විවාහයකින් දෙන්නෙක් බැඳෙන්නෙ ඔවුන් දෙදෙනාගේ අදහස් බොහෝ දුරට සමාන නිසයි. සමහර අවස්ථාවලදී නම් ඔවුන් විවාහයෙන් පස්සේ තමයි තේරුම් ගන්නේ තමන්ගේ අදහස් ගැළපෙන්නෙ නැහැ කියලා. ඒ වගේ විවාහ නම් ඉතින් දික්කසාදවලිනුත් කෙළවර වෙනවා. හැබැයි අපි අද නම් කතා කරන්න යන්නේ ඒ වගේ දික්කසාද ගැන නම් නෙමෙයි. අපි කතා කරන්න යන්නේ අදහස් අතින් වගේම දක්ෂතා අතිනුත් සමාන වෙච්ච විවාහක යුවළවල් කීපදෙනෙක් ගැන. දක්ෂතාවය තමයි ලේඛන හැකියාව.
1. ලෙනාඩ් වුල්ෆ් සහ වර්ජිනියා වුල්ෆ්
අපි මේ ලයිස්තුවට යොදාගන්න මුල්ම යුවළ නම් ලංකාවේ දෙන්නෙක් නෙමෙයි. හැබැයි මේ අඹු සැමි යුවල අතරින් සැමියා වුණු ලෙනාඩ් වුල්ෆ් නිසා ලංකාව කියන රට විශ්ව සාහිත්‍යයේ නොමැකෙන ස්මරණයක් වීමට හේතු වුණා. ඒ තමයි ඔහු අතින් ලියැවුණු The Village in the Jungle කෘතිය. ලංකාවෙදි නම් මේ පොත ජනප්‍රිය වුණේ ඒ.පී ගුණරත්න අතින් බැද්දේගම විදිහට පරිවර්තනය වීම නිසා. ඔහුගේ බිරිඳ වුණු වර්ජිනියා වුල්ෆ් ලංකාව සම්බන්ධයෙන් කිසිවක් ලියා නැහැ. නමුත් ඇයව සැලකෙන්නේ විසි වැනි සියවසේ බිහිවුණු විශිෂ්ටතම ලේඛිකාවන් අතරින් එක් අයෙක් විදිහට. ඇගේ රචනා අතර Mrs Dalloway, To the Lighthouse, Orlando, A Room of One’s Own, The Waves ප්‍රධාන තැනක් ගන්නවා.
2. ජේ.බී දිසානායක සහ කුසුම් දිසානායක
ජේ.බී දිසානායක මහාචාර්යතුමාව නම් මේ ලිපිය කියවන ඔයාලට අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන කියලා අපි හිතන්නේ නැහැ. එතුමා ඒ තරම් සිංහල භාෂාව ඒ ගැන වගේම සිංහල සංස්කෘතිය ගැන සිංහලෙනුත් ඉංග්‍රීසියෙනුත් පොත පත ලියලා තියෙනවා. එතුමාට තමන්ගේ බිරිඳව මුණගැසෙන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී. ඒ දවස් වල දී ඇය ඔහුගේ ශිෂ්‍යාවක්. ඒ පන්තියට ඔහු උගන්වන මුල්ම කෘතිය තමයි මුවදෙව්දාවත. පස්සේ කාලෙකදි ඇය මුවදෙව්දාවත ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා. ඒ වගේම රවීන්ද්‍රනාත් තාගෝර් පඬිතුමාගේ ගීතාංජලිය පරිවර්තනය කිරීම ඇය අතින් සිදුවුණු විශිෂ්ට කාර්යභාරයක්. ජේ.බී දිසානායක නමැති විශිෂ්ඨයාගේ සාර්ථකත්වය පසු පසින් හිටපු ඇය නමින් කුසුම් දිසානායක.
3. සුනන්ද මහේන්ද්‍ර සහ සීතා මහේන්ද්‍ර
සුනන්ද මහේන්ද්‍ර මහත්මයා බොහෝ ක්ෂේත්‍රවල පැතිරුණු දක්ෂතා සහිත පුද්ගලයෙක්. කවියෙක් නවකතාකරුවෙක්, නාට්‍ය රචකයෙක් විදිහට එතුමා සිංහල සහ ඉංග්‍රීසි දෙබසින්ම අපේ සාහිත්‍යය පෝෂණය කිරීමට සුවිශාල මැදිහත්වීමක් කරනවා. සුනන්ද මහේන්ද්‍ර මහත්මයා වතාවක් කියලා තිබ්බා තමන්ගෙ බිරිද බවට පත්වුණු සීතා මහේන්ද්‍ර මහත්මිය මුල් වතාවේ තමන්ට අකමැති බව ප්‍රකාශ කිරීම නිසා වසරක් පුරා ලිපි 50 කට අධික ප්‍රමාණයක් ඇයට ලියූ බව. මේ නිසා තමන්ගේ නිර්මාණාත්මක හැකියාව වැඩිදියුණු වූ බව එතුමා කියන්නේ හිනාවෙමින්. සීතා මහේන්ද්‍ර මහත්මියත් දක්ෂ ලේඛිකාවක් වගේම පරිවර්තිකාවක්. ඈ විසින් කෙටිකතා සංග්‍රහ කීපයක් වගේම පරිවර්තන කීපයක් පාඨකයන්ට තිළිණ කරලා තිබෙනවා.
4. රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රී වික්‍රමසිංහ
මේ නම් දෙක කියෙව්වම මේ මොකක්ද මෙයා කියන්න යන්නේ කියලා හිතෙන්න ඇති නේද? එහෙමත් නැත්නම් මේ සටහන ලියන කෙනාට වැරදුනා කියලා හිතන්න ඇති නේද? නැහැ, බොහෝ දෙනා නොදන්නවා උනාට රනිල් වික්‍රමසිංහ මහතා කෘති කීපයක් රචනා කරල තියෙනවා. දේශපාලනය හා ධර්මය, අනාගත අභියෝග, කලියුගය මේ අතරින් කීපයක්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ බිරිඳ වුණු ආචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියත් කෘති කිහිපයක කතුවරියක්. “Towards Gender Equity / Equality: A Scan of gender Sensitive Laws සහ Policies and Programmes in Sri Lanka” ඒ තමයි ඇය මෑතකදීම රචනා කරපු කෘතිය. ඇයගේ සියලුම කෘතිවලට මාතෘකාව වෙලා තියෙන්නේ ස්ත්‍රීන්ට සම අයිතිවාසිකම් ලැබීම පිළිබඳව.
5. දයා අල්විස්, සෝමපාල රණතුංග/ ප්‍රේමකීර්ති ද අල්විස්
සෝමපාල රණතුංග මහත්මයා තමන්ගේ කෙටි ජීවිත කාලයක දී “ඇස් දෙක” කෘතිය රචනා කිරීම නිසා තමන්ගේ නම අමරණීය කළා. ඉතා මෑත කාලයේ දී ඔහුගේ තවත් කෘතියක් “ශෛලකල්‍යාණී” නමින් මුද්‍රණයෙන් පළ වුණා. ඔහුගේ මරණයෙන් පස්සේ ඔහුගේ බිරිඳ වුණු දයා අල්විස් මහත්මිය දෙවැනි විවාහයක් කර ගත්තා. ඒ ලංකාවේ ජනප්‍රියතම ගීත රචකයා විදිහට සැලකෙන ප්‍රේමකීර්ති ද අල්විස් සමඟ. ප්‍රේමකීර්තිත් “නොසැලෙන් ඉන්ද්‍රඛීලයක් සේ” වගේ කවි පොත් රචනා කරපු අයෙක්. පසු කලෙක දී මේ විවාහය බිඳ වැටෙනවා. දක්ෂ ගී පද රචිකාවියක් වූ දයා ද අල්විස් මහත්මිය තමන්ගේ ජීවිත අත්දැකීම් අළලා කෘතියක් රචනා කරනවා, ඒ තමයි “එකෝමත් එක දවසක්”.
6. ගුණදාස ලියනගේ සහ චන්ද්‍රලතා ලියනගේ
ගුණදාස ලියනගේ කියන්නේ අපේ රටේ බිහිවෙච්ච විශිෂ්ටතම ජනමාධ්‍යවේදියෙක්. ලංකාවේ පුවත්පත් ක්ෂේත්‍රයට නව මානයන් රැසක් විවර කරලා දුන්නා වගේම ඔහු විවිධ චරිතාපදාන කෙටිකතා වගේම නවකතාත් රචනා කළා. මෑතක දී ඔහු අතින් ලියැවුණු නවකතාවක් වුණු “දෝන කමලාවති” සිනමාවට නැගීමක් පිළිබඳව කතාබහක් ඇති වුණා. ඔහුගේ බිරිඳ වුණු චන්ද්‍රලතා ලියනගේ මහත්මිය, අධ්‍යාපනඥවරියක්. ඇය ළමා කතා ගණනාවක් රචනා කළ අතර පෙළපොත් සම්පාදනයේදීත් බොහෝ අවස්ථාවල ඇය මූලිකත්වය අරගෙන ක්‍රියා කළා.
7. රුවන් බන්දුජීව සහ ධනුෂ්කා නිෂාදි
මේ ලැයිස්තුවට අපේ පරම්පරාවේ පොත් ලියන දෙන්නෙක්වත් ඇතුළත් කරන්න ඕන කියලා අපි හිතුවා. රුවන් බන්දුජීව කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් අපේ “පරම්පරාවේ කවියා” විදිහට හඳුන්වන්න පුළුවන්. රුවන්ගේ “මීළඟ මීවිත”නොකියවපු කෙනෙක්, එහෙමත් නැත්නම් අවම වශයෙන් රුවන්ගේ කවියක් නොදැකපු කෙනෙක් සයිබර් අවකාශයේ ඉන්න විදිහක් නැහැයි කියලයි අපි හිතන්නේ. රුවන් විවාහ වුණේ කවියට පෙම් බැඳි “ධනුෂ්කා නිෂාදී කුලරත්න” එක්ක. එතකොට අපි ධනුෂ්කාව අඳුනගෙන හිටියේ “සඳ මුඳුව මැවෙන්නැති” කාව්‍ය සංග්‍රහයේ රචිකාව විදිහට. දෙන්නා දැන් එක වහලක් යට ඉන්න එකේ අලුත් කවි පොත් කීපයක් දෙන්නම නිකුත් කරයි කියලා අපි හිතනවා.
Leave a Reply