මේ ඉස්කෝල නිවාඩු කාලෙ ගෙදර දුවලා පුතාල එක්ක ට්‍රිප් යන්න වගේම දුර පළාත් වල ඉන්න නෑදෑයෝ බලන්න යන්නත් අපේ කට්ටිය උනන්දු වෙනවනෙ. ඒ නැතත් ට්‍රිප් එකක් යන්න කාල වකවානුවක් කියල එකක් ඇත්තෙම නෑ. කට්ටිය සෙට් වෙන වෙලාව තමයි වෙලාව. කටින් විතරක් ට්‍රිප් යන කට්ටියට නම් මෙච්චර දේවල් හිතන්න දෙයක් නෑ. ඒත් ඇත්තටම හැබැහින් ට්‍රිප් එකක් හරි දුර ගමනක් හරි යන්න හිතන් ඉන්නවා නම් කාරුණු කාරණා ගොඩක් තියෙනවා හිතන්න සහ අවධානය යොමු කරන්න. අන්න ඒ වගේ යාලුවෝ කීපදෙනෙක් එක්ක හරි පවුලෙ කට්ටිය එක්ක දුර ගමනක් තමන්ගෙම වාහනේකින් යනව නම් අවධානය යොමු කරන්න ඕනෙ කාරණා ගොඩක් අතරින් හතක් ගැනයි අද අපි කතා කරන්නෙ.
1. බලපත්‍ර ටික හරිද?
වාහනේක දුර ගමනක් නෙමෙයි එහා පැත්තෙ කඩේට ගියත් බලපත්‍ර ටික නම් හරියට අතේ තියෙන්න ඕනෙ. රියදුරු බලපත්‍රය, වාහනයේ ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය කියන ඒවා අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ. ඊට අමතරව දුම් සහතික ලබාගතයුතු වාහනයක් නම් දුම් සහතිකයත් ලඟ තියෙන්න ඕනෙ අළුත්ම නීතියේ හැටියට. හැබැයි රජෝ සහතික ටික තිබ්බට විතරක් වැඩක් නෑ. ඒව කල් ඉකුත් වෙලා නම් අළුත් කරල තියාගන්න. විශේෂයෙන් දුර ගමනක් යද්දි. මොකද බැරි වෙලාවත් සහතිකවල අවුලක් නිසා දඩයක් එහෙම ගැහුවොත් ලයිසන් එක අරන් යන්න ආයෙ ට්‍රිප් එකක් දාගෙන යන්න වෙනවා.
2. ටයර් වල තත්ත්වේ
ටයර් ටික නම් පුතෝ හරියටම තියෙන්න ඕනෙ දුර ගමනක් යනවනම්. බැරි වෙලාවත් ගෙවිච්ච ටයර් දාගෙන ගිහින් ටයර් එකක් පිපිරුවොත් ට්‍රිප් එක පැත්තකින් දාල ගෙදර එන්න තමයි වෙන්නෙ. ඒ වගේම අනිවාර්යයෙන් ස්පෙයාර් වීල් එකක් එක්ක ජැක් එකක් එහෙමත් තියගන්නම ඕනෙ. ජැක් එක තියාගන්න ඕනෙ කිව්වම ආයෙ ටූල් සෙට් එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
3. ඉඩ පහසුකම්
හිතන්න ඕන තවත් වැදගත් දෙයක් තමයි යන පිරිස කොච්චරක්ද කියන එක. ඒ ප්‍රමාණයට හරියන වාහනයක්ද ඔයාගෙ වාහනේ කියන එක පොඩ්ඩක් හිතන්න. සමහර කාර් තියෙනවා පිටිපස්සෙ තුනෙදෙනෙක්ට යන්න ටිකක් අමාරු. ඉතින් එහෙම වාහනේක යන්න පුළුවන් හතර දෙනෙක්ට විතරයි. අන්න ඒ නිසා ට්‍රැක්ටරේක සෙනඟ කාර් එකක ගෙනියන්න හදන්න එපා. ඒක යන අයටත් අමාරුයි, වාහනේටත් අමාරුයි. ලොකුම දේ ට්‍රිප් ඒකෙන් පස්සේ ගිය අයගේ දොස් අහන්නයි වාහනේ රෙපෙයාර් වලට වියදම් කරන්නයි ගියාම ට්‍රිප් එක ගියේ ඇයි කියල හිතෙන්න පුළුවන්.
4. එන්ජිමේ තත්ත්වෙ
සර්විස් එකක් ලඟදි එනවනම් දුර ගමන් යන්න කලින් සර්විස් එක කරගෙනම යන්න ට්‍රයි එකක් දෙන්න. මොකද එතකොට වාහනේ එන්ජින් ඔයිල් අර ඔයිල් මේ ඔයිල් එහෙම මාරු කරනවනෙ. ඒ වගේම කූලන්ට් එහෙමත් බැලෙනවනෙ. එතකොට බයක් නෑ. ගොඩක් වාහන කිලෝමීටර් පන්දාහෙන් සර්විස් කරනවනෙ. 4800 ක් වගේ දුවල නම් ඔන්න ඔහේ සර්විස් එකක් කරගෙනම යන්න තියෙන දුර ගමන යන්න. පොඩි ලාබයක් ගැන හිතල ලොකු අලාබයකට ඉඩ තියන්න එපා.
5. යන පළාත අනුව වාහනේ
ලංකාවෙ සමහර පළාත් තියෙනව යන්න ටිකක් දුෂ්කර. ඒවට වාහනවලින් එහෙම යන්න ටිකක් අමාරුයි. ඒ වගේම සමහර වාහන තියෙනව ඒවයින් සමහර පළාත් වලට යන්න අමාරුයි. ඒ හින්දා ඔයත් දුර ගමනක් යන්න කලින් යන ප්‍රදේශය ගැන චුට්ටක් හොයල බලන්න තමන්ගේ වාහනෙන් අදාළ ගමනාන්තයටම යන්න පුළුවන්ද බැරිද කියල. උදාහරණයක් විදිහට අඩු එන්ජින් ධාරිතාවක් තියෙන වාහනයකින් ගොඩක් ලොකු කඳු බෑවුම් තියෙන පැති වලට යන්න අමාරුයි. ඒ නිසා ඒ යන පැත්ත ගැන හිතල වාහනේ තෝරගන්න. නැත්නම් වෙන්නෙ වාහනේ මගින් දාලා ඉතුරු ටික පයින් යන්න.
6. මැප් එකක් එහෙම
දැන් තාක්ෂණය අලුත් වෙලා තියෙන නිසා නොදන්න පළාතක උනත් බය නැතුව යන්න පුළුවන්. GPS කියන්නේ නොදන්න පළාතකට දන්නවා වගේ යන්න කියාපු පහසුකමක්. මේ වැඩේ නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ අපි හිතන්නේ. ඉතින් ඔයා යන්නෙත් මීට කලින් ගිහින් නැති පළාතකට නම් ලේසියෙන්ම මැප් පහසුකම මාර්ගයෙන් පාර අහගෙන යන්න පුළුවන්. හැබයි පුතේ මැප් එක බලාගෙන පාර කියන්න හුරු නැති දෙනවනම් පොඩ්ඩක් පරෙස්සමින්. ඒ නිසා ෆෝන් හෝල්ඩර් එකක් එහෙම සෙට් කරගත්තනම් වැඩේ තවත් ලේසියි. අනික තමයි මැප් එක පාවිච්චි කරන්න ඕනේ ටිකක් සාමාන්‍ය දැනීම පාවිච්චි කරලා. එහෙම නැතුව ගියොත් කාගෙහරි ඉඩමක් උඩින් යන්න වෙන්නත් පුළුවන්.
7. යන උදවිය
දුර ගමනක් යන්න කලින් හිතන්න ඕන තව කාරණාවක් තමයි තමන් කා එක්කද යන්නෙ කියන එක. ඒ කියන්නෙ කොයි වගේ වයස් වල අයද යන්නෙ. ඒ වගේම ඒ අයට දුර යද්දි අසනීප එහෙම එනවද වගේ කාරණා. සමහරු ඉන්නවා දුර ගමන් යද්දි වමනෙ යන. ඒ වගේ අය යනවනම් ඒවට අවශ්‍ය දේවල් අරන් යන්න ඕනෙ. වයස උදවිය යනවනම් ඒ අයට උවමනා බෙහෙත් අරව මේවා ඔක්කොම ගන්න අමතක කරන්නෙපා. එහෙම නැති උනොත් වෙන්නෙ ට්‍රිප් එක මගින් නවත්තලා ආයෙ ඇවිත් ඒ දේවල් අරන් යන්න. තවත් වැදගත් දෙයක් තමයි සුරාමේරය මඳ පමණට ගන්න උදවිය එක්කනම් ගමන යන්නේ, ඩ්‍රයිව් කරන කෙනා සුරාමේරය මඳ පමණටවත් නොගන්න කෙනෙක් වෙන්න ඕනේ කියන එකත් මතක තියාගන්න. එහෙම නැතුව කට්ටියම මඳ පමණට අරන් හැටට හැටේ එද්දී පොලිසියෙන් ඇල්ලුවොත් ඉතින්. ඉතුරු ටික කියන්න ඕනේ නෑනේ. දේවල් දෙකයි වෙන්නේ. එක්කෝ පොලිස් කූඩුවේ. අනිත් එක හිතාගන්නකෝ.
Leave a Reply