ඉස්සර කැමරා එක වගේම කැමරා හැසිරවීම කියන්නේත් ලොකු දේවල්. ඒත් දැන් මොබයිල් ෆෝන් එක එක්ක අපි හැමෝටම වීඩියෝ කරන්න ගැජට් එකක් අපේ අත උඩම තියෙනවා. මේ ස්මාට්ෆෝන් එක හරහාත් ටිකක් සැලකිලිමත් වුනොත් සුපිරි වීඩියෝ ලබාගන්න අපිට හැකියි. ඒ විදිහට සුපිරි වීඩියෝ ස්මාට්ෆෝන් එකෙන් ගන්න කරන්න පුළුවන් දේවල් මොනවද? හිතන්න ඕනි දේවල් මොනවද කියා අපි ටිකක් බලමු.
1. සෙලවීම පාලනය කිරීම
ස්මාට්ෆෝන් එකකින් වීඩියෝ කරද්දි එන මූලිකම අවුලක් තමයි ශේකි, එහෙමත් නැත්නම් වීඩියෝ එක අනවශ්‍ය විදිහට ගැස්සෙන එක. දැනට නම් එන අලුත්ම ස්මාට්ෆෝන් වල මේ ශේකි ගතිය නැතිකරන්න ඉලෙක්ට්‍රොනික ක්‍රම එනවා. ඒ වගේම දැන් භෞතික ක්‍රමත් තියෙනවා. කොහොම වුනත් අපිට හැම වෙලාවෙම අදාළ උපකරණ කට්ටලයක් ෆෝන් එක එක්ක ගෙනියන්න බැහැ. යමක් වීඩියෝ කරන්නට අවශ්‍ය නම් හැකිතරම් සෙලවීම පාලනය කරලා, සෙමෙන් කැමරාව හසුරුවන්නට හැකිනම් එතනින් හොඳ වීඩියෝවක් ලබාගන්නට හැකි වේවි.
2. ගිම්බල් සහ උපකරණ පාවිච්චිය
කලින් කිව්වා වගේ මේ සෙලවීම නැත්නම් ගැස්සීම පාලනය කරන සරලම උපකරණයක් තමයි ගිම්බල් එක. දැන් නවීන තාක්ෂණයෙන් ගැස්සීම අවම කරන්න පුළුවන් සුපිරි ගිම්බල් තියෙනවා. ඒ වගේම ෆික්ස් වීඩියෝ ටයිම්ලැප්ස් ගහන්න ට්‍රයිපොඩ් මොනොපොඩ් පාවිච්චි කරන්නත් පුළුවන්. තවත් පොඩි පොඩි උපකරණ පාවිච්චි කරලා වීඩියෝ වල මෝෂන් එක ගාණකට ගන්න අද අවස්ථාව ලැබිලා තියෙනවා.
3. ආලෝකය සමග ගනුදෙනු කිරීම
ස්මාට්ෆෝනයක තියෙන කැමරාවේ සිදුර පොඩියි. ඒ වගේම සෙන්සර් එකත් පොඩියි. ඒ නිසා විශාල කැමරා වලදී වගේ ආලෝකය එක්ක ලොකු ගනුදෙනුවක් කරන්න අමාරුයි. අඳුරේදී ස්මාට්ෆෝන් වීඩියෝ වලට සීමා වැඩියි. අඳුරේ කරන වැඩකදි ටිකක් එලිය තියෙන තැනකට යන්න පුළුවන් නම් හොඳයි. දවල් වුනත් ඉවෙන්ට් එකක් තියෙද්දි අඩු ආලෝකයෙදි ගන්නේ නැතිව සාමාන්‍ය ආලෝකය තියෙන එළිමහනකට යන්න පුළුවන් නම් හොඳයි. ස්මාට්ෆෝන් හැම එකකදිම වගේ වඩාත් ලස්සන දර්ශන එළිමහනේදි තමයි ලබා දෙන්නේ. එළිමහනෙදි වුනත් සමහර අවස්ථාවල එළිය එන දිහාව, එළියේ තීව්‍රතාවය වගේ දේවල් ගැන සැලකිලිමත් වුනොත් වීඩියෝ එකට ආලෝකයෙන් එන අවුල් ටික මගහැරගන්න පුළුවන්.
4. සූමින් (Zooming) ගැන සැලකිලිමත් වීම
අපි කැලේකට හෝ වනෝද්‍යානයකට ගියොත් සතුන්ගේ පොටෝ ගහන්න හැකි වුනත් සත්තුන්ගේ වීඩියෝ වගේ ගන්න ස්මාට්ෆෝන් එකෙන් අමාරුයි. ස්මාට්ෆෝන් එකේ සූමින් වලදි ගොඩක් වෙලාවට වීඩියෝ කොලිටි එක අඩු වෙනවා. ෆෝන් එකෙන් වීඩියෝ කරද්දි පුළුවන් තරම් අපි රූපගත කරන වස්තුවට ආසන්න වුනොත් ඒක ඈතින් ඉඳන් කැමරා කරනවාට වඩා සාර්ථකයි. ආසන්න කරන්න කිව්වාම යමෙක්ගේ ඉන්ටවිව් එකක් ඔහුගේ නාසය ළඟ සිට වීඩියෝ කරන එක යුතු නැහැ. යම් දුරක් තියාගෙන ඒ කටයුත්ත කරන්නට ඕනෙ. ෆෝන් කැමරාවල සූමින් තත්ත්වය හොඳ නැති බවත් හිතේ තියාගෙන වැඩ කරන්නට ඕනෙ.
5. පෝස්ට් ප්‍රොඩක්ශන්
දැන් කාලේ ගෑණු ළමයින්ගේ රූපලාවන්‍ය ක්‍රමත් ආකාර දෙකක් වෙනවා. එකක් මේකප් ආදී මුහුණට, සමට ආලේප කරමින් කරන සත්කාරවලින්. අනෙක් පසින් ස්මාට්ෆෝන් පොටෝ, වීඩියෝ ගනිද්දි කරන වෙනස්කම් ආදියෙන් ගෑණු ළමයි ලස්සන කරනවා. ඒ වගේ වීඩියෝ කරද්දිත් පෝස්ට් ප්‍රොඩක්ශන්, නැතිනම් පසුව කරන එඩිට් කිරීම් වැදගත් වෙනවා. iOS තියෙන ෆෝන් වල නම් අයිමූවි කියලා සරල ඇප් එකක් එනවා. මොබයිල් වීඩියෝ හොඳට හදාගන්න එක ඇඩෝබි ප්‍රිමියර්, පිනකල් (Pinnacle), ෆිල්මෝරා (Filmora) වගේ ඇප්ලිකේශන් වලිනුත් කරගන්න පුළුවන්. කොහොම වුනත් ෂූටින් කරද්දි තියෙන අවුල් ටික වහලා වඩාත් ආකර්ෂණීය විදිහට යමක් ඉදිරිපත් කරන්න මේ වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් වලින් ලොකු දායකත්වයක් ලැබෙනවා.
6. ඕඩියෝ ගැන සැලකිලිමත් වීම
ෆෝන් එකක ඕඩියෝ මයික් එක පොඩියි. වීඩියෝ වලදි මුහුදු වෙරළ, ෆැක්ටරි, වෙළඳපොල ආදී ඝෝෂාකාරී තැන්වලදි අපිට අවශ්‍ය කරන ශබ්ද නොඇසී යන්නට ඉඩ කඩ තියෙනවා. ඒ වගේ වෙලාවට උවමනා නම් මයික් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම යම් ට්‍රැවල් වීඩියෝවක් වගේ කරනවා නම් හොඳ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් මෘදුකාංගයක් හරහා දැම්මොත් ඒහරහාත් වීඩියෝ එකට ගැම්මක් එනවා. වීඩියෝ කියන්නේ ඕඩියෝත් ඇතුළත් මාධ්‍යයක්. රූගත කිරීමක් කරද්දි අවට ශබ්ද, රූපගත කරන අපේ ශබ්ද සහ අපිට අවශ්‍ය කරන ශබ්ද ගැන අයිඩියා එකකින් ඉන්න එක වටිනවා.
7. වීඩියෝ එක දාන්නේ කොහේද?
දැන් ගොඩක් ෆෝන් වල 4K තරම් විශාලවට වීඩියෝ කරන්න පුළුවන්. ඒත් තාමත් යූ ටියුබ් වලට නම් 1080P 60fps වගේ මට්ටමක් ප්‍රමාණවත්. ඉන්ස්ටග්‍රෑම්, වට්සැප්, ෆේස්බුක් වගේ දේවලට නම් කෙලින් කරන වර්ටිකල් ෂූටින් වුනත් වැදගත්. අපි ෆෝන් එකකින් කරන වීඩියෝව බලන්නේ තවත් ෆෝන් එකකින්ම නම් වීඩියෝව උඩ අතට වීඩියො කළා කියලා ලොකු අවුලක් නැහැ. ස්ලෝ මෝෂන් කරලා වීඩියෝව ලස්සන කරන්න අදහස් කරගෙන ඉන්නවා නම් ෆ්‍රේම් රේට් එක වැඩිකරලා වීඩියෝ කරන්න පුළුවන්. වීඩියෝ කරද්දි අපි ඒක ඔන්ලයින් එවෙලෙම ස්ටෝරි විදිහට දෙනවද? එහෙම නැතිනම් පස්සේ එඩිට් කරනවාද? යූටියුබ් දානවද? එහෙම නැතිනම් නිවුස් චැනල් එකකට හෝ වෙනත් තැනකට දෙනවාද යන දේ අනුව වීඩියෝ එක රූපගත කිරීම් වෙනස් වෙනවා.
CCTV කැමරාවකින් එන වීඩියෝ දිහා අපිට වැඩි වෙලාවක් බලන් ඉන්න අමාරුයි. මොකද එකම දේ නැවත නැවත එකම මට්ටමකින් අපිට පේන නිසා. ඒත් යූටියුබ් එකේ විවිධ වැඩ කෑලි දාලා තියෙන ඇතැම් වීඩියෝ අපිට කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ. අපි වීඩියෝ කරන කාර්යයේ තියෙන රසය, ආකර්ෂණීය බව වගේම අපි වීඩියෝ කරන ආකාරය, එය නිම කරන ආකාරය අනුව වීඩියෝවක ආකර්ෂණය වැඩි වෙනවා. හැමෝටම කැමරා තිබුනාට හැමෝටම ලස්සනට පොටෝ ගහන්න බැහැ. ඒ වගේ ස්මාට්ෆෝන් තිබුනත් වීඩියෝ කලාව ගැන යම් හෝ අත්දැකීමක් තියෙන අයට අනෙක් අයට වඩා ආකර්ෂණීය වීඩියෝ හදාගන්න පුළුවන්. ඉතින් ටිකක් කාලේ අරගෙන ඔයාලත් මොබයිල් වීඩියෝ ගැන වගේම වීඩියෝ කරන හැටි සහ එඩිට් කරන හැටි ගැන ටිකක් ඉගෙන ගත්තොත් ඔයාලටත් ස්මාට්ෆෝන් එකෙන් සුපිරිය කියන්න පුළුවන් වීඩියෝ හදාගන්න හැකි වේවි.
Leave a Reply