මීට සති දෙකකට විතර කලින් අපි ලෙඩ වැටුණු පොත් ගැන ආටිකල් එකක් ඔබට ගෙනාවා. ඒ ආටිකල් එකේම දිගුවක් විදිහට තමයි අද ආටිකල් එක ලියවෙන්නේ. හැබැයි පොත් ගැන නම් නෙමෙයි, මේ කියන්නේ චිත්‍රපටි ගැන. මේ චිත්‍රපටිවලට ලෙඩ වැටෙන්න විවිධ හේතු බලපෑවා. ප්‍රධානම හේතුව තමයි දේශපාලන බලපෑම.
1. දුටුගැමුණු
ගිවන්ත අර්ථසාද් සහ දිනේෂ් ප්‍රියසාද් යන සොහොයුරන් දෙදෙනා විසින් ලංකාවේ චිත්‍රපටි කලාවට නව වෙනසක් එකතු කරන්න 1979දී අලුත් වැඩක් කළා. ඒ තමයි දුටුගැමුණු නමින් ලංකාවේ පළවෙනි කාටූන් චිත්‍රපටය නිෂ්පාදනය කිරීම. නමුත් අවාසනාවකට වගේ මේ චිත්‍රපටිය ලංකාවේ ප්‍රදර්ශනය කරන්න ලැබුණේ එකම එක දවසක් විතරයි. ධර්මිෂ්ඨ ජේ.ආර් ජයවර්ධන රජය විසින් මෙම චිත්‍රපටය තහනම් කිරීමට කටයුතු කළා. ඔවුන් ඒ සඳහා යොදා ගත්ත කතාව තමයි මේ චිත්‍රපටය මගින් දුටුගැමුණු චරිතයට අපහාසයක් වෙනවා කියන එක. නමුත් ඇත්ත වශයෙන්ම රජය විසින් ඉතිහාස විෂය පාසල් විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමට කැස කවන යුගයක මෙවැනි චිත්‍රපටයක් විකාශය වීම ප්‍රශ්නයක් විදිහට එවකට පාලක පැලැන්තිය දැක්කා. ඒ වගේම චිත්‍රපටිය තුළ අඩංගු වුණු යෝධයෙක් විසින් අලියෙකු උස්සා පොලේ ගැසීමේ දර්ශනය ගැන එතරම් ප්‍රසාදයක් එක්සත් ජාතික පක්ෂයේ ඉහළ පුටුවලට තිබිලා නෑ.
2. සාගරයක් මැද
ගාමිණි ෆොන්සේකා මහත්මයා එක්සත් ජාතික පක්ෂයට හිතෛෂි ස්ථාවරයක් ගත්තා කියන එක රහසක් නෙමෙයි. සිරිමාවෝ බණ්ඩාරනායක රජය සමයේ දී සත්‍යග්‍රහයක නායකත්වය ගැනීම නිසා පොලිසියේ පහර කෑමකට පවා එතුමා ලක් වුණා. 1977 ඒ පෙරළියත් සමඟ ෆොන්සේකා මහතා තමන්ට වගේ ම මුළු රටටම පසුගිය රජය සමයේ අත්විඳින්නට ලැබුණු දුෂ්කරතා නිරූපණය කරමින් “සාගරයක් මැද” චිත්‍රපටය නිර්මාණය කළා. එහි ඔහු නිරූපණය කළ රාමනායක නම් දේශපාලනඥයා, සමඟි පෙරමුණු රජයේ ප්රබලතම අමාත්‍යවරයා වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක සමඟ අසාමාන්‍ය සමාන කම් වලින් යුක්ත වුණා. මේ නිසා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක විසින් සාගරයක් මැද චිත්‍රපටයට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගැනීමට උත්සාහ කළා. නමුත් අවසානයේදී එය අසාර්ථක වුණා.
3 පුරහඳ කළුවර
පුරහඳ කළුවර චිත්‍රපටය ආරම්භයේ පටන්ම විවිධ බාධකවලට ලක් වෙන්න සිද්ධ වුණු චිත්‍රපටියක්. මුල් අවස්ථාවේදී ප්‍රසන්න විතානගේ ඉදිරිපත් කළ තිර පිටපතට රැඟුම් පාලක මණ්ඩලය විරෝධය දැක්වීම නිසා නැවතත් පිටපතක් ඉදිරිපත් කිරීමට ඔහුට සිදු වුණා. චිත්‍රපටය නිෂ්පාදනය කිරීමෙන් පසුව රටේ පවතින යුද වාතාවරණය මත එම චිත්‍රපටය ප්‍රදර්ශනය කළ නොහැකි බවට නිසි බලධාරියා විසින් තීන්දුවක් ලබාදුන්නා. එම ගැටලුව නිරාකරණය කර ගනිද්දී නැවතත් එවක සිටි විෂය භාර අමාත්‍යවරයා වූ සරත් අමුණුගමද චිත්‍රපටය විකාශය කිරීම කල් දමනු ලැබුවා. ප්‍රසන්න විතානගේ මේ සියලු බාධා වලට අභීතව මුහුණ දීම නිසා අවසානයේදී පුරහඳ කළුවර විකාශනය කිරීමට අවස්ථාව සැලසුණා. මේ බාධා කිරීම පසුපස එවකට ජනාධිපතිනියගේ මාධ්‍ය උපදේශකවරයා වූ සනත් ගුණතිලක සිටි බවටද ප්‍රසන්න විතානගේ ඇතුළු බොහෝදෙනා විශ්වාස කළා.
4. අක්ෂරය
අශෝක හඳගමගේ අක්ෂරය චිත්‍රපටය මෙරට තිරගත වීමට කිසිදු අවස්ථාවක් නොලබාම වාරණය වූ චිත්‍රපටයක්. එම චිත්‍රපටය තුළ පියුමි සමරවීර නම් නිළිය සහ එවකට ළමා නළුවෙකු වූ ඉෂාම් සම්සුදීන් පෙනීසිටි දර්ශනයක් හේතුවෙන් මෙම චිත්‍රපටිය තහනම් කිරීමට රැඟුම් පාලක මණ්ඩලය තීරණය කළා. අනතුරුව අධිකරණ නියෝගයක් මගින් ද පාලක මණ්ඩලයේ තීරණය අනුමත කරනු ලැබුවා. මීට තවත් එක් හේතුවක් වුණේ මේ චිත්‍රපටයේ තිර පිටපත විනිශ්චයකාරවරයෙකු වටා කේන්ද්‍රගත වීමයි. ලංකාවේ සිනමාහල් තුළ අක්ෂරය ප්‍රදර්ශනය වීම එසේ වැළකුණත් අන්තර්ජාලය හරහා අදටත් අක්ෂරය ඔබට නරඹන්න පුළුවන්.
5. බොරදිය පොකුණ
බොරදිය පොකුණ චිත්‍රපටය වෙනුවෙන් චිත්‍රපට අධ්‍යක්ෂවරයා, නිෂ්පාදකවරයා ඇතුළු නළු නිළියන් සියලු දෙනාම සුවිශාල කැප කිරීමක් කළා. මුල් අවස්ථාවේදී රැඟුම් පාලක මණ්ඩලය ඔවුන්ට ප්‍රකාශ කළේ සිටියේ චිත්‍රපටය තුළ අඩංගු වුණු ලිංගික දර්ශන සහ අසභ්‍ය වචන හුවමාරු වීම් අඩංගු දර්ශන සියල්ල ඉවත් කළ යුතුයි බවයි. නමුත් ඊට කිසිවෙක් එක එකඟ වුණේ නැහැ. අවසානයේදී වසර දොළහකට පසුව, එනම් 2015 දී ඒ චිත්‍රපටය සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට අවසර ලැබුණා. නමුත් එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑ දුමින්ද සිල්වා වගේ දක්ෂ නළුවෙක්ට සිනමාවේ දිගු ගමනක් යෑමට තිබූ අවස්ථාව අහිමිව ගොස් තිබුණා.
6. උසාවිය නිහඬයි
පුරහඳ කළුවරට වගේම ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරපු “උසාවිය නිහඬයි” චිත්‍රපටියටත් ලංකාවේ ප්‍රදර්ශනයේදී නඩු කටයුත්තකට මුහුණ දෙන්න වෙනවා. මේකට හේතුව වෙන්නේ වෙන්නෙ මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ ලෙනින් රත්නායක නම් හිටපු විනිශ්චකාරවරයෙකුගේ දූෂිත සහ අපකීර්තිමත් ජීවිතය. මේ චිත්‍රපටයට එරෙහිව ලෙනින් රත්නායක වාරණ නියෝගයක් ගන්න උත්සාහ කරනවා. නමුත් උසාවියත් මේ අවස්ථාවේදී ගන්නේ උසාවිය නිහඬයි චිත්‍රපටයෙන් පැත්ත. මේ නිසා දින කීපයක තාවකාලික වාරණයකින් පස්සේ රට පුරා උසාවිය නිහඬයි තිරගත කරන්න පටන් ගන්නවා.
7. Judgement
මේ චිත්‍රපටයත් තිඹිරිගෙයිදිම මරා දැමුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙන්නෙ ගාමිණී ෆොන්සේකා මහත්මයා. යම් විදියකින් මේ චිත්‍රපටය නිෂ්පාදනය වුනානම් ලංකාවේ සිනමා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙන්න තිබ්බා. නමුත් රටේ පැවැති වාතාවරණය අනුව සහ ආරක්ෂක අමාත්‍යාංශයෙන් එල්ල කරන ලද විරෝධතා නිසා මේ චිත්‍රපටය නිර්මාණය කිරීම ගාමිණී ෆොන්සේකා මහත්මයාට අත්හැරලා දාන්න සිද්ධ වුණා. මේ චිත්‍රපටියේ කතාවට අනුව සෙරන්ඩිබ් නම රටක උතුරු පළාතේ වාසය කරපු බෙදුම්වාදී ව්‍යාපාරයක් මගින් රට දෙකඩ කරනවා. දකුණේ ඉහවහා ගිය දූෂණය නිසා විවිධ පිරිස් හිටපු හමුදා ප්‍රධානියෙක්ට රටේ බලය අල්ලන්න කියලා ආයාචනා කරනවා. ඔහු කුමන්ත්‍රණයක් මගින් බලය අල්ලා රටේ ඒකාධිපති පාලනයක් ගෙන යනවා. ඔහු විසින් රටේ දූෂණයට තිත තැබෙනවා. මේ නිසා ඔහුට සතුරන් රාශියක් ඇති වන අතර අවසානයේ දී ප්‍රති කුමන්ත්‍රණයක් මගින් ඔහුව බලයෙන් පහ කරලා ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වනවා. ඒ අවස්ථාවේදී ඔහුව ආරක්ෂා කර ගැනීමට එන්නේ උතුරු පළාතේ හිටපු කැරලි නායකයායි.
එහෙම නම් වෙනදා වගේම ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. මේ ලැයිස්තුවට ඇතුළත් වෙන්න ඕන තවත් චිත්‍රපටි තියෙනවා නම් ඒ ගැනත් සඳහන් කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා.
Leave a Reply