චූටි දුවෙක්ට පුංචි අම්මා කෙනෙක් ඉන්න එකේ ඇති අගේ

ලෝකේ තියන හොඳම බැඳීම්වලින් එකක් තමයි සහෝදර බැඳීම. ඉතින් ඒ බැඳීම් අස්සේ තියන අනික් බැඳීමුත් ඒ වගේමයි. තමන්ගේ වැඩිමල් සහෝදරයා සහෝදරීගේ දරුවන්ට ඇතිවන ආදරයත් ඒ වගේ එකක්. බාප්පා සහ පුංචි කියන දෙවර්ගයටම මේක අදාළ වුණත් අපි ඉස්සෙල්ලාම කතා කරන්න හිතුවේ චූටි දුවෙක්ට පුංචි අම්මෙක් ඉන්න එක මොන තරම් අගේ හිතෙන වැඩක් ද කියලා පෙන්වන එක ගැනයි.



1. හොඳ යෙහෙළියක්


චූටි දූට ගෙදර ඉන්නකොට කම්මැලිකමක් හැදෙන්න විදියක්ම නෑ පුංචි අම්මෙක් ඉන්නකොට. වැලි සෙල්ලම් බත් ඉවිල්ලේ ඉඳන් ලිප්ස්ටික් කියුටෙක්ස් ගාන තැන දක්වාම හිතේ හැටියට සෙල්ලම් කරන්න පුංචි සැදී පැහැදිලා ඉන්නවා. සමහරවිට මේ කෝලම් එකක්වත් අම්මයි තාත්තයි එක්ක කරන්න බැරි ඒවා වෙන්න පුළුවන්. ගොඩක් චූටි බබාලට ඉස්කෝලේ යන වයසෙම පුංචිලා ඉන්නවා. එතකොට තවත් ජොලි. හැබැයි එහෙම නැති පුංචිලත් තමන්ගේ අක්කගේ අයියගේ බබා වෙනුවෙන් ආපහු හෝඩියේ පන්තියේ පොඩි එකෙක් ගාණට කැමැත්තෙන්ම වැටෙනවා. 



2. වීර චරිතයක්; රෝල් මොඩෙල් කෙනෙක්


චූටි දූට අම්මා ඇරුණම ළඟින් ම ආශ්‍රය කරන්න ඉඩ තියෙන්නේ පුංචි තමයි. ඒක ආච්චි අම්මා එක්ක තියන සම්බන්ධයට වඩා සමීපයි. ඒකට බාහිර සාධක රාශියක් තියනවා. හැබැයි ඒ ඔක්කොටම වඩා වැදගත් අභ්‍යන්තර සාධක තියනවා. ඒ තමයි පුංචි දිහා දුව බලන විදිය. තමන් එක්ක බලද්දි පුංචි අම්මා කියන්නේ වීරයෙක්. එයා තරුණයි. නිදහසේ ජීවත් වෙනවා. කෑ ගහලා උඩ පැනලා ඉන්නවා. හොඳ රැකියාවක් කරනවා. ඉගෙනගන්නවා. එහෙම වුණාම අම්මගෙන් ඉගෙනගන්නවට වඩා යමක් පුංචිගෙන් ඉගෙනගන්න පෙළඹෙනවා.



3. ගැලවුම්කාරිනියක්


මොකක් හරි නරක වැඩක් කරලා ගෙදරට මාට්ටු වුණොත් එතැනින් බේරලා අම්ම්ගෙන් කෝටු පාර නොකා බේරා ගැනීමේ විධායක බලය තියන කෙනෙක් තමයි පුංචි. ඒ නිසා පුංචි අම්මව ෂේප් එකේ තියාගන්න එක වටිනවා. ඒ වගේ ම ගෙදර දී වෙන රණ්ඩුවල දී පුංචි අම්මා දුවගේ පැත්ත ගන්න ලොකු සම්භාවිතාවක් තියනවා. සමහර විට දුවගේ නැති තරමේ ගුණ පවා ලස්සනට කියලා ගෙදර අනික් අයගෙන් පොයින්ට්ස් අරන් දෙනවා. පුංචි අම්මගේ ආදරේ ඒ වගේ.



4. හඳුන්වාදෙන්නියක්


තරුණ පුංචි අම්මෙක්ගේ ජීවිතේ අලුත් ලෝකෙට හරියන විශ්වකෝෂයක් වගේ. අම්මලා ආච්චිලා ගුණධර්ම සාරධර්ම වගේ දේවල් ජීවිතේට හඳුන්වා දෙද්දී පුංචි ඒවාට අමතරව වෙන වෙන දේවල් අඳුන්නලා දෙනවා. ඒ කිව්වේ ගෑණු ළමයින්ගේ තියෙන එක එක විලාසිතා, යාළුවන්ගේ නූල් සූත්තරවලින් ගැලවෙන ක්‍රම, අලුත් තාක්ෂණය වගේ දේවල් කෙල්ලට ඉස්සෙල්ලම මොළේට වැටෙන්නේ පුංචි අම්මා මාර්ගයෙන් වෙන්නත් පුළුවන්. ඉතින් සමහර වෙලාවට පොඩි එකා ඕනිවට වඩා නරක් වෙන්නත් පුළුවන්. ඒක ඉතින් පුංචි අම්මා අනුව තමයි.



5. ගෙදර වැඩවලට උදව්වක්


ඉස්කෝලේ නැත්තන් මොන්ටිසෝරියේ දෙන හෝම්වර්ක් කියන්නේ අම්මලට නම් දස වදයක්. හැබැයි පුංචියෙක් හිටියම අම්මලා ඒ කරදරෙන් නිදහස්. කොළ කපලා, ගම් ගාලා, මල් අලවන ඒවා වගේ ම ගණන් හදන්න, වාක්‍ය හදන්න පුංචි ඉන්නවා ඕනි වෙලාවක සැදී පැහැදීගෙන. ඔක්කොටමත් වඩා පුංචිට තදියමක් තියනවා උගන්වන්න. ඒ නිසා ගෙදර වැඩ හංගන් හිටියත් පුංචි ඒවා ඉවෙන් හරි හොයාගන්නවා. ගෙදර වැඩ නැත්තන් පුංචි අම්මා ටීචර් කෙනෙක් වගේ මොකක් හරි වැඩක් කරන්න දෙනවා.



6. හොඳ භාරකාරියක්


අම්මට තාත්තට සීයට ආච්චිට හැම වෙලේම දෝණි දිහා ඇහැ ගහගෙන ඉන්න බැහැනේ. ඉතින් කවුරුත් කියන්නත් කලින් නැනී වගකීම භාරගන්නේ පුංචි තමයි. වෙනදටත් වඩා හොඳට කවලා පොවලා නාවලා බබාව බලාගන්න පුංචි අම්මට පුළුවන්. අම්මගෙන් තාත්තාගෙන් බත් කටක් කන්නැති පොඩි බබාලා පුංචිලා පස්සේ එල්ලීගෙන ගිහින් බත් කවාගන්නේ.



7. හොඳ ඇහුම්කන් ​දෙන්නියක්


වැඩෙන වයසේ දුවෙක්ට කියන්න කතා ගොඩක් තියනවා. ප්‍රශ්න ගොඩක් තියනවා එයාට උත්තර නැති. ඒවාට සෑහෙන භරසාර උත්තර එයා බලාපොරොත්තු වෙන්නේ නෑ. ඉතින් කාරණා එහෙම සිද්ධ වෙද්දී ඒකට හොඳම පුද්ගලයා බවට පත් වෙන්නේ පුංචි අම්මා තමයි. මොකද මේ දේවල්වලට ඉතාම මෑතක දී මුහුණ දුන්න පුද්ගලයා වෙන්නේ එයා නිසා.


 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *