ඒගොල්ලෝ බිස්නස් එක කෙරෙනකන් පස්සෙන් එනවා තමයි. ඒත් එයා ඊට පස්සෙත් තමන්ට උදව් කරනවද කියන එක එක එක්කෙනාට වෙනස්. කස්ටමර් ගේ හැම ඉන්ෂුවරන්ස් හැම වැඩක්ම හොයල බලල කරලා දෙන ගොඩක් නියෝජිත මහත්තුරු ඉන්නවා. ඒ නිසා ක්ලේම් එකක් ආවට පස්සේ ඕක කියල වැඩක් නෑ. නියෝජිතයෙක් තෝරගන්න අවස්ථාවේදී හොයල බලල කාගෙහරි රෙකමදාරුවක් මත තෝරාගන්න. මොකද එයා ඉන්ෂුවරන්ස් එකේ විතරක් නෙමෙයි රක්ෂණය දාන කෙනාගෙත් නියෝජිතයා.
3. මොකක් උනත් උන් ගෙවන්න ඕනේ
ගොඩක් අය හිතන් ඉන්නවා ඉන්ෂුවරන්ස් කියන්නේ ඕන අලාබෙකට වන්දි ගෙවන්න ඕනේ කියල. එහෙම ගෙවන්න නම් සක්කරයාගේ පුතා වයිමටවත් බැරි වෙයි. මොකද අපේ අයට ගෙවල පිරිමහන්න බෑනේ. කොහොම උනත් ඉන්ෂුවරන්ස් කියන්නේ වෙන ඕන දේකට ගෙවන දෙයක් නෙමෙයි. තමන් අදාළ රක්ෂණයෙන් ආවරණය කරන දේවල් වලට විතරක් අදාළ අනුකුලතාවය ඇත්නම් පමණයි ඉන්ෂුවරන්ස් කොම්පැනියක් ගෙවන්න බැඳිලා ඉන්නේ. උදාහරණයක් විදිහට මෝටර් රථ රක්ෂණයකදී, අදාළ වාහනයට ත්‍රස්තවාදී ක්‍රියාවක් නිසා අනතුරක් උනොත් ඊට අදාළ ගෙවීම කරන්න නම් ත්‍රස්තවාදී ආවරණය ලබාගෙන තියෙන්න ඕනේ. ඔන්න ඔය වගේ තමන්ගේ අඩුපාඩුකම් වලදී ඉන්ෂුවරන්ස් එකට බනින එකත් තේරුමක් නෑ.
4. අවුරුදු ගාණක් ගෙවල හම්බ උනේ සොච්චමයි
ජීවිත රක්ෂණ වලදී අහන්න ලැබෙන සුලබ කතාවක් මේ. ඉස්සෙල්ල කියන්න ඕනේ ජීවිත රක්ෂණයක් කියන්නේ සරලව ගත්තොත් ඔයාගේ ජීවිතයට යම් හානියක් උනොත් ඔයාගේ යැපෙන්නන්ට අදාළ රක්ෂණ ආවරණයේ පරිදි ගෙවීම් කරන සහ හානියක් නොවුනොත් පොලියක් නොවන යම් ප්‍රසාද දීමනාවක් සහිතව අදාළ රක්ෂිත මුදල ගෙවන ක්‍රමයක්. එතකොට ගොඩක් අය මේක සංසන්දනය කරනවා බැංකුවක සල්ලි දාන එකත් එක්ක. එතකොට ෆික්ස්ඩ් ඩිපොසිට් එකක සල්ලි දාන එකයි ජීවිත රක්ෂණයයි සමාන කරන්න බෑ කොහොමවත්. එහෙම සංසන්දනය කරලා බැලුවොත් ඉතින් සොච්චමක් තමයි ජීවිත රක්ෂණයෙන් ජීවිත හානියක් නොවුනොත් ගෙවන්නේ. මොකද ජීවිත රක්ෂණයෙන් ලැබෙන්නේ පොලියක් නෙමෙයි. අනිත් එක ජීවිත ආවරණයක් දෙන ගමන් තමයි ප්‍රසාද මුදලක් ගෙවන්නෙත්.
5. ඒජන්ට් ට කොමිෂන් ගෙවන්නේ මගේ සල්ලිවලින්
ඔයාට ඒජන්ට් කෙනෙක් ඉන්නවනම් ඔයා හිතන් ඉන්නේ එයාට කොමිෂන් ගෙවන්නේ ඔයා කියලා ඒක වැරදි මතයක්. ඒජන්ට් ට අදාළ සියලු ගෙවීම් අදාළ ආයතනයෙන් කරන්නේ සහ ඊට කිසිම විදිහකින් කස්ටමර් ගෙන් කිසිම මුදලක් අය කරන්නේ නෑ.
6. දැම්ම වගේ නෙමෙයි ගන්න නම් අවුරුදු ගාණම ගෙවන්න ඕනේ
මේ කතාව අදාළ වෙන්නේ ජීවිත රක්ෂණවලදී තමයි. ඒවායේදී සමාජයේ මතයක් තියෙනවා ලයිෆ් ඉන්ෂුවරන්ස් වල අදාළ සම්පුර්ණ කාලයම ගෙව්වොත් විතරයි ගෙවීමක් ලැබෙන්නේ කියල. එත් ඒක එච්චර නිවැරදි නෑ. ලයිෆ් ඉන්ෂුවරන්ස් වල තියෙනවා යම් අවස්ථාවක ගෙවාගෙන යන්න බැරි අවස්ථාවක් අවොත් ඊට අදාළ පවාරණ අගයක් ලබාගන්නේ කොහොමද කියලා. ඒක ඉන්ෂුවරන්ස් කොම්පැනියෙන් ඇහුවොත් හරි රක්ෂණ ඔප්පුව කියෙව්වොත් හරි දැනගන්න පුළුවන්.
7. තර්ඩ් පාටි වලට ගෙවන්නේ නෑ
තර්ඩ් පාර්ටි ඉන්ෂුවරන්ස් කියල මෙතන අදහස් කළේ වාහන වල තර්ඩ් පාර්ටි ඉන්ෂුවරන්ස් ගැනයි. ඕනෑම වාහනයක් පාරට දන්න නම් අවශ්‍ය සහතික/බලපත්‍ර වලින් එකක් තමයි ඉන්ෂුවරන්ස් එක කියන්නේ. එකේදී අවම වශයෙන් තුන්වන පාර්ශ්වයේ (3rd Party) ඉන්ෂුවරන්ස් එකක්වත් නැතුව වාහනයක් පාරට දාන්න බෑ. ඇයි ඒ? ඒකෙන් කෙරෙන්නේ අවම වශයෙන් අනතුරක් උනොත් අදාළ වාහනයට නැතත් අගතියට පත් වෙච්ච අනිත් පාර්ශ්වයන්ට වත් ගෙවීමක් වෙන ආරක්ෂණයක් ලබාදෙන එකයි. ඒ නිසා ඔයාගේ තියෙන්නේ තර්ඩ් පාර්ටි නම් ඔයාට පුළුවන් ඔයාගේ වාහනේ එක්ක ඇක්සිඩන්ට් වෙන අනිත් පාර්ශ්වයන්ට (ජීවිත හෝ දේපළ) වලට තමන්ගේ ඉන්ෂුවරන්ස් එක හරහා වන්දියක් ලබාදෙන්න. ඒ නිසා තර්ඩ් පාර්ටි වල කිසිදේකට ගෙවන්නේ නෑ කියන කතාව නිවැරදි නෑ.
Leave a Reply