ජලය කියන්නේ පෘථිවියට විශේෂ දෙයක්. මේ මහා විශ්වයේ කොතැනකවත් පෘථිවියේ වගේ ජලය තිබෙන බවට දැනට හොයාගෙන නැහැ. ඒ ඇතැම්විට ජලය වගේ පේන්න තිබුනත් ඇමෝනියා, මීතෙන් වගේ දේවල් වෙන්න පුළුවන් කියලා තමයි විද්‍යාඥයො කියන්නේ. ඉතින් ඒ පෘථිවියට තියෙන ජලය පෘථිවි ජීවයට පුදුමාකාර විදිහට වැදගත් වෙනවා. මේ ජලය මිනිසාටත් වැදගත්. මිනිසාගේ ජල කළමනාකරණ හැකියාව නිසා අද වෙනකොට ලෝකේ බිලියන 8ක ජනගහණයට නවාතැනක් වෙලා තියෙනවා. මේ ජලය විදුලිය නිපදවාගැනීමට, පාවිච්චියට සහ ගංවතුර සහ මුහුදු කෑමෙන් ආරක්ෂා වෙන්න නිම කරලා තියෙනවා. අපි ඒ විදිහට ලෝකේ තියෙන විශාලතම ජල පරිමා රඳවාගන්නා වේලි කිහිපයක් ගැන සොයා බලමු.
1. කරිබා – සිම්බාබ්වේ (Kariba Dam, Zimbabwe)
රඳවාගත හැකි ජල ප්‍රමාණය අනුව සලකා බලනකොට ලෝකේ විශාලතම ඩෑම් එක විදිහට සැලකෙන්නේ කරිබා ඩෑම් එක. මේකේ ඝන මීටර බිලියන 185ක තරම් විශාල ජල ප්‍රමාණයක් රඳවාගන්න හැකියි. මේ ජලාශයේ වතුරට යට වෙන භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 5580ක් වෙනවා. දිගින් කිලෝමීටර 280ක් තරම් දුර පැතිරෙන මේ කරිබා ජල තලාව ඇතැම් තැනකදී කිලෝමීටර 32ක් පමණ පලළයි. මේ සුවිශාල ඩෑම් එක 1958-1959 කාලේ සෙම්බසි ගඟ හරස් කරලා ඉතාලි ජාතිකයො තමයි ඉදිකරලා තියෙන්නේ. එයින් වසර දසදාස් ගාණක් තිස්සේ සිම්බාබ්බේ දේශයට බලපෑ ගංවතුර තත්ත්වය වළකාගන්න හැකි වුනා. මෙහි ඩෑම් එක පමණක් සැලකුවාම එය මීටර 128ක් උසයි. ඒ වගේම මීටර 617ක් දිගයි. මේ තුලින් ජල විදුලියත් මෙගාවොට් 1470ක් පමණ නිපදනවා. මේ සුවිශාල ජලාශය සිම්බාබ්වේ වගේම සැම්බියා රටෙත් සම්පූර්ණ විදුලි අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් සපුරාලනවා.
2. බ්‍රට්ස්ක් වේල්ල – රුසියාව (Bratsk Dam, Russia)
ඝන මීටර බිලියන 169ක් ජලය රඳවාගන්නා මේ බ්‍රට්ස්ක් ඩෑම් එක රුසියාවේ සයිබීරියාවේ පිහිටලා තියෙනවා. මේ මගින් වර්ග කිලෝමීටර 5540ක් ජලයෙන් යට වෙනවා. මේ ඩෑම් එක 1954-64 කාලේ සෝවියට් දේශය කාලේ නිම වූ එකක්. මීටර 125ක් උස මේ ඩෑම් එක දිගින් මීටර 1452ක් හෙවත් කිලෝමීටරයකටත් වඩා වැඩි දිගකින් යුක්තයි. මේ බැම්ම උඩින් කෝච්චි පාරක් වගේම අධිවේගී මාර්ගයකුත් තියෙනවා. මේ මගින් මෙගාවෝට් 4500ක තරම් විශාල විදුලියක් ජනනය කරන්නත් හැකියාව තියෙනවා.
3. අක්සොම්බෝ වේල්ල – ඝානාව (Akosombo dam, Ghana)
ඝානාවේ පිහිටලා තියෙන මේ වේල්ල වෝල්ටා නදිය හරස් කරලා හදලා තියෙනවා. මේ වේල්ල මගින් වර්ග කිලෝමීටර 8500ක භූමියක් ජලයෙන් වහනවා. මේ ජලයෙන් වහන වපසරිය අනුව මේ වේල්ල විශාලතම ජල තලාව නිර්මාණය කරන වේල්ල ලෙස සැලකෙනවා. මෙහි බිලියන 144ක ජල පරිමාවක් රඳවා තබා ගන්නවා. මීටර හත්සීයක් දිග මේ වේල්ල මීටර 134ක් උසයි. 1961-66 කාලේ නිමි වුණු මේ වේල්ලෙන් මූලික වශයෙන් විදුලිය නිපදවීම අදහස් කෙරුණා. ඒ වගේම ලක්ෂ තුනක ජනතාවගේ ධීවර අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චි කරන එකත් මේ වේල්ල ඉදිකිරීමේ එක් අරමුණක් වුනා. මේ වේල්ල මගින් මෙගාවොට් 128 බැගින් වූ ජෙනරේටර 6කින් විදුලිය නිපදවනවා.
4. ඩැනියෙල් ජොන්සන් වේල්ල – කැනඩාව (Daniel-johnson dam, Canada)
ඩැනියෙල් ජොන්සන් ඩෑම් හෙවත් මනික් ඩෑම් කියලා හඳුන්වන පද්ධතියේ වේලි 5ක්ම තියෙනවා. එයින් මනිකෝගන් නදිය හරස් කරලා ඝන මීටර බිලියන 139ක් ජලය රඳවා ගන්නවා. එහි ජල තලාව වර්ග කිලෝමීටර 1973ක් පමණ වසාගන්නවා. මෙහි වේල්ල මීටර 1310ක් දිගයි. එහි උස මීටර 213ක්. මේ වේල්ල හදන්න ඝන මීටර මිලියන 2.2ක කොන්ක්‍රීට් වැය වෙලා තියෙනවා. 1959-68 කාලේ ඉදිවුන මේ වේල්ල මගින් ජල විදුලිය නිපදවීම මුලික අරමුණක් වුනා. මේ හරහා තිබෙන ටර්බයින 12කින් මෙගාවොට් 2660ක් විදුලි ඒකක නිෂ්පාදනය කරන්නට හැකියාව තියෙනවා.
5. ගුරි වේල්ල – වෙනිසියුලාව (Guri dam, Venezuela)
ඝන මීටර බිලියන 135ක ජලය රඳවාගන්න පුළුවන් මේ ගුරි වේල්ලෙන් ගුරි විල හැදෙනවා. එය වර්ග කිලෝමීටර 4000ක් පුරා පැතිරෙනවා. මෙහි වේල්ලේ දිග මීටර 1300ක්, උස මීටර 16ක්. මෙයින් වෙනිසියුලාවට අවශ්‍ය විදුලිය අවශ්‍යතාවෙන් බාගෙකටත් වැඩිය සපුරනවා. මේ වේල්ල 1963-1986 දක්වා කාලේදී ඉදි කළා. ඉදිකරන අවස්ථාවේ ගුරි වේල්ලෙන් ගිගාවොට් 10ක් තරම් සුවිශාල ධාරිතාවයකින් විදුලිය නිපදවන්න හැකියාව තිබුනා.
6. අස්වන් හයි වේල්ල – ඊජිප්තුව (Aswan high, Egypt)
ඊජිප්තුව කියන්නේ පුරාතනයේ ඉඳලා නයිල් නදිය එක්ක ගනුදෙනු කළ ජාතියක්. නයිල් නදිය හරහා නසර් විල නිර්මාණය කරන මේ ඩෑම් එකෙන් ජලය ඝණ මීටර බිලියන 132 ක විලක් නිර්මාණය කරනවා. ඊජිප්තු ඉංජිනේරුවෝ රුසියාවේ දායකත්වයත් එක්ක 1960-68 කාලේ මේ සුවිසල් නිර්මාණය කරලා තියෙනවා. මෙයින් ටර්බයින් 12කින් මෙගාවොට් 2100ක විදුලියක් නිපදවන්න පුළුවන්. මේ ඩෑම් එක හරහා වැඩ කිපයක්ම වුනා. එකක් සුඩානයට ගංවතුර වැළැක්වීම. අනෙක තමයි විදුලිය නිපදවීම. ඒ වගේම මේ ජලාශය නිසා නයිල් නදිය හරහා ගමනාගමනයත් පහසු වුනා. මීටර 111ක් උස මේ වේල්ල මීටර 3890ක් තරම් දිගයි.
7. ඩබ් ඒ සී බෙනට් වේල්ල – කැනඩාව (W.A.C Bennett dam, Canada)
බෙනට් ඩෑම් එක බ්‍රිටිශ් කොලම්බියා වල පීස් නදිය හරහා ඉදිවෙලා තියෙනවා. එයින් ජලය සැපයෙන විල්ස්ටෝන් විලෙන් ඝන මීටර බිලියන 74ක් ජලය රඳවාගන්නවා එහි ජල තලාව වර්ග කිලෝමීටර 1773ක් පුරා පැතිරිලා තියෙනවා. මූලික වශයෙන් ජල විදුලිය ඉලක්ක කරගත් මේ සුවිසල් ඩෑම් එක මීටර 183ක් උසට, මීටර 2068ක් තරම් දුරට පිහිටලා තියෙනවා. මෙය 1961-67 කාලේ ඉදිකරලා තියෙනවා. ජී එම් ශ්රුම් බලාගාරය හරහා මේ වේල්ලෙන් මෙගාවොට් 2790ක විදුලිය නිපදවාගන්නට හැකිවෙලා තියෙනවා.
ජලය ගොඩාක් එක්රැස් කරන විශාලතම ජල තලා නිර්මාණය කරන වේලි මගින් මූලික වශයෙන් ජල විදුලිය නිපදවාගන්න එක අපේක්ෂාව වෙලා තියෙනවා. මේ මගින් වර්ග කිලෝමීටර දහස් ගාණක් වසා අලුත් ජලතලාත් නිර්මාණය කරලා තියෙනවා. මේ ආකාරයේ තරම් සුවිශාල ඩෑම් අපේ රටේ නම් නැහැ. ඒත් ඒ රටකට ගියොත්, මේ කියන සුවිශාල ඩෑම් එකක් හෝ දැකබලාගන්න ලැබුනොත් ඒකෙන් මීටර දෙකක් වත් උස නැති මිනිසාගේ වැඩ කොච්චර ලොකුද කියලා අපිට බලාගන්නට හැකි වෙනවා.
Leave a Reply