හුරතලෙක් විදියට හදන්න ලැබ්‍රඩෝ කෙනෙක් ගන්න ඕන මෙන්න මේ කරුණු නිසා තමයි!

බලු හුරතලුන්ට කවුද කැමති නැත්තේ. සමහරු කැමතියි වල්ටේෂන් වුනත් ගෙදරකට ආරක්ෂාව සපයන, හොඳ හුරතලෙකුත් වෙන හොඳ බල්ලෙක්ව හදන්න. තවත් සමහරු නම් සෑහෙන්න බල්ලෙක්ගේ පරම්පරාව හොයනවා. කොහොම වුනත් අපිට බල්ලෙක්ව හුරතලෙක් විදියට හදාගන්න ගන්නවා නම් සෑහෙන්න බලු වර්ග තෝරාගන්න ඉන්නවා. ඒ අයගෙනුත් ගොඩක්ම හුරතල්, ගෙදර අයට පණ ඇරලා ආදරේ කරන බල්ලෙක් හොයන අය තෝරගන්න වර්ගයක් තමයි ලැබ්‍රඩෝ රිට්‍රීවර්. ඉතින් අපි මේ කියන්න යන්නේ, ගෙදරකට ලැබ්‍රඩෝ කෙනෙක් තෝරගන්න කෙනෙක්ව පොළඹවන කරුණු කීපයක් ගැන තමයි.

ඉතින් ඒ කරුණු පටන් ගන්න කලින් ලැබ්‍රඩෝ කෙනෙක් කොයි තරම් ආදරණීය, කොයි තරම් බුද්ධිමත්, ඒ වගේම කොයි තරම් කෝලම්කාර බල්ලෙක්ද කියන එක බලලා එන එක වටිනවා!

 

1. පුහුණුවට ලේසි ස්මාට් ලැබ්‍රඩෝ බල්ලෝ!

ඔය බලු වර්ග අතුරින් වඩාත් ඉහළ බුද්ධි මට්ටමක් තියෙන බලු වර්ග ඉන්නවනේ. ලැබ්‍රඩෝ රිට්‍රීවර් වර්ගය සැලකෙන්නේත් ආන්න ඒ විදියේ ස්මාට් බල්ලෝ වර්ගයක් විදියට. ඒ නිසාම ලැබ්‍රඩෝලව පුහුණු කරන්නත් ලේසියෙන් පුළුවන් කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම තමන්ගේ ස්වාමියාව සතුටු කරන්න තියෙන ලැබ්‍රඩෝලගේ තියෙන කැමැත්ත නිසාත්, අභියෝග භාරගන්න ලැබ්‍රඩෝලගේ තියෙන උනන්දුව නිසාත් මේ පුහුණු කිරීම තවත් ලේසි වෙලා තියෙනවා. වෙන විදියකට කියනවා නම් ලැබ්‍රඩෝ බල්ලෝ මේ පුහුණු කිරීමට ප්‍රතිරෝධයක් නොදක්වා පුහුණුව සාදරයෙන් භාරගන්න කැමැත්තක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ලැබ්‍රඩෝ කෙනෙක් ඉතාම ඉක්මනට දේවල් ඉගෙනත් ගන්නවා. 

 

2. දරුවන්ට ආදරේ ලැබ්‍රඩෝ බල්ලෝ!

ලැබ්‍රඩෝ බල්ලෝ කුඩා දරුවෝ සම්බන්ධයෙන් බොහෝම පරිස්සමින් කටයුතු කරන්න දන්නවා කියලා තමයි කියන්න. ඒ වගේම ලැබ්‍රඩෝ බල්ලෝ කුඩා දරුවන්ට හරිම ආදරෙයි. ඒ නිසාම තමයි ඒ කට්ටිය කුඩා දරුවෝ එක්ක විශේෂයෙන්ම පරිස්සමින් හැසිරෙන්නේ. එහෙමයි කියලා අපි කියන්නේ ලැබ්‍රඩෝ කෙනෙක් කුඩා දරුවෙක් එක්ක තනියෙන් දාලා යන්න කියලා නෙවෙයි. ඒත් ලැබ්‍රඩෝ බල්ලොන්ට සහජයෙන්ම තියෙන ආදරණීය භාවය, ඉවසිලිවන්ත භාවය නිසා දරුවෝ එක්ක එක්කහු වෙන්න ලැබ්‍රඩෝ බල්ලොන්ට තියෙන හැකියාව වැඩියි. ඊට අමතරව පවුලේ පොඩිම සාමාජිකයෝ එක්ක කාලය ගත කරන්න ලැබ්‍රඩෝලා ආසයි කියලත් සමහරු කියනවා.

 

3. ආදරණීය ලැබ්‍රඩෝ බල්ලෝ!

අපි මේ කියන කතාව, ලැබ්‍රඩෝ බල්ලෙක්ව එක පාරක් හරි හුරතල් කරලා තියෙන කෙනෙක් ටක්කෙට තේරුම් ගන්නවා. ලැබ්‍රඩෝ කියන්නේ පුදුමාකාර ආදරණීය බලු විශේෂයක්. ලැබ්‍රඩෝලා විශේෂයෙන්ම මනුෂ්‍යයෝ කෙරෙහි බොහොම ආදරණීයයි. ශරීර ප්‍රමාණයෙන් කොයි තරම් විශාල වුනත්, ලැබ්‍රඩෝ බල්ලෙක් අර ලැප් ඩෝග් කෙනෙක් වගේම අපේ උකුලේ උණුසුම් වෙන්න වුනත් උත්සාහ කරයි. ඒ වගේම ලැබ් කෙනෙක් අපි දුකින් ඉන්න වෙලාවක ලඟට ඇවිල්ලා අපිට ආදරේ කරන්න, අපිට තුරුළු වෙන්න දක්ෂයි. ඇත්තටම තෙරපි බල්ලෝ විදියටත් ලැබ්‍රඩෝලා සුදුසු වෙන්න ලොකු හේතුවක් තමයි මේ අයගේ තියෙන අව්‍යාජ ආදරණීය හැසිරීම.

 

4. ජීවයෙන් පිරුණු ලැබ්‍රඩෝ බල්ලෝ!

මේක ඇත්තටම ලැබ්‍රඩෝ බල්ලෙක්ව හදන්න ගන්න හිතන කෙනෙක්ට ප්ලස් පොයින්ට් එකක්ද, මයිනස් පොයින්ට් එකක්ද කියන එක තීරණය වෙන්නේ ඒ ඒ පුද්ගලයා අනුව. සාමාන්‍යයෙන් ලැබ්‍රඩෝ බල්ලෙක් උපරිම ජීවයෙන් පිරුණු, සමහර වෙලාවට පිස්සු හැදිලා වගේ දුවන පනින දඟලන බල්ලෙක්. හැබැයි ඒ නිසාම ඉතාම පුංචි ඉඩක හදන්න නම් ලැබ්‍රඩෝ කෙනෙක් සුදුසු වෙන එකක් නෑ. ඒත් පොඩ්ඩක් දුවන්න පනින්න ඉඩ තියෙන තැනක ලැබ්‍රඩෝ කෙනෙක් හදනවා නම්, මේ අයගේ තියෙන මේ ජීවයෙන් පිරුණු ගතිය අහල පහල ඉන්න අයටත් බෝ වෙනවා. කොයි තරම් අප්සට් දවසක වුනත් තමන්ගේ ලැබ්‍රඩෝ හුරතලා ප්‍රීතියෙන් නටනවා දැක්කහම ඒ කම්කටොලු අමතක වෙනවා කියන එක පුදුමයක් නෙවෙයි.

 

5. ස්වාමියාටත් එක්සයිස් කරවන ලැබ්‍රඩෝ බල්ලෝ!

මේ කාරණාවත් උඩින් කියපු කාරණාවට සම්බන්ධයි. ලැබ්‍රඩෝ බල්ලෙක්ට තියෙන ජීවයෙන් පිරුණු ගතිය නිසාම, නීරෝගීව හැදෙන්න වැඩෙන්න නම් ලැබ්‍රඩෝ කෙනෙක්ට හොඳට ව්‍යායාම අවශ්‍යයි. ඒ නිසාම හොඳම දේ තමයි ලැබ්‍රඩෝ කෙනෙක්ව ඇවිදින්න එක්කගෙන යන එක. එහෙම නැතිනම් පාක් එකකට එක්කගෙන යන එක. එතකොට මේ ලැබ්‍රඩෝට එක්සයිස් ලබාදෙන එකෙන් අපිට තියෙන වාසිය තමයි, අපිටත් ඉබේම හොඳ එක්සයිස් එකක් ලැබෙන එක. අනික ඒක තනියෙන් ගන්න එක්සයිස් එකක් නොවෙන නිසා, ඊට වඩා තමන්ගේ බලුරාළත් එක්ක සෙල්ලම් කිරීමක් වගේ දැනෙන නිසා ඒක වඩාත් විනෝදජනකයි.

 

6. ගෘම් කරන්න සල්ලි වියදම් නොවෙන ලැබ්‍රඩෝ බල්ලෝ!

බල්ලෙක්ව ගෘම් කරනවා කියන්නේ, එයාගේ ලෝම කෝට් එක හොඳට පීරලා කරලා, වැඩි ලෝම කපලා කරලා තියාගන්න එක. මේක වෘත්තිය වශයෙන් කරන අය හිටියත්, ඒවලට ටිකක් සල්ලි යනවා. හැබැයි ලැබ්‍රඩෝ කෙනෙක්ට එහෙම වියදම් යන්නෙ නැහැයි කියලා තමයි ලැබ්‍රඩෝ අයිතිකාරයෝ කියන්නේ. ඒකෙන් කියවෙන්නේ ලැබ්‍රඩෝ කෙනෙක්ව ඔහේ අත ඇරලා තියන්න ඕන කියන එක නෙවෙයි. ලැබ්‍රඩෝ බල්ලෙක් වුනත් පව්ඩර් දාලා, ලොම් පීරලා ඒ කරන සාත්තු සප්පායම් සතියකට දෙකකට සැරයක් කරන්න ඕන. හැබැයි දීර්ඝව ලෝම වැවෙන බල්ලොන් එක්ක වගේ මේ වැඩේ කිසිසේත්ම අසීරු නෑ. සතියකට පැය කීපයක් ලෝම පීරන්න ඕන නෑ.

 

7. අනික් හුරතලුන් එක්කත් කොකු දාගන්නෙ නැති ලැබ්‍රඩෝ බල්ලෝ!

සාමාන්‍යයෙන් ලැබ්‍රඩෝ බල්ලෙක්ගේ තියෙන මිත්‍රශීලී, කාරුණික ගති ලක්ෂණ නිසාම මේ කට්ටිය අනික් සත්තු එක්ක ගේම ඉල්ලන්න යන්නෙ නෑ. සමහර වෙලාවට ඔය පූසෙක් කුරුල්ලෙක් දැක්කොත් සෙල්ලම් කරන්න බලයි. හැබැයි හපා කන්න යන්නේ, එළවලා දාන්න යන්නෙ නෑ. අන්න ඒ නිසා ගෙදර තවත් හුරතල් බල්ලෙක් හරි වෙනත් සතෙක් හරි ඇති කරනවා නම්, ලැබ්‍රඩෝ බල්ලෙක්ගෙන් ඒ අයට හිරිහැරයක් හානියක් වෙන්නෙ නෑ කියලා බය නැතුව කියන්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් දේ තමයි ලැබ්‍රඩෝ කෙනෙක් ඒ අයත් එක්කත් යාලු වෙන එක.

 

8. සෞඛ්‍ය සම්පන්න ලැබ්‍රඩෝ බල්ලෝ!

සාමාන්‍යයෙන් ඔය වල්ටේෂන් කෙනෙක් හදනකොට ඒ අයගේ ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් වද වෙන්න කාරණාවක් ඇතිවෙන්නේ නැති තරම්. ඒත් බ්‍රීඩ් වල බල්ලෝ එක්ක එහෙම බෑ. ඒ අය අසනීප වෙන්න බලනවා. ඒ ඒ බ්‍රීඩ් වල අයට නියමිත තත්ව යටතේ වටාපිටාව පවත්වා ගන්න ඕන. හැබැයි ලැබ්‍රඩෝලව ඇති කරන අය කියන්නේ මේ ගොල්ලෝ අසනීප වෙන්නේ නැති තරම් කියලා. හැබැයි ඉතින් අර උඩින් කියපු විදියටම ලැබ්‍රඩෝලට හොඳට ව්‍යායාම ලබාදෙන්න ඕන. එහෙම නැතිනම් කොහොමත් ප්‍රමාණයෙන් විශාල ලැබ්‍රඩෝ බල්ලෙක් ඉක්මනට තරබාරු වෙන්න බලනවා. එතකොට නම් ඉතින් ලෙඩ තමයි. හැබැයි ඒ ඇරෙන්න අනෙක් බලු වර්ග එක්ක බලනකොට ලැබ්‍රඩෝ රිට්‍රීවර් කෙනෙක්ව අසනීප වෙන්නේ සාපේක්ෂව ඉතාම අඩුවෙන්. ඔය පශුවෛද්‍යවරයා නියම කරන එන්නත්, විටමින් ටික හරියට දීලා, ව්‍යායාම ලබාදීලා, කෑම හරි විදියට දීලා, නියම කාලෙට පශුවෛද්‍යවරයා ලඟට එක්කරගෙන ගිහිල්ලා බලාගන්නවා නම්, ලැබ්‍රඩෝ කෙනෙක්ගේ සෞඛ්‍යය ගැන කරදර වෙන්න ඕනම නැතිවෙයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *