සාමාන්‍ය ක්‍රමයටත් අපි දත්ත එක්රැස් කරනවා. ඒත් බිග් ඩේටා (Big Data) නැත්නම් විසල් දත්ත කියන්නේ ඒ ආකාරයේ සාමාන්‍ය ක්‍රමයටම එකතු කරගත්ත විශාල දත්ත ප්‍රමාණයක්ම නෙමෙයි. සරලවම ගත්තොත් ෆිල්ම් තුන් හාරසීයක් ගිගාබයිට් දෙතුන් දාහක එකතු කරගත්තාට ඒක බිග් ඩේටා නෙමෙයි. බිග් ඩේටා එන්නේ ඇත්තටම 2000 වසරෙන් පස්සේ. වසර 2000න් පස්සේ මිනිස්සුන්ගේ දත්ත පාවිච්චිය වැඩි වුනා. වෙනදාට වඩා එකිනෙකා සම්බන්ධවෙන්න අලුත් ක්‍රම ආවා. ඒ එක්ක විවිධ අන්දමේ ඩේටා ගොඩක් පහසුවෙන් එකතුකරගන්න හැකියාව ලැබුනා. මේ විදිහට විවිධ මානයේ දත්ත ගොඩක් එකතු කරගැනීමත්, ඉන් පස්සේ ඒවා හරහා විවිධ ප්‍රයෝජන ගැනීමත් බිග් ඩේටා වලදී සිද්ධ වෙනවා.
1. බිග් ඩේටා පරිමාව
සංවිධානයක් ගත්තහම ඒකට දත්ත එක්රැස් වෙන ක්‍රම ගාණක් තියෙනවා. ව්‍යාපාරික මුදල් හුවමාරු හරහා දත්ත එක්රැස් වෙනවා. දුරකතන සමාගමක් වගේ නම් එහි සිදුවන දුරකතන හුවමාරු වල දත්ත එක්රැස් වෙනවා. විදුලිය පිළිබඳ සමාගමක් නම් පාරිභෝගිකයින්ගේ විදුලි භාවිතාව පිළිබද දත්ත එක්රැස් වෙනවා. ඒ වගේම නවීන ක්‍රම වලට අනුව ස්මාට් ඩිවයිස්, කාර්මික උපකරණ, වීඩියෝ, CCTV, සෝෂල් මීඩියා ආදී විශාල පරාසයකින් දැන් දත්ත එක්රැස් වෙනවා. සරලවම හිතුවොත් කොළඹ ට්‍රැෆික් ගැන ගූගල් සමාගමට දැන් පුළුවන් වෙලා තියෙනවා අපි හැමෝගෙම ජංගම දුරකථන මාර්ගයෙන් වාහන වල තදබදය ගැන මැප් එකේ පෙන්වන්න. එහිදී දත්ත එක්රැස් වන්නේ ස්මාට් ෆෝන් හරහා අදාළ ජාලයට.
2. දත්ත වේගය
දත්ත කොච්චර තිබුනත් අපිට වැඩක් නැහැ දත්ත හසුරුවන්න බැරි නම්. උදාහරණ විදිහට අපි පරණ තාලේ බිල් ගෙවන ක්‍රමයක් බලමු. ඒ ක්‍රමයෙදි බිල් පොතක් ආශ්‍රයෙන් බිල් ගෙවීම් කරනවා. මාස කිහිපයකට කලින් ගෙවපු බිලක් බලන්න ඕනි නම් අපි ඒ බිල් පොත් තොගය අවුස්සලා පෙරලලා, ඒ බිල් පොත හොයාගෙන එයින් අදාළ බිල ගන්න ඕනි. ඒත් දැන් ඒ වගේ බිල් දත්ත පරිගණක ගත කරලා තියෙන නිසා අපිට ඕනි අවස්ථාවක අවශ්‍ය නම් ගනුදෙනු ගැන ඩීටේල් ඉතාම ඉක්මනින් ගන්න පුළුවන්. මේ දත්ත තැන්පත් කිරීමේදීත් ටැග්ස්, ස්මාට් සෙන්සර්ස්, කාල රාමු, ආදී විවිධ ප්‍රයෝග යොදලා දත්ත වේගයෙන් ලබාගන්න අපිට හැකියාව තියෙනවා.
3. දත්ත එන මාර්ග
දත්ත එකතු කරන ක්‍රම වලදි පැරණි දත්ත එකතු කරන ක්‍රමත් තාමත් අපිට වැදගත් වෙනවා. උදාහරණ විදිහට අපේ රජයේ වැඩවලට අපේ පුද්ගලික දත්ත ආදිය එකතු කරලා තියෙනවා. දැන් මේ පුද්ගලික දත්ත වලටම තවත් දත්ත එකතු කරලා ඒ දත්ත වල තියෙන හැකියාවන් වැඩිදියුණු කරගන්න පුළුවන්. උදාහරණ විදිහට අපේ හැඳුනුම්පතේ අපේ ලේ වර්ගය, අපේ මූලික වෛද්‍යමය දත්ත ආදිය තියෙනවා නම් හදිස්සියකට අනතුරක් වුනත් රෝහල් කාර්යමණ්ඩලවලට හරි වාසියක් වෙනවා. ඒ වගේම රියදුරු බලපත ස්මාට් කාඩ් එකක් ලෙස හොඳට දියුණු වුනොත් පරණ ක්‍රමයට අපිට දඩ ගෙවන්න තැපැල් කාර්යාල එක්ක ඔට්ටු වෙන්න ඕනි වෙන්නෙ නැහැ. ඒ කියන්නේ දැනට තියෙන දත්තම වුනත් තවත් මාර්ග වලින් වැඩිදියුණු කරන්න පුළුවන්කම අපිට තියෙනවා. වීඩියෝ, ඉලක්කම්, ටෙක්ස්ට්, ඩොකියුමන්ට්, ඊමේල්, ඕඩියෝ වගේ විශාල ෆෝමැට් ගාණකින් දත්ත දෙන්න පුළුවන් වගේම එකම දෙයක් ගැන වුනත් විවිධාකාර කෝණ වලින් බලාගන්න අපිට ඒ දත්ත එන මාර්ග වැඩිවීම උදව් වෙනවා.
4. විවිධතා
හැමදාම එකම දේවල් එකම විදිහට වෙනවා නම් ඇත්තටම ලෝකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් හැමදේම වෙනස් වෙනවා. ඒ වෙනස එක්ක විසල් දත්ත වලින් අපිට කලින් කලට වෙනස් වෙන දේවල් ගැන අනාවැකි කියන්න හැකියාව තියෙනවා. ඉස්සර වර්ෂාමාන, අනිල මානය, සුළං දිශා දර්ශකය එක්ක කාලගුණ වාර්තා කිව්වා. ඒත් දැන් ඊට වඩා දියුණුයි. අපේ රටට, අපි ඉන්න පළාතට, අදාළ දවසට තියෙන කාලගුණය අන්තර්ජාලයෙන්ම ලබාගන්නට දැන් අපිට හැකියි. මෙතැනදී ඒ සැටලයිට් වලින්, ඩිජිටල් උපකරණ වලින් ලබාගන්නා දත්ත ඔක්කෝම විශ්ලේෂණය කරලා ඊළඟට වැස්සක් ළං වෙනවාද? නැතිනම් පෙර පරිදි පායනවාද කියලා කියන්නට හැකියාව තියෙනවා. ගොනා හැරෙන්නේ පොල් පැළේ කන්න කියලා කතාවක් තියෙනවා. ඒ වගේ අද වෙද්දි මේ විවිධතා බිග් ඩේටා වලින් ඇනලයිස් කරගන්න පුළුවන් නිසා යමක් වෙන්නට පෙර ඒ ගැන පෙර දත්ත අධ්‍යයනය කරලා අනාවැකි කියන්නට, නිගමන වලට එන්න අවස්ථාව උදා වෙලා තියෙනවා.
5. දත්ත වල තත්ත්වය
ඉස්සර ගම් වල අබිලින් ලා හිටියා. ඒ අය ගමේ සිදුවෙන සිදුවීම් ගම වටේ කිය කිය ඇවිද්දා. සන්නිවේදනය දියුණු නැති කාලේ ඒ විදිහට තැන් තැන්වල කියෝ කියෝ යන අයගේ තොරතුරු කොච්චර බොරු වුනත් පිළිගන්නට අපිට සිද්ද වුනා. ඒත් දැන් එහෙම නැහැ. දත්ත එන මාර්ග ගාණ වැඩිවීම එක්ක ඒවා සත්‍යම දත්තද එහෙම නැතිනම් බොරු ඒවාද කියලා හොයාගන්න පහසුයි. සමහර කෑම බැලූ බැල්මට රසයි, නාහෙට ඇල්ලුවාම සුවඳයි. ඒත් කන්න ගියාම අජූතයි. බිග් ඩේටා වලදී මාර්ග ගණනාවකින් දත්ත එනකොට බොරු, ව්‍යාජ දත්ත අයින් කරලා ඒවා ක්ලීන් කරගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා.
6. දත්ත වල ආරක්ෂාව
මේ බිග් ඩේටා විදිහට හැම වෙලාවෙම පුද්ගලික දත්ත එක්රැස් කරගෙන අදාළ අයිඩෙන්ටි එකත් එක්කම ගබඩා කරගන්නේ නැහැ. එක් එක් රටාවන් පමණක් අධ්‍යයනය කරන්න මේ දත්ත මාදිලි යොදාගන්නවා. උදාහරණ විදිහට ගූගල් මැප් වලට අපිව ට්‍රැක් කරන්න පුළුවන් වුනාට අපි අවසර දෙන්නෙ නැතිනම් කිසිවෙකුට අපි සිටින තැන පහසුවෙන් සොයාගන්නට බැහැ. දත්ත සහ දත්ත භාවිතාව වැඩිවෙනකොට ඒවායේ ආරක්ෂාව ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. ව්‍යාපාරික සමාගම් විසින් මේ බිග් ඩේටා තමුන්ගේ ඇඩ්වර්ටයිසින් වැඩට යොදාගන්නවා. ඒ උනත් ඒවයෙත් යම්කිසි සීමාවක් තියෙන්නට ඕනි. බිග් ඩේටා හරහා විවිධ ආකාරයේ වැඩ ගොඩක් ගන්නා නිසා බිග් ඩේටා පද්ධති වල ඩේටා හසුරුවන්නට වෙනත් පාර්ශවයන්ට හැකි වුනොත් එහි බලපෑම් සුළු පටු නැහැ.
7. අපේ දත්ත දැන් කොහෙද?
ඉස්සර අපේ ලෙඩ රෝග ගැන දත්ත ආදිය තිබුනේ ඉස්පිරිතාලේ. අපේ නම, ගම, වයස, විස්තර ආදිය රජයේ ආයතන වල තිබුනා. අපේ වාහනය ගැන විස්තර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ තිබුනා. ඒත් අද වෙද්දි ෆිට්නස් ට්‍රැකර් එක හරහා අපේ හාට් බීට් එක පවා වෙනත් පාර්ශව වෙත යනවා, අපේ පුද්ගලික විස්තර සෝශල් මීඩියා හරහා සේල් වෙනවා. ඒ වගේම අපේ වාහන වල දත්ත වුනත් වාහන වල තියෙන පද්ධති වලින් ඇදලා ගන්නවා. සමහර අපේ දත්ත අපිත් නොදන්නා රටවල සර්වර් වල ගබඩා වෙලා තියෙනවා. ඒ අනුව ඔවුන් අපිට අන්තර්ජාලයෙන් විවිධ බඩු බාහිරාදිය ඇඩ් වලින් පෙන්නනවා. අපි සොයන දෙයක් තියෙනවා නම් ඒ දේවල් ෆේස්බුක් වලත් දැන් පෙන්වන්න පටන් අරන් තියෙනවා. සමාගම් කොච්චර නෑ කිව්වත් අපේ දත්ත දැන් අපිත් නොදන්න තැන්වල සේව් වෙලා අපේ ජීවිත වලට බලපෑම් කරන්න ඇවිල්ලා තියෙනවා.
අපි වගේ තුන්වැනි ලෝකයේ රටවලට බිග් ඩේටා වලින් තියෙන ප්‍රයෝජන ගොඩයි. අපිට තියෙන සීමිත මුදල් වලින් කරන්න පුළුවන් වඩාත් ඵලදායී දේවල් මොනාද කියාල හොයාගන්න බිග් ඩේටා පාවිච්චි කරන්න පුළුවන්. බිග් ඩේටා කියන්නේ විශාල වපසරියක තියෙන දෙයක්. ඉතින් ෆෝන් එක අතට ඒම සහ ඒකට සිග්නල් හොඳට තිබීම විතරක් සංවර්ධනය විදිහට දකින්න අමාරුයි. මේ බිග් ඩේටා වගේ සංකල්ප තුලින් අපේ ජීවිත වලට ඵලදායී ඵල ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන වටපිටාවක් හැදෙනවා නම් අපිට බොහෝම වටිනවා.
Leave a Reply