ඉන්දියාව කියන්නේ සෙකියුලර් රටක්. ඒ කියන්නේ ඉන්දියාවේ ව්‍යවස්ථාව මගින් රජය හරහා ආගමකට විශේෂයෙන් සැලකීමක් නැහැ. බිලියනයකට වැඩි ජනතාවක් වෙසෙන ඉන්දියාවේ එයින් මිලියන දෙසීයකට වඩා මුස්ලිම්වරුන් ඉන්නවා. සුද්දා පාලනය කරපු බ්‍රිතාන්‍ය ඉන්දියාව දැන් කොටස් තුනකට කැඩිලා. පාකිස්ථානය සහ බංග්ලාදේශය මුස්ලිම් ජනවර්ගයේ ජනතාව විසින් වෙනමම රටවල් විදිහට වෙන්කර ගැනීමත් එක්ක බ්‍රිතාන්‍ය ඉන්දියාව දෙකඩ සහ තුන්කඩ වුනා. සුළු සුළු ගැටුම් තිබුනත්, ඉන්දියාව දශක 7ක් තිස්සේ සාමකාමීව ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට ලෙස ආරක්ෂා වුනා. ඒත් ඉන්දියාවේ අලුතින් නිර්මාණය වෙන වටපිටාවත් එක්ක ඉන්දියාවේ ස්ථාවරත්වය ගැන සැක සංකා මතුවෙලා තියෙනවා.
1. මොකක්ද මේ පනත?
ඉන්දියාවට යාබද රටවලින් ආපු සරණාගතයෝ ගොඩක් ඉන්නවා. ඒ ඇතැම් අයට කාලයක් ගත වෙලාත් පුරවැසිභාවය ලැබිලා නැහැ. මේ අය අතරින් වසර පහකට ඉහත දී පැමිණි හින්දු, සික්, බෞද්ධ, ජෛන සහ පාර්සි අයට පුරවැසි භාවය ලබා දෙන්න පනතක් ඉන්දියාවේ පාර්ලිමේන්තුව 2019 දෙසැම්බර් 11 වෙනිදා සම්මත කරගත්තා. සියළුම ජාතිකයින්ට සම ලෙස සලකනවා යැයි ව්‍යවස්ථාවෙන්ම පිලිගන්නා ඉන්දියාවේ මේ අලුත් පනතින් මුස්ලිම් අයට අවාසියක් වෙනවා. වෙනත් රට වලින් පැමිණි මුස්ලිම් ජනයාට මේ පනත හරහා පුරවැසිකම ලැබෙන්නෙ නැහැ. මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා මූලික අයිතිවාසිකම් කඩවන පනතක් විදිහට අදහස් දක්වලා තිබුනා.
2. නැශනල් රෙජිස්ටර් ප්රශ්නය
ඉන්දියාව 2014 අවුරුද්දේදි බංග්ලාදේශයට උඩින් තියෙන ඇසෑම් ප්‍රාන්තයේ පුරවැසියන් පිළිබඳ රෙජිස්ටර් එකක් හැදුවා. නැෂනල් රෙජිස්ටර් ඔෆ් සිටිසන් කියලා හඳුන්වපු ඒ පුරවැසි රෙජිස්ටරය අනුව බංග්ලාදේශයෙන් සංක්‍රමණය වුණු මිනිස්සු මිලියන 1.9ක් රටක් ජාතියක් මොකුත් නැතුව ඉන්දියාවේ ඇසෑම් සහ ඒ යාබද පළාත්වල ජීවත්වෙනවා කියලා හොයාගත්තා. මේ බෙංගාලි හින්දු මිනිස්සු ඡන්දේ දෙන්නේ හින්දු මූලධර්මවාදයට ලැදි භාරතීය ජනතා පක්ෂයටයි. අමතර බංගලිදේශයෙන් ආ මුස්ලිම් සහ සික් ජාතිකයින් බොහෝවිට කොංග්‍රසයට ලැදි අය. ඉතින් මේ අලුතින් ගෙනාපු පුරවැසි පනතින් තමුන්ගේ ඡන්ද පදනම වඩාත් ශක්තිමත් කරගන්න උත්සාහ කරනවා කියලත් පවතින රජයට චෝදනාවක් එනවා.
3. විරෝධතා
ඇසෑම් කියන්නේ මේ සම්බන්ධයෙන් මුලින්ම විරෝධතා හටගත්ත ප්‍රාන්තය. ඇසෑම් බංගලිදේශයට උඩින් තියෙන නිසා කොහෙවත් යන බංගලි කාරයෝ ඇවිල්ලා අපේ ඉඩකඩම්, ව්‍යාපාර සහ වපසරිය භුක්ති විඳින්න ගනීවිය කියලා ඇසෑම් සහ යාබද මනිපුරි, ත්‍රිපුර ආදී වැසියන් බයවෙලා තිබුනා. ඔවුන් මේ සිද්ධිය සරලව දැක්කේ නැහැ. පැවැත්වුණු උද්ඝෝෂණ වළක්වන්න ආණ්ඩුවට බැරිවුණු තැන ඇසෑම් සහ යාබද පළාත්වල අන්තර්ජාලය අවහිර කරන්නට සිද්ද වුනා. ඒ වගේම පොලිස් සහ හමුදා කණ්ඩායම් යොදවලා උද්ඝෝෂකයින්ට සලකන්නත් රජය ක්‍රියාකළා.
4. රට වටා විරෝධතා
බෙංගාලයේ මම්තා බැනර්ජි මහ ඇමතිනිය ප්‍රසිද්ධියේම මේ පනතට විරුද්ධව පාරට බැහැලා උද්ඝෝෂණ කළා. චෙන්නයි, ලක්නව්, මුම්බයි, දිල්ලි ආදී සෑම ප්‍රදේශයකම මේ නව පනතට උද්ඝෝෂණ ඇති වෙන්නට ගත්තා. එයින් දිල්ලි වල අලි ගර් සරසවියේ සිසුන්ගේ උද්ඝෝෂණය මැඩ පවත්වන්න පොලිසිය තදින් බලය පාවිච්චි කරලා තිබුනා. ඒ ගුටිබැට හුවමාරු, බලය යෙදවීම් වලින් කිහිප දෙනෙක් මිය ගිහිනුත් තිබුනා. විරෝධතා වැඩි වුනත් මේ පනත අකුලාගන්න ඉන්දීය රජය ක්‍රියාකළේ නැහැ. ඔවුන් විරෝධතා පවත්වන්නේ සුළුතරයක් බවත්, සිය රටේ වෙසෙන මුස්ලිම්වරුන්ට මෙය ගැටළුවක් නොවන බවත් පුන පුනා ප්‍රකාශ කරන්නට වුනා.
5. හැලුණු ලංකාවේ පිරිස
ලංකාවේ කලබල තිබුන අසූ ගණන් වල ලංකාවෙන් ගිය ලක්ෂයකට ආසන්න පිරිසක් තමිල්නාඩුවේ තවමත් ඉන්නවා. ඔවුනුත් අයිතිවෙන්නේ සරණාගතයින් විදිහට. ඒත් මේ අලුත් පනතින් ඒ දමිළ, හින්දු සරණාගතයින් ගැන ලොකු සඳහනක් නැහැ. මෙය හුදෙක් ලංකාවේ සරණාගතයින්ද අමතක කර අන්තවාදී හින්දු ඡන්ද පදනම ශක්තිමත් කරන්න ගහපු දේශපාලන ගැටයක් කියලා විදෙස් මාධ්‍යවලත් මේ ගැන කතා වෙලා තිබුණා.
6. ඉන්දීය රජය ඇත්ත ප්‍රශ්න හංගනවාද?
ඉන්දියාවේ ආර්ථිකය මේ දවස් වල අවුල්. 2018 වර්ෂයේ සිට වසර ගාණක් තිස්සේ 8% කට ආසන්න ආර්ථික වර්ධන වේගයක් තිබුණා. ඒත් දැන් දැන් ඒ ආර්ථික වර්ධන වේගය අඩු වෙලා. ඉන්දියාවේ ඒ එක්ක විරැකියාවත් සැරටම වැඩි වෙලා. ඉන්දියාවේ විරැකියාව සහ ආර්ථිකය බොහෝම කාලෙකින් පත්විය හැකි නරකම තැනක දැන් තියනවාය කියලා ආර්ථික විශේෂඥයින් මත පළකරලා තියෙනවා. ඔවුන්ගේ මේ ආර්ථික පීඩනය වසාගන්න හින්දු ජනයා පිනවන මේ නව පුරවැසි පනත වැනි දේ යොදාගන්නවා කියලත් විපක්ෂයේ දේශපාලකයින් චෝදනා කරනවා.
7. මුස්ලිම් විරෝධය
පහුගිය කාලේ පාකිස්ථානය සමගත් අනවශ්‍ය අන්දමින් පැටලෙන්නට අවස්ථා කිහිපයකදී ඉන්දියාව ක්‍රියා කළා. ඒ වගේම කාශ්මීරයේ මුස්ලිම්වරුන්ගේ ගැටුම් නිසා මාසයකටත් වඩා වැඩි කාලයක් තවමත් කාශ්මීරයේ මාධ්‍ය හෝ අන්තර්ජාලය නැහැ. ඔවුන් ලොවෙන් හුදකලා වූ ජීවීන් විශේෂයක් ලෙස කාශ්මීරයේ ජීවත්වෙනවා. ඉන්දියාවේ ජනගහණයෙන් ආසන්නව මුස්ලිම්වරුන් හයෙන් එකක් වුවත් මුස්ලිම්වරුන් ඉන්දීය පාර්ලිමේන්තුව සහ දේශපාලනය නියෝජනය කරන්නේ අඩුවෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 542ක් අතරින් මුස්ලිම් මන්ත්‍රීවරුන් සිටින්නේ 27ක් පමණයි. එයිනුත් පාලක භාරතීය ජනතා පක්ෂයේ එකම මුස්ලිම් නියෝජිතයෙක්වත් පත් වෙලා තිබුනේ නැහැ. හින්දු මූලික ඡන්ද පදනමක් තියෙන වර්තමාන භාරතීය ජනතා පක්ෂ රජය ආගමික අන්තවාදී ස්වරූපයකින් මුස්ලිම් ජනතාව දෙවැනි තැනට ඇද දමමින් යන බවක් විදෙස් මාධ්‍යවල පවා නිතර සඳහන් වෙනවා.
ඉන්දියාව කියන්නේ මිනිස්සු වැඩිම රටක්. බංග්ලාදේශය ගත්තොත් ලොව විශාලතම ජන ඝනත්වය සහිත රට බංග්ලාදේශය. මිලියන ගණනක රටක් නැති මිනිසුන් මේ ඉන්දීය දේශසීමාවල ජීවත් වෙනවා. එක් පසෙකින් ඒ අයට සාධාරණයක් කරන්න මේ ආකාරයේ පුරවැසි පනතක් වැදගත් වෙනවා. ඒත් ජාතීන් ලෙස වෙන වෙනම සැලකීම නම් ඉන්දියාව වගේ සුවිශාල රටකට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. ඉන්දියාව රට තුල යම් විදිහකින් ගැටුම්කාරී වාතාවරණයකට ආවොත් එයින් ඉන්දියා රටට වගේම අපි ඉන්න දකුණු ආසියාවටම නිර්මාණය වෙන්නේ එච්චර හොඳ තත්ත්වයක් නම් නෙමෙයි.
Leave a Reply