ලංකාවේ ප්ලොට් සංවිධානය සිදු කළ මාලදිවයින ආක්‍රමණය

මේ ආක්‍රමණය අසාර්ථක වීම නිසා මේ පිළිබඳව වැඩි යමක් අද කතා බහට ලක් වෙන්නේ නෑ. නමුත් මෙම ආක්‍රමණය ව්‍යාර්ථ කිරීම ඉන්දියානු හමුදා ලද විශිෂ්ටතම ජයග්‍රහ​ණයක් විදිහට සලකනවා. ඒ වගේම ලංකාව නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලාංකිකයන් විසින් සිදු කරන ලද පළමු සහ එකම ආක්‍රමණය විදියටත් මේ ආක්‍රමණය සලකන්න පුළුවන්.

 

1. ප්ලොට්

මුලින්ම අපි ප්ලොට් සංවිධානය ගැන පොඩි අදහසක් ලබා ගනිමු. ප්ලොට් සංවිධානය ආරම්භ කරන්නේ උමා මහේශ්වරන් විසින්. මුලදී ඔහු එල්ටීටීඊ ප්‍රබල සාමාජිකයෙකු වුණත් පසු කාලයකදී ප්‍රභාකරන් සමඟ ඇතිවන මතභේද නිසා ඉන් ඉවත් වෙනවා. ඉන්දියාවේ දී ප්‍රභාකරන් සමඟ වෙඩි හුවමාරුවකත් ඔහු නිරත වෙනවා. මේ මාලදිවයින් ආක්‍රමණය සංවිධානය කිරීමට උමා මහේෂ්වරන් මැදිහත් වුණත් ඔහු ඒ සඳහා සහභාගි වුණා කියන්න නම් සාධකයක් නැහැ. මුල් කාලයේදී ප්ලොට් සංවිධානයට ආධාර උපකාර ලැබෙන්නේ ඉන්දියාව මගින්. මේ නිසා මේ මාලදිවයින ආක්‍රමණය අසාර්ථක කිරීමට ඉන්දියාව මැදිහත් වුණත් ප්ලොට් සංවිධානයට දැඩි පීඩනයක් එල්ල කිරීමට ඉන්දියාව උත්සාහ කරන්නේ නැහැ. උමා මහේෂ්වරන්ගේ ඝාතනයත් සමඟ ප්ලොට් සංවිධානය කෙමෙන් කෙමෙන් දුර්වල වී යනවා. අද වෙන කොට එම සංවිධානය දේශපාලන පක්ෂ විදිහට දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.

 

2. අබ්දුල්ලා ලුතිෆි 

ප්ලොට් සංවිධානය​ට මෙම ආක්‍රමණය සිදු කිරීමට අවශ්‍ය පසුබිම හදලා දීපු පුද්ගලයා විදිහට චෝදනා ලබන්නේ අබ්දුල්ලා ලුතිෆි. උපතින් මාලදිවයින් ජාතිකයකු වුණු අබ්දුල්ලා ඒ වන විට ලංකාවේ කුකුළු ගොවිපළ කර්මාන්තය නිසා ප්‍රකෝටිපතියෙක් බවට පත් වුණු අයෙක්. ඇතැම් වාර්තාවලට අනුව මාලදිවයින් ආක්‍රමණය පිළිබඳව මුල්ම අදහස ඔහුගේ. ඔහුගේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ අබ්දුල් ගයුම්ව බලයෙන් පහ කිරීමෙන් පසුව ඒකාධිපති පැරණි පාලන තන්ත්‍රය තුළින් මාලදිවයින පාලනය කිරීමට. තවත් සමහර වාර්තා වලට අනුව මාලදිවයින් ආක්‍රමණය ගැන අදහසක් සමග ලුතිෆිව මු​ණ ගැසෙන්න එන්නේ උමා මහේෂ්වරන්.

 

3. ආක්‍රමණය සිදු කිරීම

මෙම මාලදිවයින ආක්‍රමණයට ප්ලොට් සංවිධානයේ සාමාජිකයන් අසූවක පමණ පිරිසක් සහභාගි වෙලා තියෙනවා. 1988 නොවැම්බර් 03 වෙනි දින යාත්‍රා කීපයක් මගින් මාලේ නුවරට ගොඩ බසින ඔවුන් පැය කීපයක් තුළ අගනුවර මරමස්ථාන වල සිය බලය තහවුරු කර ගන්නවා. ගුවන් තොටුපළ, රූපවාහිනිය ඒ අතරින් ප්‍රධානයි. ඒ වගේම ඇතැම් සාමාජිකයන් තමන්ගේ බලය තහවුරු කර ගැනීමට වඩා මාලේ නුවර කොල්ල කෑමට වැඩි උනන්දුවක් දක්වනවා. එවකට එතරම් ධනවත් නගරයක් නොවුණු නිසා ඔවුන්ගේ මූලික අවධානය යොමු වන්නේ ගුවන් තොටුපළ ආශ්‍රිතව පැවතුණු තීරු බදු රහිත සුපිරි වෙළඳ සැල් වලටයි.

 

4. අබ්දුල්ලා ගයුම්

මෙම ආක්‍රමණය අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වෙන්නේ කුලී හේවායින් හට ජනාධිපති ගයූම්ව අත්අඩංගුවට ගැනීමට නොහැකි වීමයි. මෙම ආක්‍රමණය ගැන සැලවීමත් සමගම ජනාධිපති මන්දිරයෙන් පිටව​න ගයුම්, තම රටවැසියන්ගේ නිවසෙන් නිවසට පලා යමින් ආරක්ෂාව ලබා ගන්නවා. ඒ අතරතුර කාලයේදී ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඉන්දියාව යන රටවලින් ඔහු උදව් අපේක්ෂා කරනවා. එක්සත් රාජධානියෙන් සහ ඇමරිකා එක්සත් ජනපදයෙන් නම් ඔහුට සුබවාදී පිළිතුරක් ලැබෙන්නේ නැහැ. නමුත් ඔහු ඉන්දියාව කෙරෙහි දැඩි  විශ්වාසයක් තබා ගනිමින් තැනින් තැනට මාරු වෙනවා.

 

5. ඔපරේෂන් කැට්කස්

1988 නොවැම්බර් තුන්වන දින, අබ්දුල් ගයුම්ගේ ඉල්ලීමෙන් පැය නවයකට පසුව ඉන්දියානු ගුවන් හමුදාව මාලේ නුවරට ළඟා වෙනවා. පැරෂුට් භටයන්ගෙන් සහ ගුවන් හමුදා නිලධාරීන්ගෙන් සමන්විත වන මෙම භට කණ්ඩායම පැය කීපයක් තුළ මාලේ නුවර බලය තහවුරු කරගැනීමට සමත් වෙනවා. මේ සමග ඇති වන සටන්වලදී ආක්‍රමණිකයන් වැඩි පිරිසක් මිය යනවා. මාලේ නුවර තිබූ යාත්‍රා කිහිපයක් ආධාරයෙන් ශ්‍රී ලංකාව දෙසට පලා යාමට ඔවුන් උත්සාහ කළත් ඉන්දියානු නාවික හමුදාව විසින් ඔවුන් ලුහු බඳිමින් ප්‍රහාර එල්ල කරනවා. ඉන් පිරිසක් මිය යන අතර ඉතිරි කොටස ඉන්දීය නාවික හමුදාවට යටත් වෙනවා.

 

6.  ප්‍රතිඵල 

මෙම ආක්‍රමණය ඉන්දීය හමුදාව විසින් මැඩ පැවැත්වීම නිසා මුළුමහත් ලෝකයේම ගෞරවාදරය ඉන්දියාවට හිමි වනවා. මුල් අවස්ථාවේ දී ගයූම්ට ආධාර ලබා දීමට උනන්දුවක් නොගත් ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කිරීම ගැන ඉන්දියාවට සිය ප්‍රශංසාව පළ කරනවා. මින් පසුව ඉන්දියාව සහ මාලදිවයින අතර සම්බන්ධතා තර වන අතර ඉන්දීය හමුදාවේ ආරක්ෂාව තවදුරටත් ලබා ගැනීමට මාලදිවයින කටයුතු කරනවා. මෙම සම්බන්ධතාවය ඉතා මෑතක් වන තුරු ශක්තිමත්ව පැවති අතර මාලදිවයින දැන් චීනය සමඟ සම්බන්ධතා ඇති කර ගැනීම නිසා, එහි යම් දුරස්ථ බවක් ඇතිව තිබෙනවා.

 

7. කුමන්ත්‍රණය සාර්ථක වූවා නම්… 

යම් විදියකින් මෙම කුමන්ත්‍රණය සාර්ථක වූයේ නම් ලුතිෆි මාලදිවයින තුළ ඒකාධිපති පාලනයක් ඇති කිරීමට මෙන්ම ප්ලොට් සංවිධානයට දූපත් කිහිපයක බලය ලබා දෙන්නටද වාචික පොරොන්දුවක් ලබාගෙන තිබූ බව පැවසෙනවා. එසේ වූයේ නම් කුමන්ත්‍රණයක් මගින් ව්‍යාපාරිකයෙක් රටක බලය අල්ලා ගැනීම පිළිබඳව නිදර්ශනයකුත් ලෝක ඉතිහාසයට එකතු වන්නට ඉඩ තිබුණා. ඒ වගේ ම සමහරවිට මුළු මහත් දකුණු ආසියානු කලාපයම අස්ථාවර වීමට මෙම සිදුවීම බලපානු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කරනවා.

 

එහෙමනම් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *