පාඨක සටහන් – පැරණි බොලිවුඩ් දුෂ්ට නළුවන් ගැන රසකතා

Lifie පාඨක නිලාන් වෙත්තසිංහ මහතා විසින් පළකරන ලද රසවත් සටහනක් පාඨක ඔබේ රසවින්දනය උදෙසා අපි විසින් මෙසේ පළකරනු ලබනවා.

 

මම ආසම කරපු බොලිවුඩ් දුෂ්​​ඨයන් දෙදෙනා තමයි ප්‍රේම් චොප්රා සහ රංජිත්. ඔවුන් දෙදෙනාම සිනමාවට එකතු වෙන්නේ 1960 දශකයේ. ප්‍රේම් චොප්රා, චිත්‍රපට වල ප්‍රධාන පෙම්වතාගේ චරිතය රගපාන්න පුළුවන් තරම් කඩවසම්කම තිබුන නළුවෙක්. ඔහු රාජේශ් ඛන්නා සමග කරට කර රඟපෑ (සායිෆ් අලි ඛාන්ගේ මව වන ශර්මිලා තාගෝර් සහ රාඛි ප්‍රධාන චරිත රඟපෑවා) “ඩාග්” චිත්‍රපටය ලංකාවේ අතිශය ජනප්‍රිය වුණා.  ඒ සඳහා ජාතික ගුවන් විදුලියේ වෙළඳ සේවයෙන් ප්‍රචාරය කළ බණ්ඩාර කේ. විජේතුංග කටහඬ සැපයූ “ළඳුනි මට සමාවෙන්න, මා ඔබට ද්‍රෝහි වූවා නොවේ. පියෙක් නැති දරුවෙකුට පියෙක් වුවා පමණි” කියන දෙබස් ඛණ්ඩය සහිත වෙළඳ දැන්වීම කොයි තරම් ජනප්‍රිය වුණාද කියනවා නම් ඒ චිත්‍රපටය බලන්න මිනිස්සු මරදානේ නිව් ඔලිම්පියා සිනමා ශාලාවට ගියේ පොර කකා. 

ඒ වගේම මා ප්‍රිය කරන අනෙක් හිංදි දුෂ්ඨ නළුවා වන රංජිත් සුපිරි දුෂ්ඨ නළුවෙක්. ඔහු වඩාත් ජනප්‍රිය වුණේ චිත්‍රපට වල පෙම්වතියව පැහැර ගෙන ගොස් බලහත්කාරකම් කරන දර්ශන වලට. බොහෝ නිළියන් කියලා තියෙනවා ඔවුන් එවැනි දර්ශන රංජිත් සමග රඟපෑමට වැඩි කැමැත්තක් දක්වන බව ඒ ඔහු එවැනි දර්ශන ඉතාමත්ම සංයමයකින් සහ නිළියගේ ගරුත්වය රැකෙන ලෙස රඟපෑ නිසා. වරක් රංජිත් හිංදි සිනමා සඟරාවකට පවසා තිබුනා, තමන් බොම්බාය නගරයෙන් ඉතා දුර බැහැර ගම්බද පෙදෙසකින් පැමිණි කෙනෙක් නිසා ඔහුගේ පවුලේ අයට චිත්‍රපට ක්ෂේත්‍රය ගැන අවබෝධයක් නොතිබුණ බවත්, සිනමාවට පැමිණි මුල් යුගයේ, ඔහු දුෂ්ථ චරිත රඟපෑ චිත්‍රපටයක මංගල දර්ශනය නැරඹීමට තම මවත් රැගෙන ගිය බවත්. එම චිත්‍රපටයේ එක් දර්ශනයක් තිබිලා රංජිත්, කෙල්ලව පැහැර ගෙන ගොස් පාළු ගොඩනැගිල්ලක් තුළ ඇගේ හැට්ටය ඉරා දමා බලහත්කාරකමක් කරන දර්ශනයක්. මෙය නරඹමින් සිටි රංජිත්ගේ මව මහ හයියෙන් විලාප දෙමින්, තමන් කුඩා කල සිට ආදරයෙන් ගුණගරුක යුතුකම් කියා දෙමින් හැදූ තමන්ගේ පුතා, මෙපමණ පිරිසක් ඉදිරියේ ලැජ්ජාවක් නැතිව අහිංසක  කාන්තාවකට බලහත්කාරකම් කරන්න තරම් පහත් තත්ත්වයකට පත් වූයේ කෙසේදැයි කියමින් රංජිත්ගේ කම්මුලට ගසා මහ හඬින් වැළපෙන්න පටන් ගත් බව පැවසෙනවා. එහිදී එම චරිතය රඟපෑ නිළිය එම ස්ථානයට පැමිණ රංජිත්ගේ මවව සනසා, එය රඟපෑමක් පමණක් බවත්, රංජිත් සහ ඇය ඉතාමත්ම හොඳ මිතුරන් බවත් ඇයට තේරුම් කර දී තිබෙනවා…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *