ශ්‍රී ලංකාව කියන්නේ ඉතා විශාල ජෛව විවිධත්වයක් තියෙන ගොඩක්ම ලස්සන පරිසර පද්ධතියක් තියෙන රටවල් වලින් එකක්. ඒ වගේම ගොඩක්ම පොඩි භුමි ප්‍රදේශයක එකිනෙකට වෙනස් කලාප දකින්න ලැබෙනවා. තෙත් කලාපයේ එක විදිහක සුන්දරත්වයක් දකින්න පුළුවන් වගේම වියළි කලාපයේ වෙනම සුන්දරත්වයක් දැකගන්න පුළුවන්. මේ කිව්ව පරිසර සුන්දරත්වය වගේම ජෛව විවිධත්වයට නැතුවම බැරි කොට්ඨාසයක් තමයි සත්තු කියන්නේ. මිනිස්සු, සත්තු, ගහකොළ මේ ඔක්කොම පරිසරයේ කොටස්. ඒ නිසා මිනිස්සුන්ට විතරක් මේ කිසි දේක අයිතිවාසිකම් කියන්න බෑ. හැබැයි ගොඩක් මිනිස්සු නම් හිතන් ඉන්නේ තමන් මූලික කරගෙන තමයි මේ සියළු පරිසර පද්ධති තියෙන්නේ කියලා. ඒ නිසා මිනිස් වර්ගයට පරිසරයට අයිතිවාසිකම් කියන්න පුළුවන් කියල. එක එහෙම නෑ කියල දවසක තේරෙයි. හැබැයි එදාට ගොඩක් පරක්කු වැඩි කියලත් තේරේවි.
ඒවා පැත්තක තියමුකෝ. ඔන්න ඔය කියපු මනුස්සයාගේ තියෙන මෝඩ අදහස් නිසා ඉතාම වේගයෙන් මේ පරිසර පද්ධති වලට මිනිසා විසින් ඉතාම දරුණු විදිහට හානි කරමින් යනවා. ඒ හානියට ලොකුවටම භාජනය වෙලා ඉන්න කොට්ඨාසයක් තමයි සර්ප ප්‍රජාව කියන්නේ. සර්පයාගේ නම ගම මොකක්ද කියල අදාළ නෑ, දැක්ක තැන මැරුවා. එකට ඉතින් මිනිස්සුන්ගේ තියෙන නොදැනුවත්කම වගේම සර්පයින්ට ස්වාභාවිකවම ලැබිල තියෙන ටිකක් බය හිතෙන ස්වභාවය බලපාල තියෙන බව පේන්න තියෙනවා. කොහොම උනත් අපේ පරිසර පද්ධති වල සමතුලිතතාවය රකින්න සර්ප ප්‍රජාව ඉතාම වැදගත් සේවයක් නම් කරනවා. ඒ නිසා මනුෂ්‍යයෝ විදිහට අපේ යුතුකම තමයි මෙන්න මේ සර්ප ප්‍රජාව ආරක්ෂා කරන එක. අන්න ඒ කාරණාව නිසා අපි අද කතා කරන්න හිතුවා මිනිස්සුන්ගේ නොදැනුවත්කම නිසා විෂ සහිත සර්පයෝ කියල හිතාගෙන බිලිගන්න අහිංසක සර්පයෝ ගැන.
1. අරණි දත් කැටියා
අරණි දත් කැටියා, පුල්ලි දත් කැටියා, වයිරි දත් කැටියා කියන්නේ ලංකාවේ ඉන්න දත් කැටියෝ වර්ග තුන. මේ එකෙක්වත් කිසිම විෂක් අන්තර්ගත නොවන සර්පයින් තුන් දෙනෙක්. විශේෂයෙන් අරණි දත් කැටියා කියන කෙනා හැම ප්‍රදේශයකම වගේ ගොඩක් සුලභව දකින්න පුළුවන් නිසා මිනිස්සු අතින් ගොඩක් වෙලාවට මරණයට පත් වෙනවා. හොඳින් වැඩුණු කෙනෙක් අඩි එකහමාරක් දෙකක් විතර විශාල වෙනවා. ඔලුවේ ඉංග්‍රීසි V අකුරේ හැඩයට කළු පාට පටියක් තියෙනවා. ඒ වගේ කළු පාට පටි ශරීරයේ අග වෙනකන් විහිදෙනවා (V අකුරේ හැඩයට නෙමෙයි). ඒකෙන් තමයි ගොඩක් දුරට මෙයාව අඳුන ගන්න පුළුවන්. ශරීර වර්ණයත් කොළ පාටට වඩා නැඹුරු පාටක් තමයි තියෙන්නේ. දවල් කාලයේ ටිකක් අලස ගතියක් තියෙන්නේ සහ හවස් කාලයේදී සහ රෑට තමයි ගොදුරු හොයන්න උත්සහ කරන්නේ. කිසිම විෂක් නැති අහිංසක සතෙක් නිසා දැක්කොත් පුළුවන් විදිහට බේරලා අරින්න.
2. ඇහැටුල්ලා
ඇස්ගුල්ලා කියන්නෙත් මෙයාටම තමයි. වර්ණය ගත්තොත් ලා හෝ අඳුරු කොළ පාටක් තමයි තියෙන්නේ. ඒ වගේම දිග උල්වු හිසක් දරනවා. ශරීරයේ යටි පැත්ත සුදු පාටයි. පැහැදිලිව හඳුනාගන්න පුළුවන් ගෙලක් සහිතයි. ගොඩක්ම වෙලාවට ගස් උඩ හරි පඳුරු අස්සේ තමයි ගැවසෙන්නේ. ගොඩක්ම ක්‍රියාශීලි සර්පයෙක්. හොඳින් වැඩුණු ඇහැටුල්ලෙක් අඩි පහක් විතර දිගයි. මඳ විෂ සර්ප කාණ්ඩයට වැටුනට මනුස්සයෙක් මරණයට පත් කරන්න තරම් විෂක් නෙමෙයි.
3. කටකළුවා
හබරා, හබරලියා කියන නම් වලිනුත් කියන්නේ කටකළුවා ගැන තමයි. හැබැයි වරදවා වටහාගන්න හොඳ නෑ, සමහර පළාත් වල හබරලා කියල කියනවා උග්‍ර විෂ තෙල් කරවලාටත්. ඒ නිසා හැඩරුව එක්ක කටකළුවා කියන නම භාවිතා කරන එක වඩා සුදුසුයි. නිර්විෂ කාණ්ඩයට වැටෙන අහිංසක සර්පයෙක්. ශරීර වර්ණය දුඹුරු පාටක් හෝ ඒ වගේ ප්‍රභේදයක් තියෙන්නේ. මෙයාගේ කට ඇතුල් පැත්ත කළු පැහැයක් ගන්න නිසා වෙන්න ඇති මේ නම පටබැඳිලා තියෙන්නේ. හොඳින් වැඩුණු කටකළුවෙක් අඩි තුනක් හතරක් විතර දිග වෙනවා. බෙල්ල හරියෙන් පටන් අරන් ශරීරයේ මැදක් වෙනකන් විතර විහිදෙන කළු පාට හරස් ඉරි දෙකක් දෙපැත්තේ තියෙනවා. ඒකෙන් පැහැදිලිව අඳුන ගන්න පුළුවන් මෙයාව.
4. පිඹුරා
පිඹුරා කියන සර්පයා නම් ගොඩක් දෙනෙක් දැක්ක පමණින් අඳුනගන්න සර්පයෙක්. ලංකාවේ දැනට ඉන්න විශාලම සහ දිගින් වැඩිම සර්පයා කිව්වොත් හරි. පිඹුරු පැටව් පොළඟුන් කියල වරදවා තේරුම් අරන් ගොඩක් අය නිරපරාදේ මරණවා. පෘෂ්ඨිමත් සිරුරක් ඇති පිඹුරාගේ ගෙලේ සිට වලිගය දක්වා අක්‍රමවත්, ප්‍රමාණයෙන් විශාල දුඹුරු පැහැති පුල්ලි පිට මතුපිටත්, ප්‍රමාණයෙන් කුඩා දුඹුරු පුල්ලි ශරීරය දෙපැත්තේත් හොඳින් දකින්න තියෙනවා. ඉතාම නිද්‍රාශීලි සර්පයෙක්. කිසිම ආකාරයක විෂක් අන්තර්ගත වෙන්නේ නෑ මේ සර්පයාගේ.
5. රදනකයින් වර්ග
ගැට රදනකයා, කබර රදනකයා, අළු රදනකයා, මල් රදනකයා කියන්නේ ලංකාවේ ඉන්න රදනකයෝ වර්ග කිහිපය. මේ අයගෙනුත් අපි අද කතා කරන්නේ මල් රදනකයා ගැන. මෙයාට කුණු මී කරවලා කියලත් කියනවා. රදනකයන්ට එම නම වැටෙන්න හේතුවෙලා තියෙන්නේ මුඛයේ උඩු හනුවේ සහයටි හනුවේ සාපේක්ෂව විශාල වූ දත් පිහිටීම හේතුවෙන් කියල කියන්න පුළුවන්. මොවුන් ප්‍රධාන පාට දෙකකින් දකින්න ලැබෙනවා. ඒ ශරීරයේ කිසිදු වයිරමක් නොමැති සත්වයන් හා වයිරම් ඇති සර්පයින් විදිහටයි. වයිරම් ඇති රදනකයින්ගේ ශරීරයේ මතුපිටින් සුදු, ක්‍රීම්, කහ පැහැති පුල්ලි ස්වභාවයක් තියෙනවා. ඒ වගේ පුල්ලි පිහිටන සර්පයින්ගේ ශරීරය දෙපැත්තේ කිසිදු සලකුණක් පිහිටන්නේ නෑ. මීට අමතරව අලු,රතු මිශ්‍ර දුඹුරු , කහ මිශ්‍ර දුඹුරු වැනි වර්ණ වලිනුත් මේ සර්පයින් දකින්න පුළුවන්.
6. දෙපත් නයා
වටඋල්ලා කියල එහෙමත් මෙයාට කියනවා. වල්ගය හිස කොටස වගේ රවුම් ස්වභාවයක් ගන්න නිසා වල්ගේත් හිසක් වගේ පෙන්නේ. ඒ වගේම බයට පත් උනාම ශරීරය පැතලි කිරීමෙන් හිස සඟවා වලිගය පෙනයක් වගේ ප්‍රදර්ශනය කරනවා. ඒකයි දෙපත් නයා කියන නම ලැබිල තියෙන්නේ. ලංකාවට ආවේණික සර්පයෙක් වගේම ඉතා අලංකාර සර්පයෙක්. ශරීරයේ මතුපිට වර්ණය කළු පැහැ වන අතර දුඹුරු, රතු මිශ්‍ර දුඹුරු හා තැඹිලි මිශ්‍ර දුඹුරු පාට වලින් සමන්විත පුල්ලි ගෙලෙහි සිට වල්ගය දක්වාම පේන්න තියෙනවා. හොඳින් වැඩුණු දෙපත් නයෙක් අඩි දෙකක් විතර වෙනවා. කිසිම විෂක් නැති සර්පයෙක් නිසා කාටවත් හානියක් නෑ.
7. පොල්මල් කරවලා
පොල්මල් කරවලා එහෙම නැත්නම් මල්සරා කියන්නේ සර්ප ලෝකයේ ඉන්න ලස්සනම සර්පයෙක්. කරවලා කියල කිව්වට ඇත්තටම මේ කරවල් විශේෂයක් නෙමෙයි. දිගු සිහින් ශරීරයක් තියෙන මේ සර්පයින්ගේ ශරීරයේ මතුපිට වර්ණය කුඩා පැටවුන්ගේ කළු වර්ණයක් ගන්නා අතර ලා පැහැයේ සිට තද වර්ණයක් ගන්නා කහවන් හරස් පටි ගෙලෙහි සිට වල්ගය දක්වාම දකින්න තියෙනවා. මේ හරස් පටිවල මතුපිටින් රතු නැත්නම් තැඹිලි පාට පුල්ලිය බැගින්ද පිහිටයි. ඇතැම් සර්පයින්ගේ මේ හරස් පටි අතර තද බවින් අඩු හීනි හරස්පටිද දකින්න පුළුවන්. වැඩුන සතුන්ගේ ශරීර පැහැය ඔලිව් මිශ්‍ර කොළ හෝ කහ කොළ වන් පාටක් ගන්නවා. හොඳින් වැඩුණු එකෙක් අඩි දෙකහමාරක් වගේ වෙනවා.
Leave a Reply