ඩිනර් එකට නියම ඉන්දියන් කෑම වේලක් රස බලමුද? එහෙමනම් මේ ඉන්දියන් රෙස්ටුරන්ට් වලින් එකක් ට්‍රයි කරමු!

ලංකාවේ ආහාර පාන විවිධත්වය හොඳින්ම දන්න අපිට ඉන්දියානු කෑම කියන්නේ අමුත්තක් නෙවෙයි. හැබැයි අපි එදිනෙදා සෙට් වෙන ඉන්දියානු කෑම තියෙන කඩ හඳුන්වන්නේ වෙනස් විදියකට. සයිවර් කඩ කියලා. හැබැයි මේ ශ්‍රී ලාංකීය වුණු ඉන්දියානු කෑම හෙවත් සයිවර් කඩ වලට අමතරව ලංකාවේ තියෙනවා නියම ඉන්දියානු කෑම තියෙන රෙස්ටුරන්ට්. දකුණු ඉන්දියානු වගේම උතුරු ඉන්දියානු කෑම බීම, මස් මාංශ එක්ක හදන ඉන්දියානු කෑම බීම වගේම පූර්ණ නිර්මාංශ ආහාර පාන මේ රෙස්ටුරන්ට් වලින් ලබාගන්න පුළුවන්. දවල්ට බඩගින්නක් හැදුණු වෙලාවට ගිහින් බඩ පිරෙන්න කාලා එන්න විතරක් නෙවෙයි, දෙන්නත් එක්ක ඩිනර් අවුට් එකකට, ලන්ච් අවුට් එකකට යන්නත් මේ නියම ඉන්දියානු අවන්හල් ගැලපෙනවා. සයිවර් කඩේකට වඩා මිලෙන් වැඩි වුනාට, මේ ඉන්දියානු අවන්හලක තියෙන කෑම තත්ත්වයෙනුත් උසස් කියන එක අමතක කරන්නත් නරකයි!

 

1. Dindigul Thalappakatti Restaurant

කිසිම සැකයක් නැතුව මේ දවස් වල ලංකාවේ තියෙන ඉහළම ආකර්ෂණයක් තියෙන ඉන්දියානු රෙස්ටුරන්ට් එකක් තමයි දින්දිගුල් තලප්පකට්ටි කියන්නේ. මේ අයගේ ඩි ෆොන්සේකා ප්ලේස් එකේ තියෙන ප්‍රධාන රෙස්ටුරන්ට් එකට අමතරව, වන් ගෝල් ෆේස් එකේ ෆුඩ් ස්ටුඩියෝ එකේත් තව පොඩි රෙස්ටුරන්ට් එකක් තියෙනවා. කොහොම හරි මෙතනට යනවා නම් අපි රෙකමන්ඩ් කරන පළවෙනිම ඩිෂ් එක තමයි තලප්පකට්ටි ස්පෙෂල් මට්න් බිරියානි එක. හොඳ ලොකු එළුමස් කෑලි එක්ක එන මේ බිරියානි එක ලංකාවේ කාලා තියෙන රහම බිරියානි එකක් කියලා බය නැතුව කියන්න පුළුවන්. කොහොමත් මේ කට්ටියගේ මෙනු එක සෑහෙන්න පොහොසත්. ඩිසර්ට් එකට බඩේ ඉඩ තිබ්බොත් ලැසී එකක් හරි මේ අයගේ ස්පෙෂල් ෆලූඩා එකක් හරි ඕඩර් කරන්නත් පුළුවන්.
තැන:

 

2. Amaravathi Restaurant

කොල්ලුපිටිය පැත්තේ ඉන්න කෙනෙක්ට මස් මාංශත් එක්කම නියම දකුණු ඉන්දියානු ආහාර වේලක් ගන්න ඕන වුනොත්, ඒකට කියාපු තැන තමයි අමරාවතී එක. හැබැයි එහෙම කිව්වට මෙනු එකේ උතුරු ඉන්දියානු කෑමත් තියෙනවා. මේ කට්ටියගේ හවසට තියෙන කොත්තුව මරු. ඒ ඇරෙන්න මේ කට්ටියගේ චිකන් බිරියානි එකටත් හැමෝම හොඳ කියනවා. මේ අයගේ කෑම බීම සාමාන්‍යයෙන් කොළඹ තියෙන අනික් මේ ලෙවල් එකේ රෙස්ටුරන්ට් වලට වඩා මිල ගණන් අතින් පොඩ්ඩක් වැඩි වුනත්, කෑම වල පංකාදු ගතියත් එක්ක ඒ ගණන් පාඩු නෑ කියලා කියන්න වෙනවා.
තැන:

 

3. Maharaja Palace

මහරාජා පැලස් එකේ කෑම බීම අමරාවතී එකටත් වඩා ගණන්. හැබැයි වෙනසක් තියෙනවා. මහරාජා පැලස් කියන්නේ ෆයින් ඩයිනින් රෙස්ටුරන්ට් එකක්. ඉතින් ඒ කෑම බීම වල කොලිටිය සහ ඉහළ මට්ටමත් එක්ක බලනකොට ඒ ගණන් වලට වරදක් කියන්නත් බැහැ. ඒ වගේම තමයි මේ කට්ටියගේ මෙනු එකේ තියෙන විවිධත්වයත්. උදාහරණයක් විදියට ගත්තොත් චිකන් ගත්තොත් ස්ටාර්ටර්ස් වගේම ප්‍රධාන ආහාර වේල් වුනත් අපි ලේසියෙන් වෙන ඉන්දියානු රෙස්ටුරන්ට් එකක දකින්න නැති විදියේ කෑම තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, චිකන් කෙබාබ් බන්ජරා, හසාරි, සීක් වගේ නම් වලින් වර්ග කීපයක්ම තියෙනවා. අනික් කෑම වල විවිධත්වයත් ඒ වගේම තමයි!
තැන:

 

4. Shanmugas

ලංකාවේ තියෙන නියම ඉන්දියානු රෙස්ටුරන්ට් ගැන කියනකොට ඇත්තටම පරණම ඉන්දියන් රෙස්ටුරන්ට් එකක් වෙන ෂන්මුගාස් ගැන කතා නොකර බැහැ. ඇත්තටම ෂන්මුගාස් එකට යනකොට දැනෙන්නෙත් වෙනමම ෆීලින්ග් එකක්. ගිහින් එක්කෝ මැඩ්‍රාස් බත් වේලක් හරි, ෂන්මුගාස් ස්පෙෂල් එකක් හරි ඕඩර් කළාට පස්සේ තියෙන ලොකුම ගැටළුව වෙන්නේ මේ ඔක්කොම කාගන්න එක. ඒ තරමට රසෙන් වගේම ප්‍රමාණයෙනුත් වැඩියි. එහෙම නැතිනම් රෑකට වගේ ගියොත් ලූණු දාපු හරි තක්කාලි දාපු හරි ඌතප්පම් එකක් කෑවත් ගති.
තැන:

 

5. Moti Mahal Colombo

ලංකාවට නම් මෝති මහල් රෙස්ටුරන්ට් එක අලුත් වුනාට, ඉන්දියාවේ අතිශයින්ම ජනප්‍රිය දැවැන්ත අවන්හල් ජාලයක් තමයි මෝති මහල් නැතිනම් මෝටි මහල් කියලා කියන්නේ. ඉතින් තලප්පකට්ටි ආවා වගේ ඔන්න මේ ඉන්දියාවේ දැවැන්තයා ලංකාවටත් ඇවිත්, මල් පාරේ මෝති මහල් කලම්බෝ කියලා රෙස්ටුරන්ට් එකක් ඇරලා තියෙනවා. මේ අයගේ කෑම බීම අර ෆයින් ඩයිනින් ඉන්දියානු රෙස්ටුරන්ට් එකක වගේ මිල අධික නොවුණත්, ෆයින් ඩයිනින් එක්ස්පීරියන්ස් එකක වගේම පිළිවෙලකට, ලස්සනකට මේසෙට එනවා. කොහොමත් ඉන්දියානු පන්නයේ ඉහළ පෙළේ රෙස්ටුරන්ට් එකක තියෙන මෙනු එකක්, මේ අයගේ විශේෂ අයිටම්ස් එක්ක තියෙනවා මෙතන. අපේ ෆේවරිට් වුනේ මෝති මහල් චිකන් බිරියානි එකත්, තන්දූරි ප්‍රෝන්ස් එකත් තමයි.
තැන:

 

6. Agra

ලංකාවේ ඉන්දියානු ෆයින් ඩයිනින් රෙස්ටුරන්ට් නොතිබුණු කාලෙක, ඉන්දියානු කෑම බීම පිරිනමන ඉහළම පංතියේ රෙස්ටුරන්ට් එකක් විදියට අග්‍රස්තානයක වැජඹුණු, තවමත් ඒ කීර්තිය පිරිහිලා නැති රෙස්ටුරන්ට් එකක් තමයි අග්‍රා කියන්නේ. ඉස්සර අපිට මේ අයගේ කෑම බීම ඉතාම ගණන් වැඩියි කියලා හිතුණට, දැන් තේරෙනවා අග්‍රා එකේ කෑම වල මිල ගණන් වැඩි වෙන්නේ රෙස්ටුරන්ට් එකේ කොලිටියත් එක්ක කියලා. මෙතන මස් මාංශ ආහාර වේල් වගේම නිර්මාංශ ආහාර වේලුත් හරි හරියට තියෙනවා. අපිට මේ අයගේ පනීර් කාති කෙබාබ් වලට තමයි වැඩිපුරම හිත ගියේ. ඉන් පස්සේ මේ අයගේ කාශ්මීරි පුලාවෝ එකත් මරු. ඒක වෙජිටේරියන් ඩිෂ් එකක්. මස් මාංශ නැතුව බැරි කෙනෙක්ට නම් චිකන් සහ මට්න් දෙකම දාලා හදන නවාබි බිරියානි එකක් ට්‍රයි කරලා බලන්න පුළුවන්. මීට අමතරව තව සෑහෙන්න තෝරාගැනීම් අග්‍රා මෙනු එකේ තියෙනවා. ඒ ඒ ආහාර පාන හදලා තියෙන්නේ කොහොමද කියලත් මෙනු එකේ තියෙන නිසා තෝරගන්න ලේසියි.
තැන:

 

7. Elite Indian Restaurant

ඉහළ මට්ටමේ ඉන්දියානු අවන්හලක් විදියට කාලයක් වැජඹුනත්, දැන් වෙනකොට අතේ තියෙන විදියට අධික මිලක් වියදම් නොකර හොඳ ඉන්දියානු කෑම බීම ගන්න පුළුවන් තැනක් විදියට අපිට සුපුරුදු එලීට් එක අමතක කරන්න බෑ. බම්බලපිටියට යන පාරේ තියෙන එලීට් ඉන්ඩියන් රෙස්ටුරන්ට් එකේ මෙනු එක සෑහෙන්න බරපතලයි. හැබැයි මෙනු එකේ තියෙන්නේ ඔක්කොම දන්න කෑම බීම. එලීට් එකට යන අපේ ප්‍රියතම ආහාර වේල වෙන්නේ ගාලික් නාන් දෙක තුනක් එක්ක එක්කෝ බටර් චිකන් මසාලා එකක් හරි පනීර් බටර් මසාලා එකක් හරි තමයි. ඒකට අනුපානෙට ලැසී එකකුත් ගත්තහම ආයෙ වේලක් අත ඇරලා වුනත් ඉන්න පුළුවන්!
තැන:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *