ගෙවුණු දශකයේ ක්‍රිකට් ලොව වැඩිම දස්කම් පෙන්වපු වැඩ්ඩෝ මේ අයයි

දශකයකුත් ගෙවිලා ගියා අපිට නොදැනීම. මේ කාලේ ඇතුළත අපේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩාවත් සෑහෙන වෙනස්කම්වලට ලක්වුණා. අපි ආස කරපු ක්‍රීඩකයෝ රැසක් සමු ගත්තා. තවත් දක්ෂයෝ රැසක් බිහිවුණා. ඉතින් දශකයක් ගෙවිලා යන මේ වෙලාවේ අපි හිතුවා ගෙවුණු දශකයේ ක්‍රිකට් ලෝකේ විවිධ අංශවලින් මුල් තැන ගත්ත ක්‍රීඩකයන් ගැන පොඩි හැඳින්වීමක් කරන්න

 

1. ටෙස්ට් අංශයේ හොඳම පිතිකරුවෝ

2010 – 2019 කාල වකවානුවේදී ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු ලැබූ ක්‍රීඩකයා කවුද කියලා ඇහුවොත් ඔයාල ගොඩ දෙනෙක් දෙන උත්තරේ වැරදෙන්න පුළුවන්. මොකද ඒ කාල වකවානුව ඇතුළත ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු ලබපු ක්‍රීඩකයා වෙන්නේ එංගලන්තේ ඇලිස්ටෙයාර් කුක්. ඔහු ලකුණු 8818ක් ලබාගෙන තියනවා. ලකුණු 7282ක් ලබාගත්ත ජෝ රූට් දෙවැනි ස්ථානය ගනිද්දි ඉන්දියාවේ විරාට් කෝලි ලකුණු 7202ක් ලබාගෙන 3 වැනි ස්ථානයේ පසු වෙනවා.

ලංකාවේ මේ ලැයිස්තුවේ ඉහලින්ම ඉන්න ක්‍රීඩකයා වෙන්නේ අපේ ඇන්ජලෝ මැතිව්ස්. ඔහු ලකුණු 5293ක් ලබාගෙන මේ ලැයිස්තුවේ 11 වැනි ස්ථානයේ පසුවෙනවා.

 

 

2. එක්දින අංශයේ හොඳම පිතිකරුවෝ

ගෙවුණු දශකයේ එක්දින අංශයෙන් වැඩිම ලකුණු ලබාගන්න සමත් වෙලා තියෙන්නේ කවුද කියන එක නම් ඔ​බ කවුරුත් නිවැරදිව අනුමාන කරන්න සමත් වේවි. ඒ තමයි ඉන්දියාවේ විරාට් කෝලි. කෝලි ලකුණු 11,125ක් ලබාගෙන මේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය උසුලනවා. දෙවැනි ස්ථානයේ ඉන්නෙත් ඉන්දියානුවෙක් වන රෝහිත් ෂර්මා. රෝහිත් ලබාගෙන තියෙන ලකුණු ගණන 8,249ක්.

මේ ලැයිස්තුවේ 6 වැනි ස්ථානයේ ඉන්න කුමාර් සංගක්කාර තමයි පසුගිය දශකය ඇතුළත වැඩිම ලකුණු රැස්කළ ලංකාවේ ක්‍රීඩකයා වෙන්නේ. සංගා ලබාගෙන තියනවා ලකුණු 6356ක්. සංගා මේ තරම් ලකුණු රැස්කරලා තියෙන්නේ 2015 වෙනකන් විතරක් ක්‍රීඩා කරලා වීමත් සුවිශේෂයි.

 

3. විස්සයි විස්ස හොඳම පිතිකරුවෝ

කරට කර ප්‍රබල සටනකින් පස්සේ විස්සයි විස්ස වැඩිම ලකුණු ලාභියා වෙන්න විරාත් කෝලි සමත් වෙලා තියනවා. ඒ තමන්ගෙ කණ්ඩායමේ රෝහිත් ෂර්මාව පරාජය කරමින්. විරාත් පහුගිය දශකය ඇතුළත විස්සයි විස්ස ලකුණු 2633ක් ලබාගෙන තියනවා. රෝහිත් ෂර්මා ලබාගෙන තිබෙනවා ලකුණු 2392ක්. විස්සයි විස්ස වැඩිම ලකුණු ලාභී ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වෙන්නේ ලකුණු 1282ක් ලබාගත් තිලකරත්න ඩිල්ෂාන්.

 

4. ටෙස්ට් හොඳම පන්දු යවන්නෝ

හොඳම කිවුවම අපි මෙතන සඳහන් කරන්නේ වැඩිම කඩුලු ලාභීන්වයි. පසුගිය දශකය ඇතුළත ටෙස්ට් කඩුළු 429ක් දවාගත් එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් තමයි මේ ලැයිස්තුවේ අංක 1 හැටියට වැජඹෙන්නෙ. 2 වැනි ස්ථානය හිමිවෙන්නෙත් එංගලන්ත ක්‍රීඩකයෙක්ට. ඒ කඩුලු 403ක් දවාගත් ස්ටුවට් බ්‍රෝඩ්ට. කඩුලු 363ක් දවා ගනිමින් මේ ලැයිස්තුවේ 4 වැනි ස්ථානය ලබාගන්නට ශ්‍රී ලංකාවේ රංගන හේරත් සමත්ව තිබෙනවා.

 

5. එක්දින හොඳම පන්දු යවන්නෝ

පසුගිය දශකය ඇතුළත එක්දින පිටියේ ​වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා වෙලා තියෙන්නෙ වෙන කවුරුවත් නෙමෙයි, අපේ ලසිත් මාලිංග තමයි. මාලිංග දවාගෙන තියන කඩුලු ගණන 248ක්. බංග්ලාදේශයේ ෂකීබ් අල් හසාන් කඩුලු 177ක් දවාගෙන මේ ලැයිස්තුවේ 2 වැනි ස්ථානය හොබවනවා. තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් වන තිසර පෙරේරා මේ ලැයිස්තුවේ 5 වැනි ස්ථානයේ ඉන්නවා.

 

6. විස්සයි විස්ස හොඳම පන්දු යවන්නෝ

පසුගිය දශකයේ වැඩිම කඩුලු ලාභී විස්සයි විස්ස පන්දු යවන්නා වෙන්නේ ඇෆ්ඝනිස්ථානයේ රෂීඩ් ඛාන්. රෂීඩ් දවාගෙන තියන කඩුළු සංඛ්‍යා​ව 84ක්. ඊට කඩුලු 2ක් පසුපසින් ඉන්නේ ලංකාවේ ලසිත් මාලිංග. කොහොම වෙතත් රෂීඩ් ඛාන් මාලිංගට වඩා අඩු තරඟ සංඛ්‍යාවක් ක්‍රීඩා කරල තියන බවත් කියන්නට ඕනෙ.

 

7. හොඳම ලකුණු සාමාන්‍ය​ය සහිත ක්‍රීඩකයෝ

පසුගිය දශකයේ ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු සාමාන්‍ය වාර්තා කරගෙන තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්. ඒ ලකුණු 62.84ක්. ලකුණු සාමාන්‍ය 61.40ක් වාර්තා කර තිබෙන කුමාර් සංගක්කාර මෙම ලැයිස්තුවේ 3 වැනි ස්ථානයේ සිටිනවා.

 

පසුගිය දශකයේ එක්දින වැඩිම ලකුණු සාමාන්‍ය හිමිව තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ ඒබී ඩිවිලියර්ස්ටයි. ඒ ලකුණු 64.20ක සාමාන්‍යයක්. ලකුණු 52.96ක සාමාන්‍යයක් ලබාගත් කුමාර් සංගක්කාර මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටින ශ්‍රී ලාංකිකයා වනවා.

 

විස්සයි විස්ස පිටියේ පසුගිය දශකයේ වැඩිම සාමාන්‍ය​ය හිමි වී ඇත්තේ ඉන්දියාවේ විරාට් කෝලි හටයි. ඒ ලකුණු 52.66ක සාමාන්‍යයක්. ලකුණු 38.96ක සාමාන්‍යයක් පවත්වාගත් ලංකාවේ මහේල ජයවර්ධන මේ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්න ශ්‍රී ලාංකිකයා වනවා.

 

8. හොඳම කඩුලු සාමාන්‍යය සහිත ක්‍රීඩකයෝ

පසුගිය දශකයේ ටෙස්ට් පිටියේ හොඳම කඩුලු සාමාන්‍යයක් හිමිකරගන්න සමත් වී ඇත්තේ ඉන්දීය වේග පන්දු යවන ජස්ප්‍රීට් බුම්රායි. එම අග​ය එක් කඩුල්ලක් සඳහා ලකුණු 19.24ක්. 26.41ක සාමාන්‍යයක් සහිතව දශක​යේ ශ්‍රී ලංකාවේ හොඳම කඩුලු සාමාන්‍යයක් හිමි කරගෙන ඇත්තේ රංගන හේරත් විසිනුයි.

 

ගෙවුණු දශකයේ එක්දින පිටියේ වාර්තා කළ හොඳම සාමාන්‍ය අයත් වන්නේ ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩක රෂීඩ් ඛාන් හටයි. එම අගය කඩුල්ලක් සඳහා ලකුණු 18.54ක් වනවා. 25.47ක සාමාන්‍යයක් ලත් ශ්‍රී ලංකාවේ අජන්ත මෙන්ඩිස් මෙම සටහනේ ඉදිරියෙන්ම ඉන්නා ශ්‍රී ලාංකික පන්දු යවන්නා වනවා.

 

12.52 විශිෂ්ට කඩුළු සාමාන්‍යයක් සහිතව විස්සයි විස්ස තරඟ බිමේ ගෙවුණු දශකයේදී ඉදිරියෙන් ඉන්න ඇෆ්ඝනිස්ථානයේ රෂීඩ් ඛාන් සමත් වෙලා තියනවා. 17.26ක සාමාන්‍යයක් ලද අජන්ත මෙන්ඩිස් විස්සයි විස්ස තරඟ බිමේදීත් හොඳම කඩුලු සාමාන්‍යයක් වාර්තා කරගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් වී තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *