තවමත් මිහිමත ජීවත් වනවා කියා මිනිසුන් විශ්වාස කරනා අද්භූත දැවැන්තයින්!

මේ මිහිතලය උඩ ඩයිනසෝරයන් ජීවත් වුණු බව අපි දන්නවා. හැබැයි අපි ඩයිනසෝරයන් ගැන දන්නේ පුරාවිද්‍යාත්මක සාධක වලින් හෙළිදරවු වුණු කරුණු කාරණා පමණයි. එතනින් එහාට මොන තරම් අද්භූත සත්වයින් මේ මිහිපිට ජීවත් වෙන්න ඇතිද කියන එක ගැන සාර්ථක උත්තරයක් දෙන්න කාටවත් බැහැ. දෙවෙනි කාරණය: ඔය කියන විදියේ අද්භූත සතුන් මේ වෙනකොට මිහිතලයෙන් වඳවෙලා ගිහිල්ලද? එහෙම නැතිනම් තවමත් මේ අද්භූත සත්වයන්ගෙන් එකෙක් හෝ දෙකෙක් වත් රහසේ ජීවත් වෙනවා වෙන්න බැරිද? අපිට අමතක කරන්න බැරි කාරණාව තමයි, මේ වෙනකොට ලෝකයේ භූමි ප්‍රමාණයන්ගෙන් විශාල ප්‍රමාණයක් මිනිසා සිතියම් ගත කරලා, අනාවරණය කරගෙන අවසාන වුනත්, තවමත් මිනිස් පහසක් නොලබපු මහා ඝන වනාන්තර, කඳුවැටි වගේම කෙතරම් ගැඹුරුදැයි කියලා හෝ නොදන්නා මහා විල් වගේ ජල කඳන් පවා මේ පෘතුවි තලය උඩ තියෙන බව. ඉතින් මේ තවමත් අනාවරණය කර නොගත් තැන් වල අර කියපු විදියේ ප්‍රාග් ඓතිහාසික යුගවල ඉඳලා පැවත එන අද්භූත සතුන් එකෙක් දෙන්නෙක් හෝ ඉන්න විදියක් නැතිද? මෙතන තියෙන සිත්ගන්නා සුළුම කාරණය වෙන්නේ, මේ විදියේ සත්ත්වයින් දැකලා තියෙන, ඇතැම් විටක කැමරා කාචයට හසු කරගත්තු අවස්ථා තියෙනවා කියලාත් වාර්තා වෙන එක. ඉතින් ඒ නිසා අපි හිතුවා ඒ විදියේ වඳ වෙලා ගිහින් කියලා හිතුවත් තාම ලෝකේ ඉන්නවා කියලා විශ්වාස කරන අද්භූත සත්ත්වයින් ගැන විස්තර ටිකක් හොයා බලන්න.

 

1. ලොක් නෙස් රාක්ෂයා – Nessy

මේ ඉන්නේ සමහර වෙලාවට බිග් ෆූට් හෙවත් මහ පතුලාට පස්සේ ලෝකේ ජනප්‍රියම අද්භූත සත්ත්වයා වෙන්න පුළුවන්. ඒ වගේම තවමත් ලොක් නෙස් විලේ රාක්ෂයා වෙන නෙසීව දැක්කා කියන අය වගේම, නෙසීව යන්තමින් හරි ඡායාරූප ගත කරගන්න පුළුවන් වුනාය කියන අයත් අපිට මුණගැහෙනවා. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි, ස්කොට් උස්බිම් වල තියෙන ලොක් නෙස් විලේ රාක්ෂයා ගැන ස්කොට් ජනප්‍රවාද වල තමයි මුලින්ම සඳහන් වෙන්නෙ කියලා. හැබැයි ඒ එක්කම කියන්න ඕන 1870 දී ඩී.මැකෙන්සී විසින් ලොක් නෙස් විලේ අද්භූත සත්ත්වයෙක් දැක්කා කියලා කියපු තැන ඉඳලා මේ දශකය වෙනකලුත් ලොක් නෙස් විලේ අද්භූත සත්වයා දැක්කා කියන අය බොහෝමයක් ඉන්න බව. සමහරු මේ සත්වයා දැවැන්ත මුහුදු සර්පයෙක් වගේ කියනකොට, සමහරු කියනවා නෙසී කියන්නේ ප්‍රාග් ඓතිහාසික මාලුවෙක් කියලා. එතකොට ලොක් නෙස් විලේ රාක්ෂයා සැබෑවටම ප්‍රාග් ඓතිහාසික යුගයෙන් ඉතිරි වුණු ප්ලෙසියෝසෝරසයෙක් කියලාත් ගොඩක් අය කියන්නේ දැක්කාය කියන අය විස්තර කරපු හැඩ රුව පදනම් කරගෙන. හැබැයි මේ දැක්කාය කියන එකක් වත් හැබෑව නෙවෙයි කියන අයත් ඉන්නවා.

 

2. මොංගෝලියානු මාරාන්තික පණුවා – Olgoi-Khorkhoi

මේ කියන්නේ මොංගෝලියාව යාබද කරගත් ගෝබි කාන්තාරයේ ඉන්නවා කියලා විශ්වාස කරන අද්භූත පණුවෙක් වගේ සත්ත්වයෙක් ගැන. Mongolian Death Worm කියලා හඳුන්වන මේ පණුවා අඩි දෙකක් විතර දිගට වැඩෙන, සොසේජස් එකක් වගේ, ඒත් ඊට වඩා භයංකර පෙනුමක් තියෙන, මූණක් කියලා එකක් හොයාගන්න බැරි, ඒත් භයානක මුඛයක් තියෙන සත්වයෙක් කියලා. ගෝබි කතරේ වැලි යට වාසය කරන මේ සත්ත්වයාව දැක්කා කියලා මෙතෙක් කල් වාර්තා වෙලා තියෙන්නේ දේශීය මිනිස්සු විතරයි. මේ පණුවාගේ ඇඟ පුරාමත් විෂ සෙවල මිශ්‍රණයක් තියෙනවා කියලා මිනිස්සු කියනවා. කොහොමත් මේ පණුවාගේ ඇඟ ඇල්ලුවත් ඒ විෂෙන් මිනිහෙක් මැරෙනවා කියන එක තමයි ප්‍රවාදගත විශ්වාසය වෙන්නේ. මේ පණුවා උණුසුම් ග්‍රීෂ්ම සෘතු වල විතරක් වැලි මතුපිටට එනවා කියලා තමයි මිනිස්සු විශ්වාස කරන්නේ.

 

3. ක්‍රැකන් – Kraken

ක්‍රැකන් කියන්නේ සමහර වෙලාවට ඔය මිත්‍යා කතාන්තර වලින් ජනප්‍රිය සාහිත්‍යයට, සිනමාවට ආපු සුලභම සංකල්පයක් වෙන්න පුළුවන්. ක්‍රැකන් සත්ත්වයා මුලින්ම මුණගැහෙන්නේ ස්කැන්ඩිනේවියානු ජනප්‍රවාද වල. හැබැයි ඈත අතීතයේ ඉඳන් සේලරුවෝ බොහෝ ප්‍රමාණයක් කියනවා ගැඹුරු මුහුදේ යාත්‍රා කරන කොට මේ අය ක්‍රැකන්ව දැක්කා කියලා. හැම කථාවකින්ම කියැවෙන විදියට සහ දැක්කයි කියන හැමෝම විශ්වාස කරන විදියට ක්‍රැකන් කියන්නේ ශීර්ෂපාදික -ඒ කියන්නේ බූවල්ලෙක් වගේ- හැබැයි අඩි හතළිහක් පනහක් වගේ විශාල සතෙක් විදියට. සමහරුන්ගේ කතාවල විදියට මේ සතාට මහ නැවක් වුනත් ගිල්ලලා දාන එක නතින්. හැබැයි ගොඩක් වෙලාවට හිතන්න පුළුවන් කාරණාව තමයි මේ ගොඩක් අය දැකලා ඇත්තේ ගැඹුරු මුහුදේ ඉන්න දැවැන්ත දැල්ලෝ වෙන්න පුළුවන් කියලා. උන් අඩි හතළිහ පනහ දිගට වැඩෙනවා. හැබැයි ඉතින් ගැඹුරු මුහුදේ අතිවිශාල බූවල්ලෙක් වුනත් ජීවත් වෙනවා වෙන්න පුළුවනි​ය කියන කාරණේ අපිට මග අරින්නත් බෑ!

 

4. ඔගෝපොගෝ – Ogopogo

කැනඩාවේ ඔකනාගන් විලේ වාසය කරන රාක්ෂ සත්ත්වයා ගැන කතාන්තරයන් අතීත කැනේඩියානු ජනප්‍රවාද වෙනකල්ම දිව යනවා. මේ රාක්ෂයාව ගොඩක් වෙලාවට ඔගෝපොගෝ කියලා හඳුන්වන අතර, සමහරු නෛටාකා කියලත් හඳුන්වනවා. ඒකේ තේරුම විලේ ආත්මය. කොහොම හරි ඔගෝ පොගෝව දැක්කයි කියන ගොඩක් අයගේ විස්තර එක්ක බලනකොට ඔගෝ පොගෝ කියන්නේ අඩි හතළිහක් හෝ පනහක් විතර දිග, මුහුදු සර්පයෙක් වගේ සත්ත්වයෙක්. ගොඩක් වෙලාවට මිහිපිටින් වඳවෙලා ගියපු බැසිලෝසෝරස් එකෙක්ට නැතිනම් මොසාසෝරස් එකෙක්ට ඔගෝපොගෝ සමානයි කියලා එක කට්ටියක් කියනකොට, ඌව දැකපු තව කට්ටියක් කියන්නේ ඌ ඊට වඩා වෙනස් දැවැන්ත දිගැති ශරීරයක් තියෙන මුහුදු සර්පයෙක් වගේමයි කියලා. මුලින්ම ඔගෝපොගෝව දැක්කයි කියලා කියන්නේ 19 වෙනි ශතවර්ශයේ කැනඩාවේ මුල්කාලීන දේශීය මිනිස්සු විසින්. එතන ඉඳන් අද වෙනකලුත් ඔකනාගන් විලේ රාක්ෂයාව දැක්කා කියලා මිනිස්සු කියනවා. 2018 දීත් අඩි 49 ක විතර දැවැන්ත මුහුදු සර්පයෙක් ඔකනාගන් විලේ දැක්කා කියලා තුන් වතාවක්ම වාර්තා වෙනවා.

 

5. ඩොබාර්-චු – Dobhar-chú

මේ ඩොබාර්-චු ගැන තියෙන ජනප්‍රවාද වල විදියට මේ සතා එක්කෝ දිය බල්ලෙක් හෝ ඒ හා සමාන සත්ත්වයෙක් කියලා තමයි කියන්නේ. කින්ග් ඔටර් කෙනෙක්, නැතිනම් රාජ දියබල්ලෙක් කියලත් මූව හැඳින්වෙනවා. ඇත්තටම අයිරිෂ් ජනප්‍රවාද වල මේ ඩොබාර්-චූ ගැන සඳහන් වෙනවා. දැකපු අය කියන විදියට දිය බල්ලෙක් වගේ වුනාට, ඌ බාගයක් ඔටර් කෙනෙක් වගේ සහ බාගයක් මාලුවෙක් වගේ අතිවිශාල සතෙක් ලු. හැබැයි විශාල වුනත් වේගවත් කියලත් මේ අය කියනවා. අයර්ලන්තයේ හුදෙකලා මිරිදිය විල් වල සහ ගංගා වල මේ සතා ඉන්නවා කියලා තමයි මිනිස්සු කියන්නේ. අයර්ලන්තේ 1722 තරම් ඈතට දිවෙන සොහොන් කොත් එකක හෝ දෙකක සඳහන් වෙනවා, ඒ සොහොන් කොත් යට සැතපෙන්නේ මේ ඩොබාර්-චූ සතාගේ ප්‍රහාරයෙන් මරණයට පත් වුණු අයයි කියලත්!

 

6. යෙටී – Yeti

සාමාන්‍යයෙන් මේ ක්‍රිප්ටිඩ්ස්ලා – එහෙම නැතිනම් මිහිමතින් වඳවෙලා ගිහින් තියෙන්න ඕන වුනත් තාමත් ඉන්නවා කියලා විශ්වාස කරන අද්භූත සත්වයින්ගේ ලැයිස්තුවේ ඉහළ තැනක ඉන්න තවත් නමක් තමයි යෙටී කියන්නේ. ඇත්තටම යෙටී කියන්නේ සතෙක් කියන්න බැහැ, යෙටී කියන්නේ ප්‍රාග් ඓතිහාසික මිනිහෙක් කියලත් ප්‍රවාද වල කියවෙනවා. මහා හිමාලයානු කඳුකරයේ, මිනිස් පහසක් නොලබපු දුර්ගම ප්‍රදේශ වල මහා වානරයෙක්ට සමාන, ඒත් ලෝමයන්ගෙන් වැසුණු හිම මිනිහෙක්ටත් සමාන දැවැන්ත සත්වයෙක් හෝ මිනිහෙක් සැරිසරනවාය කියන එක ජනප්‍රිය ප්‍රවාදයක්. යෙටීව දැක්කාය කියන අයත් අනන්තවත් ඉන්නවා. හැබැයි ගොඩක්ම අය දැකලා තියෙන්නේ යෙටීව නෙවෙයි, යෙටීගේය කියන දැවැන්ත පා සටහන්. වෙන එකක් තියා 2019 අවුරුද්දෙත් ඉන්දියානු හමුදාවේ කඳුකර ගවේෂ​ණ කණ්ඩායමක් අද්භූත පා සටහන් වගයක් මකාලු හමුදා කඳවුර අසල දැකලා තියෙනවා. යෙටීගේය කියලා හිතන්න පුළුවන් මේ අද්භූත පා සටහන් එකක් අඟල් 32 දිගින් සහ අඟල් 15 ක් පළලින් යුක්තයි කියලා තමයි සඳහන් වෙන්නේ. මේ තරම් විශාල පා සටහන් තියෙන සත්වයෙක් නම් අතිවිශාල වෙන්න ඕන කියන එක සැකයක් නැහැනේ.

 

7. අති දැවැන්ත මුහුදු සර්පයෝ

මේක ඇත්තටම ගොඩක් මිනිස්සු විශ්වාස කරන පොදු කාරණාවක්. ඒ තමයි අධික පීඩනයකින් යුක්ත ගැඹුරු මුහුදු පත්ලේ අති දැවැන්ත මුහුදු සර්පයින් ජීවත් වෙනවා කියන එක. මේ අති දැවැන්තයි කියලා කියන්නේ අඩි පනහ හැට හැත්තෑව ප්‍රමාණය හෝ ඊටත් එහා ප්‍රමාණයන්. හැබැයි අපිට අමතක කරන්න බැහැ මහා සමුද්‍රයේ අති දැවැන්ත ජීවීන් කියන්නේ අරුමයක් නොවෙන බව. අපි දන්නවා අඩි පනහක දිගට වැඩෙන මහ දැල්ලෝ මුහුදේ ඉන්න බව. එතකොට නිල් තල්මහෙක් අඩි සීයකට ආසන්න ප්‍රමාණයකට වැඩෙනවා. ඉතින් මේ කාරණා එක්ක තමයි ගොඩක් දෙනෙක් සමුද්‍ර පතුලේ ඉන්න අති දැවැන්ත මුහුදු සර්පයන් ගැන විශ්වාස කරන්නේ. අනික, ගොඩක් ලෝකේ පුරාම මිත්‍යා විශ්වාස වලත් මේ විදියේ සමුද්‍ර සර්පයෝ ගැන සඳහන් වෙනවා. ග්‍රීක විශ්වාස වල එන හයිඩ්‍රා නැතිනම් සිල්ලා, හීබෘ ප්‍රවාද වල එන ලෙවායතන්, නෝර්වීජියානු ප්‍රවාද වල එන යෝර්මුන්ගැන්ඩර්. ඒ වගේම චීන විශ්වාස වල එන මුහුදේ ජීවත් වෙන මහා මකර රාජයෝ! හැබැයි සමහරු කියනවා මේ මුහුදු සර්ප කතන්දරේට පාදක වෙන්නේ මුහුදේ ඉන්න දිගම ඇටකටු තියෙන මාළුවා වෙන ඕආර්ෆිෂ් (Oarfish) කියලත්. මේ මාළුවෙක් සාමාන්‍යයෙන් අඩි 36 ක් විතර දිගට වැඩෙනවාලු.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *