ලෝකෙ කොහේ ගත්තත් විශ්වවිද්‍යාලය කියන්නේ උප සංස්කෘතියක්. මේ උප සංස්කෘතිය ඇතුළේ විවිධාකාර සාහිත්‍ය නිර්මාණ බිහි වෙනවා. බොහෝ වෙලාවට මේ විශ්වවිද්‍යාල නව චින්තනයකට තෝතැන්නක්. අපේ රටේ ගත්තොත් එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා බිහිකරපු මනමේ සහ සිංහබාහු නාට්‍යය පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආශ්‍රයෙන් බිහිවුණු සුවිශේෂී කලා නිර්මාණ විදිහට හඳුන්වන්න පුළුවන්.
ඊට අමතරව පේරාදෙණිය ගුරුකුලය ඒ ඇසුරෙන් බිහිවුණා. ඒ ගුරුකුලය ඒ ගැනත් විවිධ විවේචන එම ගුරු කුලය ආරම්භයේ පටන් තිබුණා. නමුත් අනෙකුත් විශ්වවිද්‍යාලවලට නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තරම් සාහිත්‍යය නිර්මාණවලට දායකත්වයක් ලබාදීමට නොහැකි වුණා.
හැබැයි අපි අද කතා කථා කරන්න යන්නේ නම් වෙන මාතෘකාවක්. ඒ තමයි විශ්වවිද්‍යාල පද්ධතිය සහ විශ්වවිද්‍යාල උප සංස්කෘතිය විවේචනය කරමින් ලියැවුණු සාහිත්‍ය නිර්මාණ පිළිබඳව.
මේ ලැයිස්තුවට අපි සරත් විජේසූරිය මහත්මයාගේ “මගේ නඩුව ඉවරයි” පොත නම් ඇතුළත් කළේ නෑ. මොකද ඒ ගැන අපි කලින් ආටිකල් එකකින් සඳහන් කළ නිසා…
1. අත්ත බිඳෙයි පය බුරුලෙන්
මේ නවකතාව රචනා කරල තියෙන්නෙ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් වගේම පස්සේ කාලෙක අමාත්‍යවරයෙකු බවට පත්වුණු ආචාර්ය ඒ. වී සුරවීර මහත්මයා. විශ්ව විද්‍යාලය තුළ දවසක කාලයක් තුළ සිදුවන විවිධ සිදුවීම් ආශ්‍රය කර ගනිමින් රචනා වෙලා තියෙන මේ කෘතිය ඇතුළෙ විශ්වවිද්‍යාලයේ මුණ ගැහෙන විවිධ ආචාර්ය මහාචාර්යවරුන්ගේ චරිත ලක්ෂණ පිළිබඳ ව කතා කෙරෙනවා. සමහර ආචාර්යවරුන්ට නම් දීලා තියෙන්නේ ඔවුන් ගේ චරිත ලක්ෂණ ප්‍රකට වෙන විදියට ආචාර්‍ය ගැටමාන්න, ආචාර්‍ය පරණවාඩිය ඒ වගේ නම් කීපයක්.
2. කන්දෙන් ලන්දට
ආචාර්ය මිණිවන් පී. තිලකරත්න මහත්තයා රචනා කරලා තියෙන මේ කෘතිය ඇතුළෙදි තමන් සේවය කරපු කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ඇතිවුණු විවිධ අර්බුදකාරී තත්ත්ව ගැන වගේ ම එම අංශයේ සේවය කරපු ඇතැම් මහාචාර්යවරුන්ගේ බුද්ධිමය දරිද්‍රතාවය පිළිබඳ ව ප්‍රශ්න කරනවා. කෘතියේ නම විදිහට කන්දෙන් ලන්දට යයි භාවිතා කරල තියෙන්නෙ මිණිවන් පී. තිලකරත්න මහත්මයා උපාධිය ලබාගෙන තිබෙන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් නමුත් එතුමාට සේවය කිරීමට ලැබුණේ කැළණිය විශ්වවිද්‍යාලයේ නිසා. කන්ද පේරාදෙණිය වෙද්දි ලන්ද කැළණිය බවට පත්වෙලා තියෙනවා.
3. පාර
යනූෂා ලක්මාලි රචනා කරලා තියෙන මේ නවකතාව තුළින් සරසවි ශිෂ්‍යාවකට පන්ති සාමාර්ථයක් ලබා ගැනීම වෙනුවෙන් තමන්ගේ ආචාර්යවරයාගේ ලිංගික අපයෝජන වල ගොදුරක් බවට පත්වෙන්න සිද්ධ වෙන ආකාරය නිරූපණය කරලා තියෙනවා. සරසවි පද්ධතිය ඇතුළේ කතා වෙන සුප්‍රසිද්ධ රහසක් මේ විදිහට යනූෂා සිංහල පාඨකයන්ට ඉදිරිපත් කරලා තියෙනවා. ආචාර්යවරුන්ගෙන් මේ විදිහට ලිංගික සූරාකෑම් වලට ලක් වෙන්නේ ඉතාමත් දුෂ්කරතා මධ්‍යයේ ඉගෙන ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වීම කණගාටුදායක කරුණක්.
4. සත්පත්මා
ආචාර්ය සාලිය කුලරත්න මහතා විසින් රචනා කර ඇති මෙම කෙටිකතා සංග්‍රහය තුළ කෙටිකතා පහක් අඩංගු වෙනවා. “සංජීව නම් අපායේ පිපුණු හලාහල පද්මය”, “ආචාර්ය ප්‍රේත වස්‌තුව”, “ගජං නම් කුම්භාණ්‌ඩයාගේ පුරාවෘත්තය”, “හොල්මන් කෙල්ලගේ ගුහාව” හා “බල්ලා විසින් කනු ලබන ප්‍රේතියගේ උපමා කතාව” තමයි ඒ. මෙම සියලු කෙටි කතා වලට ම පාහේ ප්‍රස්තුත වන්නේ විවිධ විශ්ව විද්‍යාලවල ආචාර්ය ධූර දරන තැනැත්තන්. ඔවුන්ගේ විකෘති සහගත ලිංගික ජීවිතය සහ පෞද්ගලික ජීවිතයේ පැවති විවිධාකාර අර්බුද මෙන්ම ශාස්ත්‍රීය වශයෙන් ඔවුන් පෙන්නුම් කරන පසුගාමී ස්වභාවය ද මෙම කෙටිකතා තුළින් කතාබහට ලක් කරනවා.
5. අර මිහිරි සීනු නාදය
ආචාර්ය ලියනගේ අමරකීර්ති අපේ රටේ ජනප්‍රිය වගේම සම්මානනීය ලේඛකයෙක්. ඔහු රචනා කරපු අර මිහිරි සීනු නාදය කෙටිකතා සංග්‍රහය තුළ “රතුවන් රත්නවල්ලි” නමින් කෙටි කතාවක් අඩංගු වුණා. ඒ කෙටි කතාව හරහා විශ්ව විද්‍යාලය තුළ හමුවන තවත් ආචාර්යවරයෙකු නිරුවත් වුණු බවට යම් කතාබහක් සමාජය තුළ ඇති වුණා. කෙටිකතාව කියවීමේ දී සහ එහි සඳහන් ඇතැම් කරුණු ග්‍රහණය කර ගැනීමේදී එම කතාබහ වැරදි නැති බව පාඨකයන්ට හැඟී යනවා.
6. එකම කතාව
ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පේරාදෙණිය ගුරුකුලය ආරම්භයේ පතාක යෝධයකුව සිට පසු කාලයක දී එම ගුරු කුලය පිළිබඳව දැඩි විවේචන සිදු කොට එම ගුරුකුලයෙන් ඉවත් වුණා. එවැනි ගැටුම් ඇරඹෙන කාලය තුළ එතුමා විසින් “එකම කතාව” නමින් කෙටි කතා සංග්‍රහයක් රචනා කරනු ලැබුවා. මේ කෙටිකතා සංග්‍රහයට අඩංගු වූ “එක් විදග්ධයෙක් හෙවත් අපූරු වන්දනා ගමනක්” නම් කෙටි කතාව හරහා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර හට ඉතාමත් දරුණු ඝනයේ ප්‍රහාරයක් එල්ල කොට තිබුණා.නමුත් පසු කලෙකදී ඔවුන් දෙදෙනා පැරණි අමනාප කම් දුරු කරගෙන නැවතත් මිතුරන් බවට පත් වුණා.
7. ඉර හඳ කොඩියට අධිපති පෙදෙසේ
ආචාර්ය ලීල් ගුණසේකර සිංහල සහ සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් වුණේ “අත්සන” සහ “පෙත්සම” රචනා කිරීම නිසයි. නමුත් එතරම් කතාබහට ලක් නොවන “ඉර හඳ කොඩියට අධිපති පෙදෙසේ” නමින් කෙටි කතා සංග්‍රහයක් ඔහු විසින් රචනා කොට තිබෙනවා. එහි අවසාන කෙටිකථාව කුඩය නමින් නම්කර ඇති අතර එම කෙටිකතාව තුළින් සරසවි ආචාර්යවරියක කරුණු විමසා බලා ක්‍රියා නොකිරීම හාස්‍යයට ලක්කර ලක් කර තිබෙනවා.
එහෙම නම් වෙනදා වගේම මේ ආටිකල් එකට ඔබේ අදහස් පළ කරන ගමන් ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply