ද්විත්ව චරිත රඟපෑ අපේ නළු නිළියෝ

ඩබල් ඇක්ටින් කියන්නේ අපේ සමාජ භාවිතාවේ දී ඉතාම හුරුපුරුදු වචනයක. යම් කිසි කෙනෙක් අපි ඉස්සරහ එක විදිහකටත් අනිත් අය ඉස්සරහ තවත් විදියකටත්, හැසිරෙනවා නම් අපි ඒ අයව හඳුන්වන්නේ ඩබල් ඇක්ටින් කරන පුද්ගලයෙක් එහෙමත් නැත්නම් ඩබල් ගේම් කාරයෙක් කියාලා. සැබෑ ජීවිතයේ දී අපි ඩබල් ඇක්ටින් කරන අයට කොයිතරම් අකමැති උනත් චිත්‍රපටි වලදී වගේම ටෙලි නාට්‍ය වලදී ඩබල් ඇක්ටින් අපිට ලබා දෙන්නේ අමුතුම ආශ්වාදයක්. ඔයා මුල් ම වතාවට පොඩි කාලෙදි ඩබල් ඇක්ටින් තියෙන චිත්‍රපටයක් හරි ටෙලි නාට්‍යයක් හරි බලද්දී දැනුනු විස්මය ගැන මතක් කර ගත්තොත් අපි කියන දේ හරියටම තේරෙයි.

Lifie අපි අද කතා කතා කරන්න යන්නෙ ඒ වගේ ඩබල් ඇක්ටින් කීපයක් ගැන.

 

1. රුක්මණී දේවි 

රුක්මණී දේවී ලංකාවේ පළවෙනි කතානාද චිත්‍රපට නිළිය විදිහට වාර්තාවක් පිහිටවලා තියෙනවා. ඒ වගේම සිනමාව සම්බන්ධව ඇය තව වාර්තා ගණනාවකට හිමිකම් කියනවා. ඒ අතරින් එක් වාර්තාවක් තමයි ලංකාවේ චිත්‍රපටයක පළමු වතාවට ද්විත්ව චරිත රඟපෑමට හැකිවුණ පළමු නිළිය විදිහට. මේ චිත්‍රපටිය තමයි උමතු විශ්වාසය. මවගේ සහ දුවගේ චරිතය මෙම චිත්‍රපටය තුළ ඇය නිරූපණය කරනවා. ඊට පසුවත් නැවත වතාවක් ඇය ද්විත්ව චරිත රඟපාන්නේ සිරියලතා චිත්‍රපටියේ.

 

2. ශේෂා පලිහක්කාර 

සිංහල සිනමාවේ ද්විත්ව චරිත නිරූපණය කරන්න සමත්වුණු පළමුවෙනි නළුවා විදිහට වාර්තා පොත් අතරට එකතුවෙන්නේ ශේෂා පලිහක්කාර. ඒ මාතලන් චිත්‍රපටියේ. එම චිත්‍රපටය තුළ ඔහු පියාගේ සහ පුතාගේ චරිත රඟපානවා. නමුත් එවකට පැවති  රංගනය පිළිබඳව තිබුණු ආකල්ප ගැන කණගාටුවට පත්වන ශේෂා, මේ නිසාම තමන් ගේ රඟපෑම් ගැන සෑහීමකට පත් වන්නේ නෑ. මේ නිසාම පස්සේ කාලෙක දී ඔහු තමන්ගේ මිතුරන් එක්ක එකතු වෙලා සෙරන්ඩිබ් නමින් සිනමා සමාගමක් පටන් අරගෙන ලංකාවේ සිනමාව වෙනස්ම මඟකට ගෙනියන්න කටයුතු කරනවා.

 

3. ගාමිණී ෆොන්සේකා 

ආත්ම පූජා, රත්තරන් අම්මා වගේ චිත්‍රපටි කිහිපයක ගාමිණි ෆොන්සේකා මහත්මයා ද්විත්ව චරිත රඟපාලා තියෙනවා. නමුත් ඔහුගේ විශිෂ්ටතම ද්විත්ව රංගනය තමයි ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරපු “සාගරයක් මැද” චිත්‍රපටයේ  ඔහු සිදු කරපු රඟපෑම. වෘත්තීයෙන් දොස්තරවරයෙකු වූ මොලදණ්ඩගේ චරිතයත් අමානුෂික දේශපාලනඥයෙකු වූ රාමනායක ගෙ චරිතයත් ඔහු විසින් සාර්ථකව නිරූපණය කළා. මෙම චිත්‍රපටය ලංකාව තුළ මහත් ආන්දෝලනයකට ලක් වුණේ එම දේශපාලනඥයාගේ චරිතය තුළින් සමගි පෙරමුණු රජයේ ප්‍රබල ප්‍රබල අමාත්‍යවරයෙකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ චරිතය නිරූපණය වන බවට ඇති වුණු කතාබහ හේතුවෙන්.

 

4. බැප්ටිස්ට් ප්‍රනාන්දු 

බැප්ටිස්ට් ප්‍රනාන්දු කියන්නෙත් අපේ සිනමාව සුන්දර කරපු දුෂ්ටයෙක්. පස්සේ කාලෙකදී නම් එතුමා වීරයාගේ චරිතත් රඟපෑවා. එතුමාගේ සිනමා ගමන ඇරඹිලා තියෙන්නේ අහම්බයකින්. එස්.ඒ ප්‍රනාන්දු නම් යාලුවෙක් යවපු ඉල්ලුම්පත්‍රයක් නිසා තමයි ඔහුට සිනමාවේ දොරටු විවර වෙන්නේ. මේ විදිහට පෙරකදෝරු බෑනා චිත්‍රපටයෙන් තමන්ගේ සිනමා ගමන අරඹන බැප්ටිස් ප්‍රනාන්දුට ලැබෙන්නේ වෙන කිසිම නළුවෙකුට නොලැබුණු තරමේ දුර්ලභ ගණයේ අවස්ථාවක්. ඒ තමයි තමන්ගේ ප්‍රථම චිත්‍රපටයෙන්ම ද්විත්ව චරිත රඟපෑමේ අවස්ථාව. ඒ පොලිස් නිලධාරියෙක් විදිහට සහ මැරවරයෙක් විදිහට

 

5. විජය කුමාරතුංග 

විජේ කුමාරතුංග මහත්මයාත් අවස්ථා ගණනකදී ද්විත්ව චරිත රඟපෑවත් එක්තරා චිත්‍රපටයක එසේ රඟපෑම සුවිශේෂී වෙනවා. ඒකට හේතුව වෙන්නේ ඔහුගේ රඟපෑමටත් වඩා එම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය විදිහට රඟපෑවේ හින්දි සිනමාවේ එවකට ජනප්‍රිය නිළියක් වුණු තනූජා වීම නිසා. (තනූජා කාජල්ගේ මවයි) පෙරලිකාරයෝ චිත්‍රපටයේ ඔහු රඟපෑ චරිත දෙකේ නම් “විජේ සහ සැම්සන්” වුණා.

 

6. විජය නන්දසිරි 

විජය නන්දසිරි මහත්මයා චිත්‍රපටිවල වගේම ටෙලිනාට්‍ය වලත් විවිධ අවස්ථාවලදී ද්විත්ව චරිත රඟපෑවා. නෝනාවරුනි මහත්වරුනි, යස් බොස් වගේ හාස්‍යෝත්පාදක මාලා නාට්‍යවල ඇතැම් කතාංග වල එතුමාගේ ද්විත්ව චරිත මතුවුණා. සිනමාවේ දී ගත්තොත් “කෝ මාර්ක්, නෝ මාර්ක්” චිත්‍රපටයේ ඔහු දේශපාලනඥයෙක් ගේ චරිතය සහ නිර්ධන පන්තියේ ඔහුගේ චරිතය නිරූපණය කළා. “එල ඩබල” ඔහු විසින් ද්විත්ව චරිත නිරූපණය කළ තවත් චිත්‍රපටයක්.

 

7. මීනා කුමාරි 

කලින් අපි සඳහන් කරපු සියලුම ද්විත්ව චරිත වගේ සාර්ථක ද්විත්ව චරිත නිරූපණය කිරීම්. මේ නිසා අපි හිතුවා අවසාන වශයෙන් අසාර්ථක වුණු ද්විත්ව චරිත රංගනයක් ගැනත් සටහනක් තියන්න. ඒ ද්විත්ව චරිත ඇතුළත් වුණේ සිරස ටීවී මගින් විකාශනය වුණු “වසූදා” ටෙලි නාට්‍යය තුළ. ප්‍රේක්ෂකයා වෙහෙසවන මට්ටමේ දීර්ඝබවකින් යුක්ත වුණු මේ ටෙලි නාට්‍යයේ තිර පිටපත  සිතාගත නොහැකි අන්දමේ අවුල් තත්ත්වයකට පත් වුණා. එක්තරා අවස්ථාවක දී වසුදාගේ වැඩිමහල් දියණිය ලෙස ද පැමිණියේ වසුදා ගේ චරිතය රඟපෑ මීනා කුමාරිමයි.

 

එහෙම නම් වෙනදා වගේම ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *