තමුන්ව ෆ්‍රෙන්ඩ්සෝන් කරලයි තියෙන්නේ කියලා දැනගන්න පුළුවන් ලක්ෂණ කීපයක්!

සාමාන්‍යයෙන් ඔය කොල්ලෙක්ට වෙන්න පුළුවන් නස්පැත්ති වලින් අවාසනාවන්තම එකක් තමයි, තමන් පණ නැහීගෙන සෙට් කරගන්න දඟලන තමන්ගේ ක්‍රෂ් එක බොහොම ලේසියෙන් තමන්ට “අපි යාලුවෝ වගේ ඉම්මු” කියලා ෆ්‍රෙන්ඩ්ෂිප් සීන් එකට එන්න කියන එක. මෙතනදී කෙල්ලෙක් අපිව කෙළින්ම ප්‍රතික්ෂේප නොකර යාලුවෝ වගේ ඉමු කියන්නේ එක්කෝ අපිට වඩා හිත ගියපු වෙන කොල්ලෙක් ඉන්න නිසා, එහෙම නැතිනම් අනාගතේදී හරි අපිට වඩා හිත යන කොල්ලෙක්ව බලාපොරොත්තු වෙන නිසා වෙන්න පුළුවන්. හැබැයි බෝයිෆ්‍රෙන්ඩ් කරගන්න අකමැති වුනත් අපේ තියෙන මොකක් හරි දේකටත් කෙල්ල කැමති නිසා අපිව යාලුවෙක් විදියට නැතිකරගන්න කැමතිත් නෑ. හැබැයි ඉතින් ඕක මොනවා කිව්වත් කොල්ලෙක්ට වෙන්න පුළුවන් අවාසනාවන්ත අබග්ගයක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ආන්න ඒ නිසා තමන් පණ ඇරගෙන ලව් කරන කෙල්ලත් අපි මේ කියන ලක්ෂණ පෙන්නනවා නම් එන්නේ යාලු මාලු සීන් එකකට කියලා කියන්න පුළුවන්. එහෙම යාලු මාලු සීන් එකක් කියලා දැනගත්තු ගමන් අපිට තීරණයක් ගන්නත් පුළුවන්!

 

1. හම්බුවෙන්න ඕනම නැහැනෙ අනේ!

ඔන්න දැන් එයා අපිත් එක්ක ෆෝන් එකෙන් නම් සෑහෙන්න කතා කරනවා. දවසේ වෙච්ච දේවල් කියනවා, දුක්ගැනවිලි කියනවා. ඒත් මුණගැහෙන්න කතා කළොත් ආන්න බැහ් ගානවා. කෙලින්ම බෑ කියන එකකුත් නෑ. ඒත් කොහොම හරි කරලා, මොකක් හරි හේතුවක් දීලා හම්බුවෙන එක නොකෙරෙන තැනටම වැඩ සිද්ධ කරනවා. වෙන විදියකින් කියනවා නම් අපිව මුණගැහෙන්න, මුණගැහිලා කතා බහ කරන්න හෝ අපිත් එක්ක කොහේ හරි යන්න හෝ උනන්දුවක් තියෙනවා කියලා අපිට පේන්නෙ නෑ. එහෙම අපිව මුණ ගැහෙන්න බැරි වෙනත් බාහිර හේතුවකුත් නැතිනම්, ඔන්න අපිට ප්‍රවේසම් සහගතව හිතාගන්න පුළුවන් අපි ඉන්නේ ෆ්‍රෙන්ඩ්සෝන් එකේ කියලා.

 

2. මම අර අයියට ක්‍රෂ් අනේ!

අපි පණ නැහීගෙන ට්‍රයි කරන ක්‍රෂ් එක, එයා වෙන කොහේවත් යන මරුමුස් කොල්ලෙක්ට තියෙන ක්‍රෂ් එකක් ගැන අපිත් එක්ක විස්තර කියන එක වගේ අභාග්‍යයක් වෙනත් තියෙනවද පිංවතුනි? හැබැයි ඉතින් අපිව අර බෝයිෆ්‍රෙන්ඩ් පොසිෂන් එකට ගන්නෙ නැතුව ෆ්‍රෙන්ඩ් පොසිෂන් එකට දාගන්න එනකොට, දමලා ගහලා යන්නෙ නැතුව නැහී ගෙන ෆ්‍රෙන්ඩ්ස් වුනත් කමක් නෑ කියලා හිටියොත් ඉතින් ඔන්න ඔය දෛවයට තමයි මූණ දෙන්න වෙන්නේ. අර ෆිල්ම් වල පෙන්නන කෙල්ලගේ හොඳම Gay යාලුවා වගේ, අපිටත් සිද්ධ වෙන්නේ කෙල්ලගේ හිත ගිහින් තියෙන ක්‍රෂ් එකේ විස්තර වලට බකමූණා වගේ ඇහුම්කන් දෙන්න තමයි. කොහොමත් මෙහෙම සීන් එකක් පටන් ගන්නකොටම අපිට හිතාගන්න පුළුවන් කෙල්ල අපිට ක්‍රෂ් නෑ, අපිව ෆ්‍රෙන්ඩ්සෝන් කරන්න තමයි මේ යන්නෙ කියලා!

 

3. මම ඔයාට ඉන්නවා සුදූ! වෙලාවක් තිබ්බොත් ඔයාට මාත් ඉන්නවා!!

සාමාන්‍යයෙන් ඉතින් හිත ගියපු කෙල්ලෙක්ට ලව් කරනකොට ආයෙ ඉර හඳ වුනත් ගලවලා ගෙනැල්ලා දෙන්නම් කියන ලෙවල් එකෙන්නේ පටන් ගන්නේ. හැබැයි කොල්ලා එහෙම වුනාට කෙල්ල එහෙම නෙවෙයි නම්, විශේෂයෙන්ම අපිත් එක්ක කතාබහ කරලා, එයාගේ දුක සැප කියාගෙන, ඉමෝෂනල් සපෝට් එකට අපිව තියාගෙන හිටියත්, කවදාවත් අපිට ඕන වෙලාවකට කතා කරන්නවත් නැහැයි කියන්නේ අනිවා අපි ගැන එහෙමට තැකීමක් නැහැයි කියන එක තමයි. එහෙම අපි ගැන තැකීමක් නැති නම්, අපිට වුවමනා වෙන වෙලාවකට කතා කරන්නවත් නැතිනම්, එතන ආයෙ ලව් එකක මල් ඵල හටගන්න විදියක් නෑ කියලා තේරෙනවනේ. එහෙම වෙනවා නම් එක්කෝ දමලා ගහලා යන්න වෙනවා. නැත්තං දුක් සුසුම් මැද්දේ ඔන්න ඔහේ කියලා ෆ්‍රෙන්ඩ්සෝන් එකේ ඉන්න වෙනවා!

 

4. ඔයාට හොඳ කෙනෙක් මුණගැහෙයි!

ඔන්න අපි කෙල්ලට ක්‍රෂ්. ඉතින් මේ ට්‍රයි එක උපරිමයෙන් දෙන දවස්. කෙල්ලත් අපි එක්ක කතාබහ කරනවා. ඔන්න කතා බහේදී කෙල්ල කියනවා “ඔයා හරිම හොඳ කෙනෙක් සිරිපාල අයියේ, ඔයාට ඉක්මනටම හොඳ කෙනෙක්ව ලැබෙයි” කියලා. ආන්න එතකොට සිරිපාල අයියේ, ඔයාගේ මොළේ අනතුරු අඟවන සංඥා ක්‍රියාත්මක වෙන්න ඕන. ඇයි එයා හොඳ කෙනෙක් නෙවෙයිද? ඇයි එයාව ලැබුණොත් මොකද වෙන්නේ? එහෙම ප්‍රශ්න අහලා තේරුමක් නෑ. අපිත් එක්ක යාලු වෙන්න කැමතියි කියලා කිසිම සංඥාවක් නොදී, අඩු තරමින් තමන්ගේ යාලුවෙක් එක්කවත් සෙට් කරන්නවත් මහන්සි නොවී “ඔයාට හොඳ කෙනෙක් ලැබෙයි” කියල කියලා දාන එකේ තේරුම තමයි “ඕන නං යාලුවෙක් වගේ ඉන්න” කියන එක!

 

5. ඕන දෙයක් ඔයාට කියන්න පුළුවන් අනේ!

කෙල්ලෙක් තමන්ට වුණු, වෙන කෙනෙක් එක්ක කියන්න අම්බානෙක ලැජ්ජා හිතෙන අවස්ථාවක්, දෙයක් වුනත් අපිත් එක්ක පැකිළීමක් නැතුව කියනවා නම්, ඒකෙන් දේවල් දෙකක් අදහස් වෙනවා. එකක් තමයි කෙල්ල අපිව හොඳම යාලුවෙක් විදියට “විශ්වාස කරනවා”! දෙක තමයි කෙල්ල අපිව “හොඳම යාලුවෙක්” විදියට විශ්වාස කරනවා!! මෙතනදී තත්වය උඩ කියලා තියෙන තරමටම දරුණු නොවුනත්, කේන්දරේ ලක් එකක් තිබිලා වෙනසක් නොවුණොත් අනිවාර්යයෙන්ම ෆ්‍රෙන්ඩ්සෝන් තමයි. මොකද සාමාන්‍යයෙන් කෙල්ලෙක් තමන්ගේ හිත ගියපු කොල්ලෙක් එක්ක තමන්ට ලැජ්ජා හිතෙන විදියේ දේවල් කියන්නේ කරන්නෙ නෑ. හැබැයි හොඳම යාලුවෙක් කියලා සලකන, විශ්වාස කරන එකෙක් එක්ක තත්ත්වේ වෙනස්.

 

6. යාලුවොත් ආවා අනේ මාත් එක්ක!

අපි උඩින්ම කිව්වනේ ෆ්‍රෙන්ඩ්සෝන් කිරිල්ලෙදී ගෑණු ළමයා අපිව මුණගැහෙන්න තියෙන වුවමනාව ඉතාම අඩුයි කියලා. හැබැයි ඉතින් මළාට මුණ නොගැහී ඉන්න එකක් නෑ. ඒත් ඒ මුණගැහීම අර ඩේට් අවුට් එකක් වෙන්නෙ නෑ කියන්නේ ෆ්‍රෙන්ඩ්සෝන් තමයි. ඒකට හොඳම උදාහරණයක් තමයි මුණගැහෙන්න එනකොට තව යාලුවෙක් දෙන්නෙක් එහෙමත් ඇදගෙන එන එක. එහෙම නැතිනම් මුණගැහෙන එක ඩේට් අවුට් එකකට වඩා යාලු ෆන් අවුට් එකක් කරගන්න එක. ඉතින් එහෙම වෙනවා කියන්නේ තවදුරටත් කෙල්ල ගැන බලාපොරොත්තු තියාගෙන වැඩක් නෑ කියන එක තමයි!

 

7. දුක් ගන්නා රාළ ඔයා තමයි!

ගෑණු ළමයෙක් එක්ක ආදරෙන් බැඳෙනවා කියන්නේ එයාගේ සතුටෙදී, දුකේදී ලඟින් ඉන්න එක තමයි. හැබැයි ට්‍රයි කරන කාලෙදිම අපිට දුක් ගන්නා රාළ පෝස්ට් එක හම්බුවෙනවා කියන්නේ, ඒ කිව්වේ හැම දුකක්ම, හිත් රිදීමක්ම කියන්න ඉන්න කෙනා බවට අපිව පත් කරගන්නවා කියන්නේ ක්‍රෂ් එකට කෙළවෙනවා කියන අනතුරු සංඥාවක් වගේ. හැබැයි මේක විශේෂයෙන්ම සැලකිල්ලට ගන්න වෙන්නේ උඩින් කියපු අනික් කාරණාත් එක්ක එකතු වෙලා එනකොට. අපි මෙහෙම කියමු. අපිත් එක්ක දුක්ගැනවිලි, හිත් තැවුල් විතරක් නම් ෂෙයාර් කරගන්නේ, වෙන ලව් ටෝක්, මල් ටෝක් මොකුත් නැතිනම් ආන්න අපිට හිතාගන්න පුළුවන් අපිව ෆ්‍රෙන්ඩ්සෝන් එකේ තමයි පාක් කරලා තියෙන්නේ කියලා.

 

මෙහෙම අපේ හිත ගියපු කෙල්ල අපිව ෆ්‍රෙන්ඩ් සෝන් කළොත් මොකද කරන්නේ? කරන්න තියෙන්නේ දේවල් දෙකයි. අපි ක්‍රෂ් කෙල්ල එක්ක යාලුවෙක් විතරක් වගේ ඉන්න එකෙන් හිත් රිදෙන එක ඇරෙන්න වෙන දෙයක් වෙන්නෙ නෑ කියලා හිතෙනවා නම් කරුණාකරලා එතනින් අයින් වෙලා යන්න. ආයෙ යාලුමිත්‍රකම් තියාගන්න ඕනෙත් නෑ. එහෙම නැතුව යාලුවෙක් වගේ ඉන්න එක තමන්ට අවුලක් නැතිනම් හොඳ යාලුවෙක් වෙලා ඉන්න. හැබැයි ඊට එහා දේවල් ඉල්ලන්නත් එපා, බලාපොරොත්තු වෙන්නත් එපා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *