ලාංකීය සිනමාවේ දුෂ්ඨ නොවුණු දුෂ්ඨයෝ

පහුගිය සති කිහිපය තිස්සේම අපි සිංහල සිනමාවේ සුන්දර මාතෘකා ගැන කතා කළා. ඒ කිව්වේ පෙම්වතියෝ, පෙම්වත්තු, මිත්තණියෝ  වගේ අය ගැන. අද අපි කතා කරන්න යන්නේ දැක්කම කේන්ති යන පිරිසක් ගැන. ඒ අය කෙරෙහි කේන්තියක් වගේම වෛරයක් අපේ හිතලා ඇති වුණේ ඒ අයගේ රංගනයේ විශිෂ්ටත්වය නිසා. මේ අයගේ ඒ හැකියාව නිසා හැමදාම දුෂ්​ඨ චරිතය ඒ අයට උරුම වුණා. හැබැයි මේ සියලු දෙනාම පාහේ සැබෑ ජීවිතයේදී නම් ඉතාමත් සුන්දර චරිත. Lifie  මේ සටහන අපේ සිනමාව දුෂ්​ඨකමින් සුන්දර කරපු දුෂ්​ඨයෝ කීපදෙනෙක් ගැන. 

 

1. ඩොමී ජයවර්ධන 

සිංහල සිනමාවේ විශිෂ්ටතම දුෂ්ඨයා විදිහට හඳුන්වන්න පුළුවන් නළුවා තමයි ඩොමී ජයවර්ධන. සුජාතා චිත්‍රපටයෙන් ඔහු දුෂ්​ඨ චරිත රඟපෑම පටන් ගන්නවා. ඔහුට ඒ දුෂ්​ඨ ලේබලයෙන් මිදෙන්න ලැබෙන්නේ එකම එක අවස්ථාවකදී විතරයි. ඒ “සැමියා බිරිඳගේ දෙවියාය” චිත්‍රපටියේ රුක්මණී දේවියගේ සැමියා විදිහට කළ රඟපෑමෙන් පමණයි. “දරු දුක, ආත්ම පූජා, චණ්ඩියා, සුහද දිවි පිදුම” වගේ චිත්‍රපටි ගණනාවක දුෂ්ඨයා වෙන්නට ඔහුට හැකියාව ලැබුණා. ඒ වගේම ඔහු චිත්‍රපටි කීපයක්  අධ්‍යක්ෂණය ද සිදු කළා. ශාන්ති ලේඛා, කරුණාරත්න අබේසේකර වැනි අයට සිනමාවේ දොරටු විවර කරලා දුන්නෙත් ඩොමී ජයවර්ධන විසින්.

 

2. මර්වින් ජයතුංග 

හෙන්රි ජයසේන මහතාගේ වේදිකා නාට්‍යවලින් කලාවට අත්පොත් තබපු මර්වින් ජයතුංග, සිනමාවට සම්බන්ධ වෙන්නේ “විස්මය” චිත්‍රපටයෙන්. ඒ සටන් නළුවෙක් විදිහට. ඊට පස්සේ “පෙම්බර මධූ , චණ්ඩි පුතා” වගේ චිත්‍රපටිවලින් පටන් ගෙන 1993 දී ජීවිතයෙන් සමු ගන්න කල් ඔහු දුෂ්ඨයාගේ භූමිකාව රඟපානවා. බොහෝ අවස්ථාවලදී ගාමිණී ෆොන්සේකා මහතා තමන්ට ලබා දුන්නු සහයෝගය ගැන ඔහු ඉතාමත් කෘතවේදීව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මර්වින් ජයතුංගේ රංගන ජීවිතය ගැන කතා කරද්දී ඔහු මනමේ නාට්‍යයේ වැදි රජුගේ භූමිකාවත් රඟපාලා තියෙනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන.

 

3. ලයනල් දැරණියගල 

ලයනල් දැරණියගල තමන්ගේ චිත්‍රපටි ජීවිතය ආරම්භ කරන්නේ පෙම්වතාගේ භූමිකාවෙන්. ඒ “කොළඹ හාදයෝ” චිත්‍රපටයෙන්. නමුත් ඔහු “හතර දෙනාම සූරයෝ”  චිත්‍රපටයේ හැරී නම් දුෂ්​ඨයාගේ භූමිකාව රඟපෑමෙන් පසුව එක දිගට ඔහුට ලැබෙන්නේ දුෂ්​ඨයාගේ චරිත. “රජ ගෙදර පරවියෝ, එදත් සූරයා අදත් සූරයා, රෑන ගිරව්, මී මැස්සෝ” වගේ චිත්‍රපටි ගණනාවක රඟපාපු ඔහු විදේශ ගත වෙනවා. නැවතත් ලංකාවට එන ඔහු තමන් එහිදී රැස්කළ මුදල් චිත්‍රපටි නිෂ්පාදනය වෙනුවෙන් ආයෝජනය කරනවා. “ඉන්ස්පෙක්ටර් ගීතා”,”නීතිය ද ශක්තිය ද” ඔහු නිෂ්පාදනය කළ චිත්‍රපට.

 

4. පියදාස ගුණසේකර 

“සිරිසඟබෝ” චිත්‍රපටියෙන් ලංකාවේ විශිෂ්ටතම නළුවෙක්ගේ රඟපෑමේ ආරම්භය සිද්ධ වෙනවා. හැබැයි ඔහුගේ රඟපෑමේ  විශිෂ්ටත්වය ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දැනෙන්න පටන් ගන්නේ “සැඩ සුළං” චිත්‍රපටයේ රඟපාපු ඇක්මන් කියන චරිතය එක්ක. අපි කලින් කිව්ව නළුවන් වගේම ඊට පස්සේ පියදාස ගුණසේකරවත් දුෂ්​ඨයාගේ භූමිකාවට කොටු කිරීමක් සිද්ධ වෙනවා. ඇතැම් අවස්ථාවලදී නම් ඔහු ඒ සීමාවෙන් මිදිලා වෙනස් විදිහේ චරිතත් රඟපාලා තියෙනවා. ඒ”සැනසුම කොතනද” වගේ චිත්‍රපටිවල. හාර ලක්ෂය චිත්‍රපටියේ රඟපාපු ජේම්ස් සෙනෙවිරත්න ගේ චරිතය ඔහුගේ මුළු ජීවිතය තුළම රඟපාපු විශිෂ්ටතම චරිතය කියලා ප්‍රේක්ෂකයෝ වගේම විචාරකයොත් පිළිගන්නවා.

 

5. පියදාස විජේකෝන් 

පියදාස විජේකෝන් සිනමාවට පිවිසිලා තියෙන්නෙ ටිකිරි ටිකිරි ටිකිරි ලියා ගීතයට  සිදුකරපු නැටුම් දර්ශනයකින් කියලා කිව්වොත් කවුරුවත් පිළිගන්න එකක් නැති වෙයි. නමුත් එතුමා සිනමාවට පිවිසිලා තියෙන්නේ “සිරකරුවෝ” චිත්‍රපටියේ අඩංගු  වුණ ඒ නැටුම් දර්ශනයෙන්. පසුව එතුමාගේ හැඩහුරුකම් සහ පෞරුෂය අනුව දුෂ්ඨ නළුවකු ගේ භූමිකාව වගේම පස්සේ කාලෙක සටන් අධ්‍යක්ෂකවරයෙකුගේ භූමිකාව ඉෂ්ට කිරීමට එතුමාට හැකියාව ලැබිලා තියෙනවා. ඇතැම් අවස්ථාවල සටන් දර්ශන රඟපෑමේදී තමන්ගේ දිවි පරදුවට තබලා එම දර්ශන නිරූපණය කරන්න පියදාස විජේකෝන් මහත්මයා දෙවරක් හිතලා නැහැ.

 

6. පූජිත මෙන්ඩිස් 

පූජිත මෙන්ඩිස් ට කුඩා කාලයේ වැළඳුනු රෝගයක් නිසා ඔහුගේ ඇස් සුවිශාල වී මුහුණට යම්තාක් දුරකට විකෘති පෙනුමක් එකතු වී තිබුණා. මේ නිසා ඔහු කුඩා කාලයේදී බෙහෙවින් ඒ ගැන දුක් වී තිබෙනවා. නමුත් මේ අවාසනාව ඔහුට පසු කලෙකදී වාසනාව රැගෙන ඒමට සමත් වුණා. සිංහල සිනමාවේ දුෂ්ඨ චරිත රඟපෑමට එක සුදුසුකමක් බවට පත් වුණේ ඔහුගේ මුහුණෙන් නිරූපණය වුණු එම ස්වභාවයයි. “සූරයන්ගෙත් සූරයා”, “සත පනහ”, “සීගිරි කාශ්‍යප” වගේ චිත්‍රපටි ගණනාවක් සඳහා ඔහු තමන්ගේ රංගන දායකත්වය ලබා දුන්නා.

 

7. මාක් සැම්සන් 

2019 වසර ආරම්භයේදීම මාර්ක් සැම්සන් තමන්ගේ රංගන ජීවිතයට වගේම දිවි ගමනට ද සමු දුන්නා. සිංහල සිනමාවේ වගේම ටෙලි නාට්‍යවලත් මතක හිටින දුෂ්​ඨයකු බවට පත්වෙන්නට ඔහුට හැකි වුණා. “අයියා නගෝ” චිත්‍රපටයේ රඟපෑමෙන් තමන්ගේ රංගන ජීවිතය ආරම්භ කරපු මාක් සැම්සන්, චිත්‍රපට හතළිහකට සහ ටෙලි නාට්‍ය ගණනාවකට තමන්ගේ රංගන දායකත්වය ලබා දුන්නා. සැබෑ ජීවිතයේදී අතිශය සුන්දර මනුස්සයෙක් වුණු මාර්ක් සැම්සන්, ජීවිතයේ අවසාන භාගයේ දී දැඩි ආගමික ජීවිතයකට යොමු වී තිබුණා.

 

මේ සුන්දර දුෂ්​ඨයෝ ගැන ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *