සල්ලි තිබුනත් මිනිස්සුන්ට යන්න අමාරු, ගියත් එහේ ජීවත්වෙන්න අමාරු පළාතක් තමයි ඇන්ටාක්ටිකා කියන්නේ. ලෝකේ මහද්වීප අතුරින් මිනිස් පහස අඩුවෙන්ම ලබපු පළාත තමයි ඇන්ටාක්ටික් කලාපය. ලංකාවේ ඉඳලා පහළට කෙලින්ම යන්න හැකිනම් කිලෝමීටර 6,000කට වැඩි දුරක් යද්දි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයෙන් මේ ඇන්ටාක්ටිකාව හමු වෙනවා. ඇන්ටාක්ටිකාවලට ළඟම දකුණු ඇමරිකා මහද්වීපය. නවසීලන්ත කෙළවරිනුත් මිනිස්සු ඇන්ටාක්ටික් ගවේෂණ කටයුතු වලට ඇන්ටාක්ටිකා යනවා. සෙල්සියස් අංශක බිංදුවටත් අඩු පසුබිමක මාස 12න් වැඩි කාලයක් තියෙන ඇන්ටාක්ටික් බිම කොච්චර අපහසුකම් තිබුණත් ඒ අපහසුකම් වලට අනුවර්තනය වුණු ජීවීන් දිවි ගෙවනවා.
1. තල්මසුන්
තල්මසුන් වර්ග කිපයක්ම ඇන්ටාක්ටික් ශීතල මුහුදේ ඉන්නවා. පෙන්ගුයින් සතුන්ට මුහුදේ ඉන්න ප්‍රබලම සතුරෙක් තමයි තල්මසුන්. තල්මසුන් වර්ග දෙකක් ඉන්නවා. ඒ තියුණු දත් තියෙන තල්මසුන් සහ දත් නොමැති තල්මසුන් කියලා වර්ග දෙකයි. මෙයින් තියුණු දත් තියෙන තල්මසුන් කෙලින්ම කටින් සිය විලෝපිකයින්ව ඩැහැගන්නවා. තල්මසුන් කියන්නෙත් මිනිස්සු වගේම ක්ෂීරපායී සුවිශාල සත්ත්ව විශේෂයක්. උෂ්ණත්වය නියාමනය කරගන්න ඌට තියෙන හැකියාව නිසා සීතල පරිසරයක වුණත් අවුලක් නැතිව ජීවත් වෙන්න තල්මසාට හැකියාව ලැබිලා තියෙනවා.
2. පෙන්ගුයින්
ඇන්ටාක්ටිකාවේ ඉන්න අසිරිමත්ම සත්තු ජාතිය තමයි පෙන්ගුයින්. විශාල පක්ෂි විශේෂයක් වන පෙන්ගුයින් වර්ග ගණනාවක් ඉන්නවා. එයින් එම්පෙරර් පෙන්ගුයින් ඇනටාක්ටිකාවට විශේෂයි. මේ පෙන්ගුයින් සතුන්ට සෙල්සියස් අංශක සෘණ 20-50 අතර පරාසරයේදී පවා අවුලක් නැතිව ඉන්නට පුළුවන්. මෙයින් එම්පෙරර් පෙන්ගුයින් සතුන් ලක්ෂ හයකට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙනවා කියලා විද්‍යාඥයෝ විශ්වාස කරනවා. විශාල පෙන්ගුයින් සතෙක් මීටරයේ සිට මීටර 1.15ක් පමණ උස වෙනවා, බර කිලෝ 30ක් විතර. මේ පෙන්ගුයින් සතුන් විශාල වුණත් මෙයාලටත් තර්ජන තියෙනවා. ලෙපර්ඩ් සීල් මසුන් සහ තල්මසුන් තමයි මේ පෙන්ගුයින්ලට මූලික වශයෙන් සතුරෝ විදිහට ඉන්නේ. බිත්තර රකින කාලයට දැඩි ශීත සුළඟ, ආහාර සහ සීතල නොතකා මේ පෙන්ගුයින් සතුන් කොලනි වශයෙන් එකතු වෙලා බිත්තර රකිනවා. එම්පෙරර්, කින්ග්, ඇඩිලි, කින්ස්ට්‍රැප්, ගෙන්ටූ කියලා පෙන්ගුයින් වර්ග කීපයක්ම ඇන්ටාක්ටික් කලාපයේ ජීවත් වෙනවා.
3. සීල්
ලංකාවටත් පහුගිය දවස්වල සීල් මසුන් ආවා. ලංකාවට කිලෝමීටර 6,000කට වඩා දුර ඇන්ටාක්ටික් පළාතේ ඉඳන් මේ ලංකාවට මේ සතුන් ඒම ලෝක පුදුමයක්. මේ සීල් මසුන් වර්ග කීපයක් ඉන්නවා. එලිෆන්ට්, වෙඩ්ල්, සදර්න්, ක්‍රැබිටර්, ලෙපර්ඩ් ආදි වර්ග කිහිපයකම සීල් මාලු ඉන්නවා. මූ සීල් මාලුවා කිව්වට මූත් පෙණහැල්ලෙන් හුස්මගන්න ක්ෂීරපායී සතෙක්. ලංකාවට ආපු සීල් මසුන් ගොඩ සහ ගල් උඩ ඉන්නවා දැකපු සමහර පිරිස් “අනේ මාලුවා පව්” කියලා වතුරට දාන්නත් හැදුවාලු. ඒත් ඇන්ටාක්ටික් අයිස් කුට්ටි උඩ වරු ගණන් ගිමන් හරින මේ සීල් මාලුන්ට ගොඩබිමත් සැලකිය යුතු වෙලාවක් ඉන්නට හැකියාව තියෙනවා. කුඩා දරුවෙක් අමාරුවෙන් බඩගානවා වගේ අයිස් උඩ සහ ගල් උඩ ඇදීගෙන යන සීල් සතා පෙනුමෙන් නම් හරිම හුරතල් සතෙක්. ඒත් ලෙපරඩ් සීල් වර්ගයේ විශාල සීල් මාලුන්ට මීටරයකට වඩා උස පෙන්ගුයින් සතුන්ට පවා ඇටෑක් කරන්නට හැකියාවක් තියෙනවා. මෙයින් එලිෆන්ට් සීල් කියන විසාල සීල් මාලුවා සාමාන්‍යයෙන් මීටර 4.5කට වඩා දිගයි. අනෙක් සීල් මසුන් මීටර 1.5 සිට 3 දක්වා වූ ප්‍රමාණවලින් ඉන්නවා. සුවිශාල එලිෆන්ට් සීල් මාලුවෙක් සාමාන්‍යයෙන් කිලෝ 600 – 800ක් බර වෙනවා.
4. ඇන්ටාක්ටික් ක්‍රිල්
අපි ආහාරයට ගන්නා කූනිස්සටන්ට සමාන මේ ක්‍රිල් කියන කුඩා සත්ත්වයා ස්වභාවයෙන් ඉස්සන්ගේ හැඩහුරුකම ගන්නවා. පෙන්ගුයින්,තල්මසුන්, සීල් සහ ඇන්ටාක්ටික් කලාපයේ ඉන්න ලොකු සතුන්ට ආහාරයක් ලෙස මේ ක්‍රිල් කියන කුඩා මුහුදු ජීවියා පත් වෙලා තියෙනවා. ක්‍රිල් සතුන් මිනිස්සුන්ටත් රසවත් ආහාරයක් වෙලා තියෙනවා 2011 වසරේදී ටොන් 210,000ක් අල්වාගත්තත් මේ ක්‍රිල් ඉතා ඉක්මනින් අනතුරුදායක ස්ථානයෙන් පලායන නිසා ඔවුන්ව තොග වශයෙන් අල්ලාගන්න එක ධීවරයින්ට අමාරු කාර්යයක් වෙලා තියෙනවා. දත් නොමැති තල්මසුන් වර්ග වලට මේ ක්‍රිල් වගේ කුඩා සතුන් මහමෙරක් වගේ. ඒ තල්මසුන් කට ඇරගෙන ඉඳලා මේ සතුන් ගොඩක් කට ඇතුලට ආවට පස්සේ කටින් වතුර අයින් කරලා මේ කුඩා සතුන් තොග වශයෙන් ආහාරයට ගන්නවා.
5. ඇල්බට්‍රොස්
මේ යෝධ කුරුල්ලා අත්තටු දෙක දික් කරලා ගත්තම ඒ අත්තටු දෙක අතර දිග මීටර 3.1කට වඩා දිගයි. බරින් කිලෝ 6-12ත් අතර වෙන මේ සතාගේ ගෑණු සතාට වඩා පිරිමි සතා 20%ක් පමණ විශාලයි. කුරුල්ලගේ හොටේ ඉඳන් වල්ගෙට දිග මීටරයකට වඩා පොඩ්ඩක් වැඩියි. සාමාන්‍යයෙන් කුරුල්ලෝ එහෙම වසරකට එක වතාවක් තමයි බිත්තර දාන්නේ. ඒත් මේ සතා බිත්තර දාලා පැටවු බිහි කරන්නේ වසර 2කට වතාවක්. මේ සතුන් ඇන්ටාක්ටික් කලාපයේ කුඩා කඳුගැට උඩ බිත්තර දානවා. මාලු ආහාරයට ගන්නා මේ විශාල කරුල්ලන් විශාල මාලු අල්ලන යාත්‍රා වලින් විසික් කරන මාලු අපද්‍රව්‍ය ගිලදමන කුරුල්ලන් විශේෂයක් විදිහටත් ප්‍රසිද්ධ වෙලා තියනවා. මුලු ලෝකෙම මේ ජාතියේ තඩි කුරුල්ලෝ 26,000ක් වගේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ.
6. කුඩා මකුණන්
ඇන්ටාක්ටික් පදාසය වහගෙන ඉන්න හිම උඩ කිසි අවුලක් නැතුව ජීවත්වෙන්න පුළුවන් කුඩා මකුණන් ආදී කුඩා සතුන් කිහිපයක් ඉන්නවා. ඔවුන් තද ශීත සෘතුවේදී ස්වභාවිකවම අඩපණ වෙලා, ශක්තිය ඉතුරුවෙන මෝඩ් එකකට මාරු වෙලා ජීවත් වෙනවා. ඔවුන්ගේ සිරුරේ තියෙන රුධිර වර්ගය නිසා ඔවුන් තදබල ශීතලෙන් ගල් වීම වළකාලනවා. වසන්ත කාලේදී පිබිදෙන ඔවුන් ඊළඟට ඔවුන්ගේ අහාර ගැනීම ආදී රාජකාරි නැවත ආරම්භ කරනවා.
7. ඇන්ටාටික් ස්කුවා
දුඹුරු ස්කුවා, නැතිනම් සදර්න් ග්‍රේට් ස්කුවා කියලා මේ කුරුල්ලාව හඳුන්වනවා. මේ සතා මුහුදු කුරුල්ලන් අතර විශාලතම කුරුල්ලෙක් ලෙස නම් දරා තියෙනවා. කිලෝ එකක් විතර බර වෙන මේ සතා දිගින් සෙන්ටිමීටර 50 – 60ක් පමණ වෙනවා. පියාපත් දෙක දිගෑරියාම දිග සෙන්ටීමීටර 130ක් විතර වෙනවා. මේ කුරුල්ලනුත් ගණනින් 10,000 – 20,000ත් අතර සුලු ප්‍රමාණයක් තමයි ලෝකෙයේම ජීවත් වෙන්නේ. ටිකක් තරහ යන කුරුල්ලෙක් වෙන ස්කුවා තමුන්ගේ සීමාවන් සලකුණු කරගන්නවා. වැරදිලා හරිවෙන කුරුල්ලෙක් ඒ සීමාවන්ට ඇතුලු වුනොත් පිහාටු පුප්පලා එවුන්ට එරෙහි වෙනවා.
ඇන්ටාක්ටික් වලින් ලංකාවට ආපු සීල් මාලුවා නම් ආයේ ඇන්ටාක්ටිකා යයිද මන්දා. මොකද ඌට ලැබුණ පිලිගැනීම සහ තැන එක්ක ඌ මෙහෙ ඉන්නත් බාගදා කැමති වෙන්න පුළුවන්.කොහොම වුනත් ඒ තද ශීතලට, ආහාර අඩු පරිසරයට හුරුවුන පෙන්ගුවින්, සීල් මසුන්, තල්මසුන් වගේ විශාල ජීවින් වගේම කුරුල්ලොත් වර්ග කිහිපයක්ම ඇන්ටාක්ටික් කලාපයේ ජීවත් වෙනවා. මිනිස්සු විදිහට ඇන්ටාක්ටිකාවේ ජීවත් වෙන්න ලොකු ගේමක් දෙන්න සිද්ධ වුනත් මේ වගේ ඒ කලාපයට අරක් ගත් සතුන් නම් කිසි ගේමක් නැතුව කාලයක් තිස්සේ ඒ කලාපයේ රජවරු වගේ ජීවත් වෙනවා.
Leave a Reply