බඳින්නම හිතාගෙන කරන ලව් එකක ඉන්න කෙල්ලෙක් තමන්ගෙ කොල්ලාගෙන් බලාපොරොත්තු වෙන්නෙ මේවා තමයි

දැන් ඔය ආදර සම්බන්ධතාවයකත් විවිධ අවස්ථා තියෙනවනේ. ආදර සම්බන්ධතාවයක් පටන් ගත්ත අලුත කසාදයක් ගැන හිතන්නේ නැති තරම්. මොකද ඒ ලව් එක දිගින් දිගටම යන්නත් පුළුවන්, මගින් නවතින්නත් පුළුවන්. හැබැයි දෙන්නට දෙන්නගේ තියෙන සම්බන්ධතාවය බොහොම ගැඹුරු ආදරයක් බවට පෙරළුණා ට පස්සේ ඔන්න විවාහය ගැනත් හිතන්න පටන් ගන්නවා. එතකොට මේ දෙන්නා  අතර සම්බන්ධතාවය තව එක තලයක් උඩට ගිහිල්ලා තියෙන්නෙ. මෙතනින් එහා ඊළඟ තලය තමයි විවාහය වෙන්නෙ. ආදර සම්බන්ධතාවයේ මෙන්න මේ අවස්ථාවේ ඉන්නකොටත් ඉතින් ගෑණු ළමයි තමන්ගේ වෙන්ඩ හබීගෙන් ඒ කියන්නේ බෝයිෆ්‍රෙන්ඩ් ගෙන් යම් යම් දේවල් බලාපොරොත්තු වෙනවා. ලොකු දේවල් නෙවෙයි. සමහර බෝයිෆ්‍රෙන්ඩ්ලා දැනුවත්ව හෝ නොදැනුවත්ම මේ ගෑණු ළමයා බලාපොරොත්තු වෙන පුංචි පුංචි දේවල් කරල දෙනවා. හැබැයි සමහරුන්ට ඒවා මඟ ඇරෙනවා. අන්න ඒ අයට තමයි මේ ආටිකල් එක ලියන්නේ.

 

1. ඉස්සර අපි ආදරෙන් හිටපු හැටි 

සාමාන්‍යයෙන් ලවු එක පටන් ගත්ත මුල් කාලේ ඕක ගිනි ගින්දර වගේ නැගල යනවා. හැබැයි පස්සේ පස්සේ ඕකෙ තියෙන අර intense ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒක ඉතින් ලෝක ස්වභාවය. හැබැයි ඉතිං විවාහයටත් යනවා නං එහෙම කියලා හරියන්නේ නෑ. ඉස්සර වගේම ආදරේ පිරුණු මැසේජස්, සප්‍රයිස් කිරිලි එහෙම තියෙන්න ඕන. අන්න එතකොට තමයි කසාද බැන්දට පස්සෙත් ලව්  එක ඩබල් එකේ නැගලම යන්නේ. ඉතින් කොල්ල අතින් ඔව්වා අතපහු වෙන්න හොඳ නෑ. මොකද කෙල්ල ඕවා බලාපොරොත්තු වෙනවා.

 

2. මගේ අම්මලා තාත්තලා ඔයාගෙත් අම්මලා තාත්තලා

මේකත් ටිකක් සංවේදී කාරණාවක්. විවාහ වෙන තරමටම සීරියස් ආදර සම්බන්ධතාවක ඉන්නවා කියන්නේ පවුල් වලින් දැන අඳුනගෙන කියන එකනේ. එතකොට අම්මල තාත්තල එක්ක තියෙන සම්බන්ධතාවයත් යම් ප්‍රමාණයකට ගොඩනැගිලා. ඉතින් ගෑණු ළමයා බලාපොරොත්තු වෙනවා තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් තමන්ගෙ අම්මට තාත්තටත් එයාගේ අම්මට තාත්තට වගේම සලකයි කියලා. කොටින්ම කියනවනං ඇන්ටි අංකල් කියන්නෙ නැතුව අම්මා තාත්තා කියලම ආමන්ත්‍රණය කරයි කියලත්, ඒ දෙන්නාට ගෞරවයෙන් සලකයි කියලා බලාපොරොත්තු වෙනවා.

 

3. මේ මගේ යාලුවෝ

සාමාන්‍යයෙන් සීරියස් ලෙවල් එකට ආදර කතාව එනවා කියන්නේ ගෑණු ​ළමයගේ යාළුවන්වත් පිරිමි ළමයා අඳුන ගන්නවා කියන එක. එතකොට ගෑණු ළමයා නොකිව්වත් බලාපොරොත්තු වෙන එකක් තමයි, කොල්ලා තමන්ගෙ යාලුවො අතරේ තත්ත්වය තියාගෙන වැඩ කරයි කියලා. මොකද කොහොමත් යාලුවන්ට තමන්ගෙ කොල්ලව පෙන්නන්නේ හරි ආඩම්බරයෙන් නේ. එතකොට ගෑණු ​ළමයගේ යාලුවෙක්ගෙ හස්බන්ඩ් එක්ක සෙට් වෙලා බීලා වමනේ දානවා වගේ, ගෑණු ළමයට හොරෙන් ගෑණු ළමයාගේ යාලුවෙක්ට බැල්මට් එක දානවා වගේ  පජාත වැඩ නොකරන්න තරයේ හිතට ගන්න වෙනවා.

 

4. සීරියස් අනාගත සැලසුම්

සාමාන්‍යයෙන් ඉතින් ඔය සැලසුම් කියන එක නම් ආදරේ කරන්න පටන් ගත්ත කාලෙදිත් තියෙනවා. ඇයි ඔය ඒ කාලේ කියන්නේ අපි දෙන්නා කන්දක් උඩ පුංචි පැලක් හදාගෙන ලුණුයි බතුයි කාල ඉමු රත්තරන් කියලා. හැබැයි දෙන්නා සීරියස් පිට පවුලක් පන්සලක් වෙන්න හිතෙන තරමට ලවු එක මෝරලා ගියාට පස්සේ ඔය වගේ සීනිබෝල සැලසුම් හරියන්නේ නෑ. අන්න එතකොට ගෑණු ළමයා බලාපොරොත්තු වෙනවා තමන්ගේ කොල්ලා ඉදිරි අනාගතය ගැන ප්‍රායෝගිකව සැලසුම් කරාවි කියලා. හැබැයි ගෑණු ළමයාගෙන් අහන්නැතුව තමන් තනියෙන් සලසුම් හදලා වැඩකුත් නැහැ. ඒ සැලසුම් ගෑණු ළමයත් එක්ක සාකච්ඡා කරන්න වෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් බැඳලා කොහෙද ඉන්නේ කියන එක. ඒකත් එක්කම හිතන්න වෙනවා ගෑනු ​ළමයගේ සහ තමන්ගේ රැකියාවලට එතන ඉඳලා  තියෙන ගමන් පහසුව, අම්මල තාත්තලගෙ ගෙවල්වලට කොච්චර ළඟද දුර ද කියන කාරණාව වගේ දේවල්. මෙන්න මේ වගේ දේවල් ගැන තමන්ගේ කොල්ලා හිතනවා කියලා දැනෙන එකටත් ගෑණු ළමයෙක් ආසයි.

 

5. ඩේට් අවුට්

සමහරු ලව් කරන්නේ හරියට එක්සෑම් එකකට ලැහැස්ති වෙනවා වගේ. එක්සෑම් එක ඉවර වුණාට පස්සේ පාඩම් කරන්නේ නෑ වගේ කෙල්ලව යාලු කරගත්තට පස්සේ අර තිබ්බ ලව් සීන් ඔක්කොම ඈලියාවට යනවා. අන්න ඒක හොඳ දෙයක් නෙවෙයි. දැන් ලවු එක විවාහ අපේක්ෂක තත්ත්වයටම සීරියස් වුණාට පස්සේ, දෙන්නා මුණ ගැහෙන්නෙත් එක්කෝ වෙඩින් එක ප්ලෑන් කරන්න. එහෙමත් නැත්නම් නැත්තම් කාගෙහරි නෑදෑයෙක්ගේ හරි යාලුවෙක්ගෙ ගෙදරක තියෙන මොකක් හරි දේකට යන්න. හැබැයි අපි කියන්නේ මේ කලබල අස්සේ වුණත්  තමන්ගේ කියලා දවසක් ඩේට් අවුට් එකට යන්න තියාගන්න ඕන කියලා. කොහේ හරි ලන්ච් එකට හරි ඩිනර් එකකට හරි ගිහිල්ලා කෑම ටිකක් කාලා, දෙන්නත් එක්ක ආදරෙන් කතා කර කර ඉඳලා එන්න දවසක් අනිවාර්යෙන්ම මාසෙකට දෙතුන් වතාවක් වත් එනවනම්, ඔන්න ලව් එක ගොඩ.

 

6. මම ඔයාගේ පැත්තේ සුදූ

දැන් ලවු එක කසාද බඳින ලෙවල් එකටම සීරියස් වෙනකොට කොල්ලා ඔය ගෑණු ළමයගෙ නෑදෑයන්ව, පවුලෙ අයව කාරිය අඳුන ගන්නවා නේ. ඔතන සමහර වෙලාවට ඉන්න පුළුවන් ගෑණු ළමයට එක එක කෝන්තර තියෙන නැන්දලා, ලොකු අම්මගෙ දුවලා එහෙම. ඉතිං කොයි වෙලේක හරි ගෑණු ළමයා මේ තමන්ට පෙන්නන්න බැරි අය ගැන කොල්ලොත් එක්ක වග පල කියන වෙලාවක, කොල්ලා “ඒ අය එහෙම නෑනේ, මට එහෙම පෙන්නෑනේ, ඔයා හිතින් මවාගත්තුවා” කියලා ලොකු අම්මගෙ දුවගේ හොඳ  කියන්න ගිහින් හරියන්නේ නෑ. කෙල්ල ඒ වෙලාවට බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ කොල්ලා තමන්ගේ පැත්තේ ඉඳී කියලා. අන්න ඒ නිසා කෙල්ල වග පල කියන වෙලාවක ඒකට පෝර නොදැම්මට කමක් නෑ, අහගෙන හිටියත් ඇති.

 

7. එයා මගේ වයිෆ්

හරි තාම වයිෆ් වෙලා නෑ තමයි. හැබැයි විවාහයක් ගැන හිතන තරමටම ලවු එක සීරියස් වෙලා නම්, ගෑණු ළමයා ආසයි තමන්ව වෙන්න වයිෆ් කියල හරි කොල්ලා  ලෝකෙට පෙන්නන එකට. සරලම උදාහරණයක් කිව්වොත් පාරේ යන කොට කොල්ල දන්න අඳුරන වෙන ගෑණු ළමයෙක් එහෙම හම්බුනොත්, ගර්ල් ෆ්‍රෙන්ඩ්ට පොඩ්ඩක් ඉන්න කියලා ගිහිල්ලා ඒ කෙල්ලත් එක්ක කතා කරනවා කියන්නේ බොහොම වෙලාවට දෙවන ලෝක යුද්දේ තමයි. හැබැයි අර  පාරේ මු​ණගැහුණු දන්න අඳුනන ගෑණු ළමයට කොල්ලා තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව “මේ තමයි මගේ ෆියොන්සේ” කියලා හරි “මේ ඉන්නෙ මම බඳින්න ඉන්න ගැහැණු ළමයා” කියල හරි හඳුන්වලා දෙනවා නම් කෙල්ලට ෆුල් හැපි. 

 

ඔන්න ඔය වගේ පුංචි පුංචි දේවල් තමයි සීරියස් ලව් එක ඉන්න ගෑණු ළමයෙක් තමන්ගේ කොල්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *