අපට අමතකව ගිය බෞද්ධ පැවිදි පඬිවරු

18 වන සියවසේ අග භාගයේ දී විශේෂයෙන්ම පානදුරාවාදය එක්ක ලංකාව ලෝක ප්‍රසිද්ධ වුණා. ඒත් එක්කම විවිධ රටවල බුද්ධිමතුන් ලංකාවට පැමිණියා. ඒ කාලේ අපේ හාමුදුරුවරුන්ගෙන් තිබ්බ පාණ්ඩිත්‍ය ගැන ඔවුන් මවිතයට පත් වුණා. පාලි, සංස්කෘත, ප්‍රාකෘත වගේ භාෂා ගැන උන්වහන්සේලාගේ තිබුණු පාණ්ඩිත්‍ය වගේම ත්‍රිපිටකය ගැන තිබ්බ විශාරද දැනුම නිසා බටහිර උගතුන් ට ඇති වෙලා තිබ්බ දාර්ශනික ගැටලු නිරාකරණය කරගන්න හැකියාව ලැබුණා. අපි අද කතා කථා කරන්න යන්නේ එවැනි ප්‍රසිද්ධියක් ලබපු ලංකාවෙන් බිහිවුණු බෞද්ධ පැවිදි පඬිවරු කීප නමක් ගැන. අද වෙන කොට නම් මුන්වහන්සේලා ගැන වැඩිපුර ඇහෙන්නේ නෑ. ඒ වගේ ම සමහර වෙලාවට මේ ලිපිය කියවන ඔබටත් පළමු වතාවට වෙන්න පුළුවන් උන්වහන්සේලා ගැන දැනගන්න ලැබෙන්නේ.

 

1. යාත්‍රාමුල්ලේ ධර්මාරාම හිමි 

බෙන්තර වනවාස විහාරයේ වැඩ වාසය කරපු ධර්මාරාම හාමුදුරුවෝ එම විහාරයේ අධිපතිව හිටපු බෙන්තර අත්ථදස්සි හාමුදුරුවන්ගේ ප්‍රධාන ශිෂ්‍යවරයෙක් විදිහට සැලකෙනවා. ධර්මාරාම හාමුදුරුවෝ ගත කරන්නේ කෙටි ජීවිත කාලයක්. උන් වහන්සේට ඒ කෙටි ජීවිත කාලය තුළ පොතක් පතක් ලියන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒත් උන්වහන්සේ විදේශීය ශිෂ්‍යයන් දෙදෙනෙක්ට පාලි භාෂාව උගන්වනවා. ඒ ශිෂ්‍යයෝ දෙන්න තමයි රොබට් සී චිල්ඩර්ස් පඬිතුමා සහ රීස් ඩේවිස් පඬිතුමා. රොබට් සී චිල්ඩර්ස් පඬිතුමා උන්වහන්සේගෙන් පාලි භාෂාව ඉගෙන ගෙන බොහෝ සූත්‍ර ධර්ම ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම වගේම පාලි ඉංග්‍රීසි ශබ්දකෝෂයකුත් නිර්මාණය කරනවා. රීස් ඩේවිස් පඬිතුමා එංගලන්තයට ගිහින් පාලි භාෂාව අධ්‍යයනයට Pali Text Society පිහිටුවනවා.

 

2. බැදිගම රතනපාල හිමි 

පානදුරාවාදයේ මූලිකත්වය ගෙන ක්‍රියා කරපු මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ට “වාදීභසිංහ” කියන ගරු නාමය භාවිතා වෙනවා. නමුත් ඒ කාලේ  ඉතිහාසය අධ්‍යයනය කරලා බැලීමේදී පැහැදිලි වන දෙයක් තමයි මේ ගෞරව නාමය තවත් භික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් භාවිතා වෙලා තියෙනවා කියන එක. උන්වහන්සේ තමයි බැදිගම රතනපාල හාමුදුරුවො. උන්වහන්සේ තමන්ගේ විශිෂ්ට කථිකත්වයෙන් බුද්ධාගමට පහර එල්ල වුණු සෑම අවස්ථාවකදීම ඔවුන් සමග විවාද වලට එළඹිලා ජයග්‍රහණය කරන්න කටයුතු කරලා තියෙනවා. සමහර අවස්ථාවලදී ධර්ම විනය කරුණු ගැන භික්ෂූන් වහන්සේලා සමඟත් වාද විවාද කරන්න උන්වහන්සේ දෙපාරක් හිතලා නෑ. මාතර නගරයේ පිහිටා ඇති ප්‍රධානතම පිරිවෙනක් වන මාතර මන්තින්ද පිරිවෙන ආරම්භ කරන්නේත් උන්වහන්සේ විසින්.

 

3. විදුරුපොළ පියතිස්ස හිමි 

බොහෝ භික්ෂූන් වහන්සේලා භාවිතා කරන රාජකීය පණ්ඩිත කියන උපාධියක් ඒ ගැන ඔබ දැනුවත් ඇති. මේ උපාධිය පිරිනමන්නේ ප්‍රාචීන භාෂෝපකාර සමිතිය විසින්. අද වෙන කොට මේ රාජකීය පණ්ඩිත උපාධිය ලබපු භික්ෂූන් වහන්සේලා දහස් ගණනක් ඉන්නවා. ඒත් ලංකාවේ පළවෙනි වතාවට රාජකීය පණ්ඩිත උපාධිය ලබපු භික්ෂූන් වහන්සේ තමයි විදුරුපොළ පියතිස්ස හාමුදුරුවෝ. සංස්කෘත භාෂාවේ විශිෂ්ට උගතෙකු වුණු උන්වහන්සේ අලුත් පොත්පත් රාශියක් රචනා කළා. ඒ අතරින් “මහානෙක්ඛම්ම චම්පූ” නම් ග්‍රන්ථය පාලි භාෂාවෙන් ලියැවුණු පළවෙනි චම්පු කාව්‍ය විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම “ව්‍යාකරණසද්දසින්දු” අදටත් බොහෝ උගතුන් ගෞරවයෙන් පරිහරණය කරන කෝෂ ග්‍රන්ථයක්.

 

4. වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි 

අපි යාත්‍රාමුල්ලේ ධම්මාරාම හාමුදුරුවෝ ගැන ලියද්දී සඳහන් කරා උන්වහන්සේ ගත කළේ කෙටි ජීවිත කාලයක් කියලා. මේ නිසා රීස් ඩේවිස් පඬිතුමාට උන්වහන්සේ ආශ්‍රයෙන් තමන්ගේ පාලි භාෂා අධ්‍යයනය කටයුතු සම්පූර්ණ කරගන්න බැරි වුණා. එතුමා ඊළඟට ගියේ වස්කඩුවේ ශ්‍රී සුභූති හාමුදුරුවෝ ගාවට. සුභූති හාමුදුරුවෝ Pali text society සඳහාත් විශේෂ දායකත්වයක් ලබා දුන්නා. උන්වහන්සේ විසින් අභිද්දානප්පදීපිකා සහ නාමමාලා පාලි භාෂා අධ්‍යයනයට වැදගත් ග්‍රන්ථ දෙකක් රචනා කළා. ඒ වගේම උන්වහන්සේට ලැබුණු ජාත්‍යන්තර කීර්තිය නිසා බුරුම රාජකුමාරයෙක් උන් වහන්සේ වෙත පැමිණ පැවිදි වුණා. මේ නිසා උන් වහන්සේට “රාජගුරු” උපාධියක් ලංකාවේ භික්ෂූන් වහන්සේ විසින් ලබා දුන්නා.

 

5. ලුණුපොකුණේ ධම්මානන්ද හිමි 

විද්‍යාලංකාර පිරිවෙන ආරම්භක පරිවේනාධිපතින් වහන්සේලා වන රත්මලානේ ධර්මාලෝක ස්වාමීන් වහන්සේට සහ රත්මලානේ ධර්මාරාම ස්වාමීන් වහන්සේට පස්සේ එම පිරිවෙන මෙහෙයවන්න අවස්ථාව ලැබෙන්නේ  ලුණුපොකුණේ ධම්මානන්ද හාමුදුරුවන්ට. උන්වහන්සේ විද්‍යාලංකාර සම්ප්‍රදාය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළා. පාලි භාෂාවේ ප්‍රධානතම ව්‍යාකරණ සම්ප්‍රදායක් වන මොග්ගල්ලාන ව්‍යාකරණ සම්ප්‍රදායට අයිති බොහෝ පොතපත උන්වහන්සේ විසින් සංස්කරණය කොට ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මොග්ගල්ලාන පංචිකාව, මොග්ගල්ලනා පද සාධන ටීකාව ඒ අතරින් කීපයක්. ඒ වගේ ම උන්වහන්සේගේ විදේශීය ශිෂ්‍ය නමක් වන රාහුල සංස්කෘත්‍යාන පඬිතුමා පසු කලෙක ජාත්‍යන්තර කීර්තියට පත් උගතෙක් බවට පත්වුණා.

 

6. මහගොඩ ශ්‍රී ඥානේශ්වර හිමි 

විද්‍යෝදය පිරිවෙනේ ආරම්භක හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගෙන් පසුව එම පිරිවෙනේ භාරකාරීත්වය ලැබුණේ මහගොඩ ශ්‍රී ඥානේශ්වර හිමියන්ටයි. වසර 11ක් පමණ පිරිවෙනේ පරිවේණාධිපති ධුරය දරපු උන් වහන්සේ සිදු කළ විශිෂ්ටතම කාර්යභාරය වුණේ හේවාවිතාරණ  අරමුදල මඟින් පළ කළ අටුවා ග්‍රන්ථ මාලාවේ සංශෝධන කටයුතු සිදු කිරීමයි. ඒ වගේ ම විද්‍යෝදය පිරිවෙණේ උන්නතිය වෙනුවෙන් බොහෝ වැදගත් තීරණ උන්වහන්සේ විසින් ගනු ලැබුවා. අසාමාන්‍ය ගුරු භක්තියකින් යුතු උන්වහන්සේ සෑම අවස්ථාවකදීම හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් හැඳින්වූයේ “දෙයියෝ” යන නමින්.

 

7. ලබුගම ලංකානන්ද හිමි 

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ධුරයට පත්වුණු ලබුගම ලංකානන්ද හාමුදුරුවෝ මෑත කාලයේ දී බිහිවුණ විශිෂ්ටතම සංඝ පීතෘන් වහන්සේ නමක්. උන් වහන්සේ රාජකීය පණ්ඩිත උපාධිය ලබා ගනිද්දී “ගාමිණී චරිතය” නමින් පාලි මහා කාව්‍යයක් රචනා කළා. ඒ වගේම පාලි භාෂාවෙන් කාව්‍යකරණයයේ යෙදිය යුතු ආකාරය කියා දෙන උපදේශාත්මක ග්‍රන්ථයක් වන “වුත්තෝදය”සංස්කරණය කොට සිංහල පරිවර්තනයක් සමඟ පළ කිරීමත් උන්වහන්සේ අතින් සිදුවුණු විශේෂ කර්තව්‍යයක්. එතෙක් කල් සොයා ගැනීමට අපහසු වුණු අප්‍රකට ඉතිහාස ග්‍රන්ථයක් වුණු “මන්දාරම්පුර පුවත” සොයා පළ කිරීමේ ගෞරවය හිමි වෙන්නේ උන්වහන්සේට.

 

මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන්න කියලා අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා. ඔබෙන් ලැබෙන ප්‍රතිචාර මත මේ ආටිකල් එකේ දෙවැනි කොටසකුත් අපි ලියන්න බලාපොරොත්තු වෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *